පාර්ලිමේන්තුවේ සම්පූර්ණ ආහාර වියදම මන්ත්‍රීවරුන්ට විතරක් නොවෙයි – කථානායක

June 7, 2022

ආහාර සැපයීම සඳහා දරනු ලබන සමස්ත පිරිවැය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වෙත ආහාර සැපයීම වෙනුවෙන් දරනු ලබන පිරිවැය ලෙස සැලකීම නිවැරදි හා සාධාරණ නොවන බවට කරුණු ඉදිරිපත්ව ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (07) ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී දිනට නියමිත නිවේදන ඉදිරිපත් කරමින් කථානායකවරයා මේ බව සඳහන් කළේය. එහිදි තවදුරටත් කරුණු දක්වමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙසේ ද කීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සඳහා පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් ආහාර සැපයීම වෙනුවට අවම පිරිවැයක් දරමින් ආහාර පාර්සලයක් ලබා දීමට කටයුතු කරන මෙන් යෝජනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් 55 දෙනෙකුගෙන් යුත් පිරිසක් විසින් මා වෙත ලිඛිත ඉල්ලීමක් කර තිබූ අතර සභා ගර්භය තුළදී මෙන්ම ඉන් පිටතදී අවස්ථා කිහිපයකදී ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින් මේ සම්බන්ධව මා වෙත කරුණු ඉදිරිපත් කර තිබූ බවත් මෙම සභාවේ අවධානයට යොමු කිරීමට කැමැත්තෙමි.

ඉදිරිපත්ව තිබූ මෙම කරුණු සැලකිල්ලට ගෙන  2022.06.02 දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡා කරන ලදී.  පාර්ලිමේන්තු භෝජනාගාරවලින් ආහාර සපයා දෙනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සඳහා පමණක් නොවන අතර 850 ක් පමණ වූ සමස්ත පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය, 350 ක් පමණ වූ පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාසයේ නිලධාරින්, 150 ක් පමණ වූ ආරක්ෂක නිලධාරීන්, 150 ක් පමණ වූ අනෙකුත් අනුබද්ධිත කාර්ය මණ්ඩලවලට අයත් නිලධාරින් හා 30 ක් පමණ වූ මාධ්‍යවේදීන් ද ඊට ඇතුළත් වේ. එබැවින්, ආහාර සැපයීම සඳහා දරනු ලබන සමස්ත පිරිවැය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වෙත ආහාර සැපයීම වෙනුවෙන් දරනු ලබන පිරිවැය ලෙස සැලකීම නිවැරදි හා සාධාරණ නොවන බවටත්, එහිදී කරුණු ඉදිරිපත් වූ බව දන්වනු කැමැත්තෙමි.

තවද මෙම කාරණය සම්බන්ධව වැඩිදුරටත් කටයුතු කළ හැකි ගෘහ්‍ය කාරක සභාවේදී ඒ පිළිබඳව සලකා බලා ඉදිරි පියවර ගැනීමට තීරණය වූ බවත්, සඳහන් කිරීමට කැමැත්තෙමි.

ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් හැර භෝජනාගාරවලින් ආහාර සපයා දෙනු ලබන ඉහත සඳහන් කොට ඇති කාර්ය මණ්ඩල නිලධාරින් සඳහා සියලුම වැඩ කරන දිනයන්හිදී  පාර්ලිමේන්තු භෝජනාගාරවලින් ආහාර සපයනු ලබන බවත්, එසේවුවද,  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සඳහා පාර්ලිමේන්තුවේ භෝජනාගාරවලින් ආහාර සපයනු ලබන්නේ වාර්ෂික අයවැය පැවැත්වෙන කාලය තුළ දී හැර බොහෝවිට එක් මාසයක් තුළ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දින 08 ක් වැනි කාලයක් සඳහා පමණක් වන අතර එම දිනවලදී ද මන්ත්‍රීවරයන් 100-125ක ඇස්තමේන්තුගත සංඛ්‍යාවකට පමණක් ආහාර පිළියෙළ කරනු ලබන බවත් මෙහි ලා අවධාරණය කිරීමට කැමැත්තෙමි.  

තවද, ඉහත සඳහන් කර ඇති සියලුම කාර්ය මණ්ඩල සඳහා ආහාර සැපයීම වෙනුවෙන් අය කරනු ලබන මුදල ද රට තුළ ආහාර ද්‍රව්‍යවල දැනට පවතින අධික මිල ගණන් සැලකිල්ලට ගෙන ඉහළ නැංවීමට මේ වනවිටත් කටයුතු කර ඇති බවත් මෙම    ගරු සභාවට වැඩිදුරටත් දන්වනු කැමැත්තෙමි.

t

o

p