මධ්‍යම සංස්කෘතික අරමුදලේ අක්‍රමිකතා විමර්ශනය කිරීම සඳහා කමිටුවක්

March 9, 2023

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විශේෂ විගණන වාර්තාව මගින් මතු කරන කරුණු පිළිබඳ විමර්ශනය කිරීම කොට පසුගිය නොවැම්බර් 24 වැනිදා පැවති කෝප් කමිටුව විසින් ලබාදෙන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සොයාබැලීම පිණිස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ගරු මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් රැස් විය.

උක්ත විශේෂ විගණන වාර්තාවෙන් මතු කරන ලද කරුණු විමර්ශනය කිරීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පත්කරන ලදැයි කෝප් කමිටුව වෙත වාර්තා කරන ලද අභ්‍යන්තර විමර්ශන කමිටුව පිළිබඳව මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට එකඟතාවය පළවී තිබිණි.

එමෙන්ම මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක සභාවේ රැස්වීම් පැවැත්වීම පිළිබදවත් අරමුදල් ‍විධිමත් ලෙස වියදම් කර තිබේද යන්න පිළිබදවත් පසුගිය රැස්වීමේදී දිර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබූ අතර එහිදී විශේෂයෙන් පාලක සභාවේ 209 වන රැස්වීමේ වලංගුභාවය පිළිබඳව මෙම රැස්වීමේදී සාකච්ඡා කිරීමටද කමිටු සාමාජිකත්වය එකඟ වී තිබිණි.

ඒ අනුව අදාළ 209 වැනි රැස්වීමේ තීරණ වලට එකඟතාව පළ කොට ඇත්තේ සාමාජිකයන් 11 දෙනාගෙන් 07 දෙනෙකු පමණක් බව සහ හිටපු අග්‍රාමාත්‍යවරයා ඇතුළු 04 දෙනෙක් සිය අත්සන් යොදා නොමැති බව විගණකාධිපතිවරයා පෙන්වා දුන්නේය. අත්සන් කළ 07 දෙනා විසින් මෙම රැස්වීමේ අත්සන් නාමලේඛණයට යොදා ඇති අත්සන් සහ ඔවුන් මීට පෙර පාලක මණ්ඩල රැස්වීම් වලදී යොදා ඇති අත්සන් අතර නොගැලපීමක් නිරීක්ෂණය වන බව සඳහන් කළ විගණකාධිපතිවරයා, අදාළ 209 වැනි පාලක මණ්ඩල රැස්වීමේ තීරණ 210 වැනි රැස්වීමේදී සම්මත වීමක්ද සිදුවි නොමැති බවද පෙන්වා දුන්නේය.

එමෙන්ම අදාළ පාලක මණ්ඩලයේ සමාජිකත්වය දැරූ එවකට අග්‍රාමාත්‍ය ලේකම් සහ වත්මන් ජනාධිපති ලේකම්වරයා විසින් එවැනි රැස්වීමකට තමා සභාගී නොවූ බවට තහවුරු කරන ලද බවද මෙහිදී විගණකාධිපතිවරයා සඳහන් කළේය.

ඒ අනුව දිර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව කෝප් සභාපතිවරයා විසින් බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා වෙත පහත නිර්දේශ ලබා දෙන ලදී.

  1. මධ්‍යම සංස්කෘතික අරමුදලේ 2015 – 2019 කාලය පිලිබඳ විශේෂ විගණන වාර්තාවෙන් මතු කරන කරුණු විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමලත් අධිකරණ විනිසුරුවරයෙකුගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීම.
  2. උක්ත විශේෂ විගණන වාර්තාවෙන් මතු කරන ලද කරුණු විමර්ශනය කිරීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පත්කරන ලදැයි කෝප් කමිටුව වෙත වාර්තා කරන ලද එක් පුද්ගල අභ්‍යන්තර විමර්ශන කමිටුව විසුරුවා හැරීම.
  3. උක්ත 209 වැනි රැස්වීමේ අත්සන් නාම ලේඛණයේ වලංගුභාවය පරික්ෂා කිරීම සඳහා එම නාම ලේඛණය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට සහ රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරිම.
  4. විසින් මධ්‍යම සංස්කෘතික අරමුදලේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විශේෂ විගණන වාර්තාව මගින් මතු කරන කරුණු පිළිබඳ කෝප් කමිටුව විසින් ලබාදෙන ලද නිර්දේශ වල ප්‍රගතිය පිරික්සීම සඳහා නැවත කමිටුව වෙත කැඳවීම.
  5. මධ්‍යම සංස්කෘතික අරමුදලේ ක්‍රියාකාරීත්වය විමර්ශනය පිණිස පත් කිරීමට යෝජිත නව කමිටුවේ වාර්තාව මාස 03ක් ඇතුලත කෝප් කමිටුව වෙත ලැබිමට සැලැස්වීම.

මෙයට අමතරව කෝප් කමිටුවේ ඉදිරි සැලසුම් පිළිබඳව කමිටු සාමාජිකත්වයේ අවධානය යොමුවූ අතර එහිදී ප්‍රමුඛතාවය ලබා දියයුතු ආයතන පිළිබඳ අවධානය යොමුවිය. මෙහිදී සභාපතිවරයා සඳහන් කළේ දැනටමත් විගණකාධිපතිවරයා සමග ඒ පිළිබඳ සාකච්ඡා කොට ඇති බවයි. ඒ අනුව පොකුරු කමිටු ක්‍රමයක් ඔස්සේ අනු කමිටු මගින් විමර්ශන සිදු කිරිමටත් අත්‍යාවශ්‍ය සහ කාලීන වැදගත් කමක් සහිත ආයතන පමණක් ප්‍රධාන කමිටුව වෙත කැඳවීමේ ක්‍රමයක්ද සකසන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

මෙම රැස්වීමට රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු ජානක වක්කුඹුර, ගරු ලොහාන් රත්වත්තේ, ගරු ඉන්දික අනුරුද්ධ හේරත්, ගරු ඩී.වී. චානක, ගරු ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු අනුර ප්‍රියදර්ශන යාපා, ගරු මහින්දානන්ද අලුත්ගමගේ, ගරු රෝහිත අබේගුණවර්ධන, ගරු එරාන් වික්‍රමරත්න, ගරු. නිමල් ලාන්සා, ගරු නලින් බණ්ඩාර ජයමහ, ගරු චමින්ද විජේසිරි, එස්.එම්. මරික්කාර්, ගරු රෝහිණි කුමාරි විජේරත්න, ගරු ජගත් කුමාර සුමිත්‍රආරච්චි, ගරු. ප්‍රේම්නාත් සී. දොලවත්ත, ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ගරු එම්. රාමේෂ්වරන්, ගරු රාජිකා වික්‍රමසිංහ, ගරු මධුර විතානගේ සහ ගරු (මහාචාර්ය) චරිත හේරත් යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

t

o

p