අමෙරිකාවේ අඛණ්ඩ සහාය – ජනපතිට

February 2, 2023

ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා දරන ප්‍රයත්නයන් සඳහා අමෙරිකා එක්සත් ජනපදයේ සහයෝගය තවදුරටත් ලබා දෙන බව අමෙරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ සඳහන් කළාය.

ජනාධිපති වික්‍රමසිංහ මහතා සහ වික්ටෝරියා නූලන්ඩ් (Victoria Nuland) මහත්මිය අතර සාකච්ඡාවක් ඊයේ (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අවස්ථාවේදී ඇය මේ බව සඳහන් කළාය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කෙරෙන සාකච්ඡා පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ අතර මතුව ඇති ගැටලු කඩිනමින් විසඳා ගැනීම සඳහා එක්සත් ජනපදය අඛණ්ඩව සහාය දක්වන බව වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය අවධාරණය කළාය.

වර්ධනය වන මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව කටයුතු කිරීමේ අඛණ්ඩ උත්සාහයන් පිළිබඳව ද සාකච්ඡාවේදී අවධානය යොමු වූ අතර ඒ සඳහා එක්සත් ජනපදයේ පූර්ණ සහාය ලබා දෙන බව වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය ප්‍රකාශ කළාය.

රට මුහුණ දී සිටි දුෂ්කරම තත්ත්වය හමුවේ අමෙරිකා එක්සත් ජනපදය ලබා දුන් සහාය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය කෘතඥතාව පළ කර සිටියේය.

t

o

p