GMOA වෙතින් දැනුම් දීමක්

April 21, 2022

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

නිරායුධ පොදුජන අරගලය මිලේච්ඡත්වයෙන් මර්දනයට එල්ල කර ප්‍රහාරයට විරෝධය සහ ස්වාධීන විමර්ෂණයක් ඉල්ලා සිටීම.

වර්තමාන රජයේ දැඩි මූල්‍ය සහ ආර්ථික කළමණකාරණයේ අසමත්භාවය නිසා අද වන විට දේශපාලන හා සමාජ අර්බුදයක් වෙතට ගමන් කරමින් පවතී.

තම මූලික අවශ්‍යතාවයන් සපුරාගැනීමට නොහැකි වීමත්, උසුලාගත නොහැකි ජීවන වියදමත් නිසා අහිමි වෙමින් පවතින තම ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් ජාති, ආගම්, පක්ෂ පාට බේදයකින් තොරව මහජනතාව වත්මන් රජයට සහ දේශපාලන ක්‍රමවේදයට එරෙහිව අනවරත අරගලයක නිරත වී සිටියි.

මෙම ජන අරගලය ප්‍රචණ්ඩත්වයට යොමු කිරීම සඳහා රාජ්‍ය සහ රාජ්‍ය නොවන විවිධ කණ්ඩායම් දිගින් දිගටම කටයුතු කරන බව නිරීක්ෂණය කළෙමු. ඊයේ දිනයේ දී තම මුලික අවශ්‍යතා වෙනුවෙන් හඩ නැගූ නිරායුධ සිවිල් ජනතාවට රඹුක්කන ප්‍රදේශයේ දී ආරක්ෂක අංශ මගින් එල්ල කරන ලද මාරාන්තික සහ ම්ලේච්ඡ ප්‍රහාරය එහි ප්‍රතිඵලයකි.

නීත්‍යානුකූල අවම බලය භාවිතා කිරීම වෙනුවට ආරක්ෂක අංශ විසින් නිරායුධ ජනතාවට එල්ල කර ප්‍රහාරය නිසා මේ වන විට එක් පුද්ගලයෙක් අවාසනාවන්ත ලෙස මරණයට පත්වී ඇත.

කෑගල්ල, රඹුක්කන සහ නුවර රෝහල්වලට මේ වන විට තුවාලකරුවන් 35 දෙනෙකු පමණ ඇතුලත් කර ඇත. ඔවුන් අතරින් තිදෙනෙක් තවමත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබති. මෙම තුවාලකරුවන්ගේ ශරීරයේ උරස් හා උදර කුහර ප්‍රදේශ වලට ජීවඋණ්ඩ භාවිතය නිසා සිදු වූ දරුණු තුවාල නිරීක්ෂණය වන බව අපගේ සංගමයේ කෑගල්ල ශාඛාව අප දැනුවත් කර ඇත.

මෙම අමානුෂික ප්‍රහාරය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින අතර, ඒ පිළිබඳව වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකර ඊට වගකිව යුතු සියලුම දෙනා සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවත්, මෙම සිදුවීමෙන් අගතියට පත් සියලුම දෙනාට වහාම සාධාරණය ඉටු කළ යුතු බවත් අවධාරණය කරමු.

වත්මන් පාලකයින් ජනතාවගේ සැබෑ ගැටලු වලට විසඳුම් සෙවීම පසෙකලා, ප්‍රජාතන්ත්‍රවාදී අරගලය ප්‍රචණ්ඩත්වය මගින් මර්දනය සඳහා උත්සහා කරමින් සිටියි. පීඩනයට සහ අසහනයට පත්ව සිටින ජනතාව ප්‍රකෝප කිරීම සහ ප්‍රචණ්ඩත්වයට පෙළඹවීම තුළින් රට තුළ අරාජිකත්වයක් ඇතිවීමේ අවදානමක් මතු වී ඇත. මෙමගින් රට නැවතත් 88/89 යුගයේ මෙන් හැරවිය නොහැකි අර්බුදයක් කරා ගමන් කිරීමේ අවදානමක් ඇත. ඒ සදහා වත්මන් අසමත් පාලකයන් සහ දේශපාලනඥයන් ඍජුව වගකිව යුතුය.

දැඩි ඖෂධ සහ ඉන්ධන හිගය හමුවේ කඩාවැටෙමින් පවතින සෞඛ්‍ය ධාරිතාව මෙවැනි ප්‍රචණ්ඩත්වය නිසා ඇති වන ආපදා හමුවේ තවදුරටත් අර්බුදයට ලක් වේ. තම ජිවත් වීමේ අයිතිය තහවුරු කර ගැනීම සදහා සමකාමීව අරගල කරන බුද්ධිමත් ජනතාව ප්‍රචණ්ඩත්වය සදහා යොමු කරවීමට ගන්නා කූඨ උත්සාහය වටහා ගෙන බුද්ධිමත්ව කටයුතු කරන ලෙස ජනතාවගෙන් අප ඉල්ලා සිටිමු.

මෙම තීරණාත්මක අවස්ථාවේදී වත්මන් අසමත් පාලනය සහ ජරාජීර්ණ ක්‍රමවේදය වෙනස් කිරීම වෙනුවෙන් සිදුකරන ජනතා අරගලයේ දී ජනතා අයිතීන් වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අඛණ්ඩව පෙනී සිටින බව ප්‍රකාශ කරමු.

t

o

p