අන්තවාදි මත පැතිරූ අයෙක් හා ඊට මුදල් එකතු කළ අයෙක් ත්‍රස්ත මර්ධන ඒකකයෙන් අල්ලයි

March 26, 2021

අන්තවාදී මත පතුරවමින් ලංකාව තුළ අන්තවාදී ත්‍රස්ත ක්‍රියා සිදුකිරීමට මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මගින් ඊයේ (25) පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 

ඉන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන ඇත්තේ මාතලේ ප්‍රදේශයෙන් වන අතර ඔහු 46 හැවිරිදි පුද්ගලයෙකි. 

ඔහු පසුගිය දෙසැම්බර් 5 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කර ශ්‍රී ලංකාවට එවන ලද පුද්ගලයෙකු බවද අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. 

විදේශගතව සිටියදී මොහු අන්තර්ජාලය හරහා විවිධ දේශන පවත්වමින් ශ්‍රී ලංකාව තුළ අන්තවාදී සහ විවිධ ආකාරයේ මතවාද ප්‍රචාරය කිරීමට කටයුතුකර තිබෙන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය.

එමෙන්ම ඔහු මෙරට තුළ අන්තවාදී ත්‍රස්ත ක්‍රියා කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුළ සිටිමින් මුදල් එකතු කිරීමටද කටයුතුකර තිබේ.

අනෙක් පුද්ගලයා මඩකලපුව කාත්තාන්කුඩි ප්‍රදේශයේදී ඊයේ (25) අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 49 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු සමාජ මාධ්‍ය ජාල හරහා පාස්කු ප්‍රහාරය සාධාරණීයකරණය කරමින් මත ඉදිරිපත්කර තිබේ. 

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන අපරාධකරුවෙකු වන සහරාන්ගේ සමීපතමයෙකු බවට ද ඔහුව හඳුනාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. 

මඩකලපුව ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අදාළ සැකකරුව අත්අඩංගුවටගෙන ඇත.  සැකකරු කොළඹට රැගෙනවිත් වැඩිදුර ප්‍රශ්න කිරීමට නියමිත බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

මෙරට අන්තවාදය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී විවිධ කරුණු රැසක් මේ වනවිට අනාවරණය වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර ඇති බවත් ඔහු කීවේය.

t

o

p