පාර්ලිමේන්තුවට පිළිගන්වන වාර්ත‍ා මන්ත්‍රීවරයන්ට කැමති භාෂාවකින් පමණක් ලබා ගත හැකියි – කථානායක මහින්ද යාපා අබේවර්ධන

March 26, 2021

පාර්ලිමේන්තුවට පිළිගන්වන වාර්ත‍ා මන්ත්‍රීවරයන්ට කැමති භාෂාවකින් පමණක් ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (25) පාර්ලිමේන්තුවේදී විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

පාර්ලිමේන්තුවට පිළිගන්වන වාර්ෂික වාර්තා, කාර්ය සාධන වාර්තා සහ අනෙකුත් වාර්තා වල මුද්‍රිත පිටපත් භාෂාත්‍රයෙන්ම ලබා දීමේදී එක් එක් අමාත්‍යාංශය විසින් දැරිය යුතු අධික පිරිවැය සම්බන්ධයෙන් පසුගිය මාර්තු 17 වැනි දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී විශේෂ අවධානය යොමු වී තිබේ. ‍ඒ අනුව එම අධික පිරිවැය අවම කිරීම සඳහා එම වාර්තා එක් එක් මන්ත්‍රීවරයාගේ කැමැත්ත අනුව එක් භාෂාවකින් පමණක් ලබා දීම යෝග්‍ය බව කාරක සභාවේදී තීරණය වී තිබේ.

ඒ අනුව එක් එක් මන්ත්‍රීවරයා අදාල වාර්තාව ලබා ගැනීමට කැමති භාෂාව කුමක්ද යන්න සියළුම මන්ත්‍රීවරයන්ගෙන් වෙන් වෙන්ව විමසීමට කාරක සභාව තීරණය කොට තිබේ.

ඊට අනුකූලව මේ සම්බන්ධයෙන් කැමැත්ත ලබා ගැනීම සඳහා පිළියෙල කරන ලද ලිපිය මගින් තමන් වාර්තා ලබා ගැනීමට කැමැති භාෂාව සටහන් කර හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත භාර දෙන ලෙස ද කථානායකවරයා මන්ත්‍රීවරයන්ගෙන් ඉල්ලා සිටියේය.

t

o

p