බලශක්ති ක්ෂේත්‍රය තුළ හරිත බලශක්ති ආයෝජන බළමුළු ගැන්වීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටින බවත් ඒ සඳහා දේශීය හා විදේශීය සෘජු ආයෝජකයන්ට ආරාධනා කරන බවත් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ඒ මහතා මේ බව සඳහන් කළේ කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවති, 2023 ශ්‍රී ලංකා හරිත බලශක්ති සමුළුවේ සභාපතිවරයා ලෙස සමුළුවේ සමාරම්භක දේශනය සිදු කරමිනි.
ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ හරිත බලශක්ති ආයෝජන අවස්ථා සොයා බලා හඳුනාගැනීමට මෙම සමුළුව ආයෝජකයන්ට මහඟු අවස්ථාවක් බව පෙන්වාදුන් රුවන් විජයවර්ධන මහතා පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය බළමුළු ගැන්වීමේදී පෞද්ගලික අංශය තීරණාත්මක බව ද පැවසීය.
ලංකාව “පැරිස් සම්මුතියට” වඩා පහළින් කාබන් ඩයොක්සයිඩ් විමෝචනය කළමනාකරණය කරමින් ඉහළ මානව සංවර්ධනයක් අත්කර ගත් රටක ඉතා දුර්ලභ උදාහරණයක් ලෙස පෙන්වා දිය හැකි බවත් ඒ මහතා සඳහන් කළේය.
එසේම පැරිස් සම්මුතියේ පාර්ශ්වකරුවෙකු ලෙස ශ්‍රී ලංකාව 2030 වනවිට හරිතාගාර වායු විමෝචනය 14.5%කින් අඩු කිරීමට කැපවී සිටින අතර, 2030 වන විට ජාතික විදුලිබල අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරාගැනීම, 2050 වන විට විදුලි උත්පාදනයේදී කාබන් මධ්‍යස්ථතාව අත්පත් කර ගැනීම, ගල්අඟුරු විදුලිබල උත්පාදනය තවදුරටත් ධාරිතාවට එකතු කර නොගැනීමට කැපවී සිටින බවද පැවසීය.
මෙම සමුළුව ඇමතූ ජනාධිපති ජාත්‍යන්තර දේශගුණික උපදේශක එරික් සෝල්හයිම් මහතා සඳහන්කර සිටියේ හරිත අවකාශයක් තුළ වත්මන් අර්බුදයෙන් ශ්‍රී ලංකාව ගොඩගැනීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්ම බවය.
අද වේගයෙන් සංවර්ධනය වෙමින් සිටින රටවල් දෙකක් වන චීනය සහ ඉන්දියාව හරිත විප්ලවයේ නායකයන් වී සිටින බව පෙන්වා දුන් සෝල්හයිම් මහතා එම රටවල් ආර්ථික දියුණුව මෙන්ම වෙළෙඳපොළ ග්‍රහණය කරගැනීමද ඉන් අපේක්ෂා කරන බවත් ඒ අනුව චීනය සමඟ මෙන්ම ඉන්දියාව සමඟද සමීප සබඳතාවක් ඇති ශ්‍රී ලංකාවට හරිත ආර්ථිකයක් කරා යොමු වීමට විශාල අවස්ථාවන් පවතින බවත් පෙන්වා දුන්නේය.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අදහස් දක්වමින් කියා සිටියේ බලශක්ති අමාත්‍යවරයා ලෙස තම කාර්යය වන්නේ ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් තරගකාරීව තබා ගැනීමට අවශ්‍ය වේගවත් වෙනස්කම් සිදු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම බවයි.
ශ්‍රී ලංකාවේ බොහෝ රාජ්‍ය ආයතනවල මානසිකත්වය වෙනස් කළයුතු බවත් ඒවායේ කළමනාකාරිත්වය සහ ක්‍රියාකාරිත්වය යන අංශ ද්විත්වය තුළම නව්‍ය මානසිකත්වයක් හඳුන්වාදිය යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව තම න්‍යාය පත්‍රයේ පළමු කොටස වන්නේ මේ සඳහා අවශ්‍ය ආයතනික රාමුව සකස් කිරීම බව පෙන්වා දුන් කංචන විජේසේකර මහතා ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයේ එකම අරමුණ ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීම බව ඇතමුන් සිතුව ද සත්‍යවශයෙන්ම එය ඊට වඩා පුළුල් කාර්යයක් බවත් දැනට පවතින ආයතනික රාමුවෙන් මිදී බලශක්ති අනාගතයක් සඳහා ආංශික ආණ්ඩුවේ රාමුව සකස් කරමින් සිටින බවත් පැවසීය.
පරිසර අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සමුළුව අමතමින් පැවසුවේ ශ්‍රි ලංකාව සතු වනාන්තර ප්‍රමාණයෙන් 32%ක් දක්වා වැඩිකරගැනීම රජයේ අපේක්ෂාව වන අතර සාම්ප්‍රදායික ක්‍රමවලින් එය සිදු කළ නොහැකි බව හා ඒ සඳහා කාබන් ක්‍රෙඩිට් සංකල්පය භාවිතා කිරීමට කටයුතු කරන බවය.
එලෙස සිදුකිරීමෙන් රටට ආදායමක් උපයාගත හැකි අතර, වනාන්තර ප්‍රමාණය ද ඉහළ නංවාගැනීමට හැකියාව ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
පරිසර අමාත්‍ය නසීර් අහමඩ්, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න, ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ බලශක්ති විශේෂඥ ජරී වේරිනන්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ (ප්‍රවර්ධන) ප්‍රසංජිත් විජේතිලක, කරච්චි SEED Ventures හි නිර්මාතෘ සහ අධ්‍යක්ෂ, ෆරාස් ඛාන් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
සමුළුව අමතමින් අදහස් දැක්වූ ජනාධිපති ජාත්‍යන්තර දේශගුණික උපදේශක එරික් සෝල්හයිම් මහතා,
2023 ශ්‍රී ලංකා හරිත බලශක්ති සමුළුවේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට ලැබීම මට මහත් ගෞරවයක්. මෙම වැදගත් අවස්ථාවට පැමිණි ඔබ සැම ඉතා උණුසුම් ලෙස මා පිළිගන්නවා. අපට අවංකව හා සෘජුව අදහස් හුවමාරු කර ගත හැකි යැයි මම බලාපොරොත්තු වෙනවා.
සමුළුව ආරම්භ කිරීමට පෙර, අපි අද සමුළුව පැවැත්වීමට සැලසුම් කරන ආකාරය පිළිබඳ සඳහන් කිරීමට කැමතියි. ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා ආර්ථික පරිසරය, ශ්‍රී ලංකාව තුළදී ආයෝජකයින්ට පහසුකම් සැලසිය හැකි ආකාරය සහ දේශගුණික විපර්යාසවලදී Carbon Credit භූමිකාව, ජාල ආයෝජනයක් වැනි ප්‍රධාන ක්ෂේත්‍ර කෙරෙහි අපි අවධානය යොමු කළ යුතුයි.
පුනර්ජනනීය බලශක්ති විභවයන් බහුල රටක් වන ශ්‍රී ලංකාව, තිරසාර සංවර්ධනයක් කරා ගමන් කිරීම සඳහා පුනර්ජනනීය බලශක්ති වෙත සංක්‍රමණය වීමේ අවස්ථා සොයමින් සිටිනවා. මෙම සංක්‍රාන්ති අවස්ථාවේ අප අපේක්ෂා කරන්නේ, රජයේ මුදල් මත බර පටවන ඉන්ධන ආනයනය අඩු කිරීම පමණක් නොවෙයි, කාන්තාවන් ඇතුළු සෙසු පිරිස් සඳහා රැකියා උත්පාදනය කිරීමට හැකියාව ලබාදෙන, පිරිසිදු හා දැරිය හැකි බලශක්තිය මත ආර්ථිකය නැවත ගොඩනැඟීමයි.
මෙම සංක්‍රාන්තිය ආර්ථිකයට, බලශක්ති කර්මාන්තයට සහ පරිසරයට බහුවිධ ජයග්‍රහණ අත් කර දෙනවා.
ශ්‍රී ලංකාවේ වසරකට ඒක පුද්ගල කාබන් ඩයොක්සයිඩ් විමෝචනය ටොන් 1.2ක් පමණ වන අඩු අගයක් ගන්නවා. රටේ සංවර්ධන මාවත තුළ සෑම විටම අඩු කාබන් ඩයොක්සයිඩ් තීව්‍රතාවයක් පවත්වාගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා. ඒ අනුව පැරිස් සම්මුති නිර්නායකවල වඩා පහළින් කාබන් ඩයොක්සයිඩ් විමෝචනය කළමනාකරණය කරමින් ඉහළ මානව සංවර්ධනයක් අත්කර ගත් රටක් වශයෙන් ඉතා දුර්ලභ උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාව පෙන්වා දිය හැකියි.
පැරිස් සම්මුතියේ පාර්ශ්වකරුවෙකු ලෙස, 2030 වනවිට හරිතාගාර වායු විමෝචනය 14.5%කින් අඩු කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටිනවා.
ඒ වගේම 2030 වන විට ජාතික විදුලිබල අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරාගැනීම, 2050 වන විට විදුලි උත්පාදනයේදී කාබන් මධ්‍යස්ථතාව අත්පත් කර ගැනීම මෙන්ම ගල්අඟුරු විදුලිබල උත්පාදනය තවදුරටත් ධාරිතාවට එකතු කර නොගැනීමටද කැපවී සිටිනවා.
පුනර්ජනනීය බලශක්තිය සඳහා ආයෝජනය කිරීම, තිරසාරත්වය සඳහා සමාගම්වලට ඔවුන්ගේ කැපවීම ප්‍රදර්ශනය කිරීමට සහ පාරිසරික බලපෑම අවම කිරීමට එක් මාර්ගයක් වනවා. මෙම සන්දර්භය තුළ, පුනර්ජනනීය බලශක්ති තාක්ෂණය සංවර්ධනය කිරීම සහ යෙදවීම සඳහා පෞද්ගලික අංශය ද තීරණාත්මකයි.
ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ හරිත බලශක්ති ආයෝජන බලමුළු ගැන්වීම උදෙසා මෙරට තුළ පුනර්ජනනීය බලශක්තිය සංවර්ධනය කිරීමට රජය දේශීය සහ විදේශීය සෘජු ආයෝජන සඳහා ආරාධනා කරනවා. මෙය පිරිසිදු බලශක්තිය සඳහා හරිත ආයෝජන සමඟ ජාල සහ හවුල්කාරීත්වයන්ද නිර්මාණය කරනු ඇතියි.
එබැවින් මෙම සමුළුව, අඩු කාබන් ආර්ථිකයකට රට පරිවර්තනය කිරීම වේගවත් කිරීමට සහ දේශගුණ ඉලක්ක සාක්ෂාත් කරගන්නට සාමූහික කැපවීමේ මාර්ගයක් වනු ඇතැයිද අපේක්ෂා කරනවා. ශ්‍රී ලංකාවේ පිරිසිදු බලශක්ති සංවර්ධනය සඳහා ජාල සහ හවුල්කාරිත්වයන් නිර්මාණය කිරීම සඳහා 2023 ශ්‍රී ලංකා හරිත බලශක්ති සමුළුව සඳහා ක්‍රියාකාරීව සහභාගී වන ලෙස මම ඔබට ආරාධනා කරනවා.
මේ උතුම් අදහසට මුලපිරීම සහ අපට මඟපෙන්වීම පිළිබඳව අපගේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මාගේ හෘදයාංගම ස්තුතිය පුද කිරීමට කැමතියි. ඒ වගේම ජනාධිපති ජාත්‍යන්තර දේශගුණික උපදේශක එරික් සෝල්හයිම් මහතාට ද මාගේ අවංක ස්තුතිය පුද කිරීමට මෙය අවස්ථාවක් ගන්නවා.
සමුළුව අමතමින් අදහස් දැක්වූ ජනාධිපති ජාත්‍යන්තර දේශගුණික උපදේශක එරික් සෝල්හයිම් මහතා,
මෙම සති අන්තයේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා පැවසූ දෙයක් උපුටා දක්වමින් මගේ කතාව ආරම්භ කිරීමට කැමතියි. ඔහු පැවසුවා “ලෝකයේ මිනිසුන් වර්ග දෙකක් සිටිනවා, ඒ ලංකාවට පැමිණි අය සහ ලංකාවට නොපැමිණි අය” කියලා. ඔබ සියලුදෙනා ශ්‍රී ලංකාවට පැමිණි අයගේ කාණ්ඩයට අයත් වන අතර, ශ්‍රී ලංකාව පැමිණි අයගේ කණ්ඩායමට යාමට ලෝකයේ සෙසු රටවල් දිරිමත් කිරීමට ඔබට හැකියාව තිබෙනවා.
1998 වසරේ එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මෙහි සාම ක්‍රියාවලියට සම්බන්ධ වන ලෙස මගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ සිට මම ශ්‍රී ලංකාව සමඟ සම්බන්ධ වී සිටිනවා. ශ්‍රී ලංකාව වසර ගණනාවක් තිස්සේ යුද්ධයේ, ආර්ථික අර්බුදයේ වේදනාවෙන් පසු වූ බව මම හොඳින්ම දන්නවා. නමුත් මෙම අර්බුද හරහා ශ්‍රී ලංකාවේ ජනතාව සතු දැවැන්ත ඔරොත්තු දීමේ හැකියාව පෙන්නුම් කර තිබෙනවා.
සංවර්ධනය වෙමින් පවතින රටක් වශයෙන් ශ්‍රී ලංකාව සතුව, ඉහළම අධ්‍යාපන මට්ටමක්, ඉහළ ආයු අපේක්ෂාවක් ඇති අතර, ශ්‍රී ලංකාවේ ජීවන මට්ටම ඉතා ඉහළයි. එබැවින් මෙම දැවැන්ත ප්‍රගතිය අප සැමරිය යුතුයි. මන්ද එය ශ්‍රී ලාංකීය ජනතාවගේ වෙහෙස මහන්සි වී වැඩ කිරීම සහ ආත්මය පෙන්නුම් කිරීමක් වන නිසා.
පසුගිය සතියේ ශ්‍රී ලංකාවට ඉතා හොඳ ආරංචියක් ලැබුණා. ඒ සඳහා දායක වූ සියලුමදෙනාට මම අනිවාර්යයෙන්ම සුබ පතනවා. ඒ සියල්ලටම වඩා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්මත කරගැනීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මම සුබපතනවා.
අනාගතයේදී බොහෝ දුෂ්කරතා ඇති විය හැකියි. නමුත් එය ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයේ නරකම තත්ත්වය පසෙක තබා ඉදිරියට යාමට සහ අනාගතය දෙස බැලීමට වේදිකාවක් වනු ඇති බවත් සඳහන් කළ යුතුයි.
ලෝකයේ විවිධ ප්‍රදේශවලින් විශාල පිරිසක් මෙහි පැමිණ තිබෙනවා. ඔබගෙන් සමහරෙකු මෙම සමුළුව සඳහා පැමිණෙන්නට ඇතියි. ඊළඟ වාරයේ දී මෙහි පැමිණෙන විට ටික දිනක් රැඳී සිටීමට පැමිණෙන ලෙස මම ඉල්ලා සිටිනවා.
අද අප මෙහි රැස්ව සිටින්නේ පුනර්ජනනීය බලශක්ති කෙරෙහි අවධානය යොමු කිරීමටයි. ශ්‍රී ලංකාව කියන්නේ, පුනර්ජනනීය බලශක්තිය සඳහා අපූරු විභවයක් සහිත රටක්. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති නොගැඹුරු මුහුද, මුහුදු වෙරළේ සුළං, ගංගා, සුර්ය බලය ඒ සඳහා ඉතා හොඳින් ගැළපෙනවා.
අදින් පසුව මේ සියල්ල පිළිබඳ වඩාත් සවිස්තරාත්මක දැනුමෙන් කතා කිරීමට ඔබට අවස්ථාවක් ලැබෙනු ඇතියි. හරිත බලශක්තිය අධික පිරිවැයක් ලෙස ඇතැමුන් සිතුවත් එය එසේ නොවෙයි. හරිත බලශක්තිය දැවැන්ත අවස්ථාවක් සහ දැන් එය ලෝකයේ ලාභදායිම බලශක්තිය බවට පත්ව තිබෙනවා.
එක්සත් ජනපදයේ නවතම අධ්‍යයනයකින් පෙන්නුම් කරන්නේ එක්සත් ජනපදය සූර්ය බලශක්තියට ගියහොත් එය ගල්අඟුරු සෑදීමට වඩා ලාභදායී වන බවයි. නව සූර්ය බලාගාර සෑදීම, සියලුම ගල්අඟුරු බලාගාර ක්‍රියාත්මක කිරීමට වඩා ලාභදායී බවයි. එබැවින් ඇමරිකානුවන් ගල්අඟුරුවල සිට සිට සූර්යබලශක්තිය වෙත ගෙනගොස් ඉතිරි කරන සෑම ඩොලරයක්ම, මිනිසුන්ගේ සෞඛ්‍යය හා පරිසරය වැඩිදියුණු කිරීමට එක් කරනවා.
එම පණිවිඩයේ ඇති හොඳම යටි පෙළ නම්, විශාලතම සංවර්ධනය වෙමින් පවතින රටවල් දෙක දැන් හරිත විප්ලවයේ නායකයින් දෙදෙනා වීමයි. නමුත් බොහෝ ඇමරිකානුවන් සහ බොහෝ යුරෝපීයයන් ඇත්ත වශයෙන්ම මෙම පණිවිඩය ලබාගෙන නොතිබීම කණගාටුවට කරුණක්. චීනය සැබවින්ම ඔවුන්ගේ හරිත අනාගතයක් තැනීමට නායකත්වය දෙනවා.
පසුගිය වසරේ ලෝකයේ ඇති සියලුම සූර්ය පැනලවලින් (solar panels) 82% නිෂ්පාදනය කළේ චීනයයි. පසුගිය වසරේ සියලුම විදුලි බැටරිවලින් 70% ක් චීනය සතුව පැවතුණා. පසුගිය වසරේ ලෝකයේ නව ජල විදුලියෙන් 80% ක් පැමිණියේ චීනයෙන්. ඒ වගේම ඔබ ඉන්දියාවට ගියහොත්, නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා දිල්ලියේ හරිත මුලපිරීම් දියත් කර ඇති ආකාරය දැකගත හැකියි. ඒවා හරිත මෙහෙවර ලෙස හැඳින්වෙනවා. හරිත හයිඩ්‍රජන් විමෝචනය, විද්‍යුත් සංචලතා විමෝචනය, විද්‍යුත් බැටරි විමෝචනය, සූර්ය පැනල විමෝචනය නිෂ්පාදනය ආදිය මගින් අගමැති මෝදි ඔවුන්ට එම කාර්යය පහසු කර දී තිබෙනවා.
චීනය සහ ඉන්දියාව මෙම වැඩසහන් ක්‍රියාත්මක කර ඇත්තේ එය පරිසරයට හිතකර නිසයි. එමෙන්ම ජනතාවගේ සෞඛ්‍යයට යහපත් නිසයි. එපමණක් නොව එය ආර්ථිකයට ද යහපත් තත්ත්වයක් වන අතර ඒ තුළින් වෙළෙඳපොළ ග්‍රහණය කරගත හැකි බව ඔවුන් විශ්වාස කරනවා.
ඉතින් අප අනාගතයට පියනගමින් නව හරිත ආර්ථික වෙළෙඳපොළ සමඟ එක් විය යුතුයි. චීනය සමඟ හොඳ සබඳතාවක් ඇති මෙන්ම, ඉන්දියාවට ඉතා සමීප ශ්‍රී ලංකාවට ඒ සඳහා විශාල අවස්ථාවක් තිබෙනවා. ඒ අතර ජපානය, කොරියාව, යුරෝපය, ඇමරිකාව, ශ්‍රී ලංකාවේ සංවර්ධනයට දායක විය හැකි සියලු දෙනා සමඟ එක්ව කටයුතු කරමින් නව ආයෝජන ගෙන ඒමට අවස්ථාව සලසනු ඇතියි.
තමිල්නාඩු ප්‍රාන්තය පුරා ULA නමින් සමාගමක් තිබෙනවා. තරුණ ඉන්දියානුවන් 2000ක් තමිල්නාඩුවේ විදුලි ස්කූටර නිෂ්පාදනය කරනවා. එය ලස්සන, පිරිසිදු, මනරම් ස්ථානයක්. එහි හිමිකරු පැවසුවේ තමාට අවශ්‍ය වුයේ ඉන්දියානු කාන්තාවන්ට සහ ගැහැනු ළමුන්ට කළ හැකි දේ පෙන්වීම බවයි. ‘Tesla for the West ULA for the rest’ යන්න ඔවුන්ගේ ආදර්ශ පාඨය වන අතර එයින් අදහස් වන්නේ ULA හට තමිල්නාඩු සහ කර්නාටක ප්‍රාන්තවල ගම් දෙකක්, තුනක්, හතරක් සහිත ඕනෑම වෙළඳපොළක් අල්ලා ගත හැකි බවයි.
එබැවින් මා දකින පරිදි, සංවර්ධනය වෙමින් පවතින රටවල මෙම වැදගත් කාර්යයෙහි කොටස්කරුවෙකු වීම හරහා වෙළෙඳපොළ ග්‍රහණය කරගැනීම, ආර්ථිකය වැඩිදියුණු කිරීම, හරිතකරණය වෙමින් රැකියා අවස්ථා ඉහළ නංවීමට උපකාරි වනු ඇතියි.
ශ්‍රී ලංකාව සඳහා සැබවින්ම අවශ්‍ය දැක්ම එය වන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්ම ද එයයි . ජනාධිපතිවරයාගේ සැබවින්ම අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාව හරිත අවකාශයක් තුළ මෙම අර්බුදයෙන් ගොඩගැනීමටයි.