වෘක්ෂ දේවතා සංකල්පය බොරුවක්ම නොවේ

March 12, 2021

අලුතින් ඉදිවන කොළඹ-මහනුවර අධිවේගී මාර්ග සීමාව තුළ ඇති කෘඩියා සෙලනිකා නම් ශ්‍රී ලංකාවට පමණක් ආවේණික; ඒක දේශීය වෘක්ෂය පිළිබඳ පුළුල් සමාජ කතිකාවක් ඇරඹී තිබේ. ඒ අතර එම වෘක්ෂය එලෙසම තිබියදී මාර්ගය ඉදි කිරීම සඳහා අති විශාල මුදලක් වැය වන බව දේශපාලනඥයන් කිහිප දෙනෙකුම කියා තිබීමෙන් එහි මතු පැවැත්ම පිළිබඳ අවදානමක් ද හටගෙන ඇත.

පරිසරවේදීන්ගේ පොදු මතය අනුව ද මිහිතලයේ සතා, සීපාවා ඇතුළු සමස්ත ජෛව ප්‍රජාවට අමිල වූ අශිර්වාදයක් සලසන වෘක්ෂ සම්පත දේවත්වය තරම්ම උතුම් වූවකි.
එම නවීන ව්‍යවහාරය පසෙක තිබිය දී සුවිසල් වෘක්ෂයන්ට අධිගෘහිත දෙවි
දේවතාවන් වැඩ සිටින බව වසර දහස් ගණනක් තිස්සේ අපගේ ජන සමාජය තුළ මුල්
බැසගත් සම්මතයක් බව පෙනේ. විශේෂයෙන් මහින්දාගමනයට පෙර මෙරට වෘක්ෂ වන්දනාව
පැවැති බව තහවුරු කරන සාක්ෂි වංශ කතා ආදියෙන් නොඅඩුවම සපයා ගැනීමට
පුළුවන.


ලොව ප්‍රධාන ආගම් බිහි වීමට පෙර පැවැති ‘ජීවාත්මවාදය’ නම් ප්‍රාථමික
ආගමික විශ්වාස පැවැති සමයේ ඇරඹුණු මෙම වෘක්ෂ ලතා පූජනීයත්වයෙන් යුතු බවට
වූ සමාජ සම්මතය පසුව ජනතාව විසින් අදහනු ලැබූ ආගම් තුළට ද ශීඝ්‍රයෙන්
අවශෝෂණය වී තිබේ. පසුකාලීනව මෙම වෘක්ෂ දේව සංකල්ප බෞද්ධ සාහිත්‍යය තුළට
පවා පිවිස ඇත්තේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.


බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන අන්දමට විමාන වාසී යනුවෙන් හැඳින්වෙන වෙනම
දෙවිවරු කොටසක් වෙති. මෙම විමාන යන්නෙන් අදහස් වනුයේ අහසින් ගමන් කළ හැකි
දිව්‍යමය ප්‍රාසාද බව මොනියර් – විලියම්ස් සංස්කෘත ඉංග්‍රීසි ශබ්දකෝෂයෙහි
දැක්වේ. දකින මානය වෙනස් වන නිසා ඒවා විමාන යනුවෙන් හඳුන්වන බව පෙනේ. එසේ
ගමන් කළ නොහැකි ප්‍රාසාද හැඳින්වෙනුයේ ‘මන්දිර’ යනුවෙනි. මෙම විමාන යන්නට
‘පුෂ්පක විමාන’ යන්න කදිම නිදසුනකි.

රාමායනයේ එන අප දඬුමොනරය නමින්හැඳින්වෙන යානාව සංස්කෘතියෙහි දක්වා ඇත්තේ ‘පුෂ්පක විමාන’ යනුවෙනි. බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන අන්දමට වන දේවතා, ආරාම දේවතා යනුවෙන් හැඳින්වෙන මෙම දෙවිවරු වනස්පති වෘක්ෂයන්ගේ සිට එඬරු ආදී සාමාන්‍ය වෘක්ෂයන් දක්වා වන සියලු වෘක්ෂයන්ට අරක් ගෙන වැඩ සිටිති.එලෙස එඬරු ගසක වැඩ සිටි දෙවියකු
විසින් දුගී මිනිසකු මහ ධන සිටුවරයකු කළ රසවත් කතා පුවතක් පන්සිය පනස්
ජාතකයට අයත් කුණ්ඩ පූව ජාතකයේ දැක්වෙයි.

වරක් කිසියම් වෘක්ෂයක් අලව් නුවර වැසි භික්ෂුවක විසින් කපා දමන අවස්ථාවේ ඊට අරක් ගෙන සිටි දේවතාවිය තම විමානය විනාශ නොකරන ලෙසට එම භික්ෂුවට කෑ ගසා කී බවත් එය සැල වූ බුදුන් වහන්සේ රුක් වැල් සිඳලීම භික්ෂූන්ට මුළුමනින්ම තහනම් කළ බවත් පාචිත්තිය පාලි
විනය ග්‍රන්ථයේ සඳහන්ය. එමෙන්ම එලෙස මිනිසුන් විසින් සිඳලනු ලබන
වෘක්ෂයන්හි වැඩ වෙසෙන දෙවිවරුන් තම වාසස්ථාන අහිමි වී හඬා වැටෙන බවත්
අසරණ වන රුක් දේවතා දේවතාවියන් තම දේව දරුවන් ද ආකාසේ හොවාගෙන ඒ මේ අත
ඇවිදින බවත් එහිම සඳහන් වෙයි. ඒ අනුව ඔවුන් එක්තරා අන්දමක අහිංසකයන්
පිරිසක් බව පෙනෙයි.


රුවන්මැලි සෑය නිර්මාණය කිරීම පිළිබඳ පසුකාලීන වෘත්තාන්තයකට අනුව එම
ස්ථානයේ සුවිසල් තෙලෙඹු ගසක් තිබී ඇත. දුටුගැමුණු රජතුමා විසින් එම
ස්ථානයේ රුවන්මැලි සෑය ඉදි කිරීම පිණිස එම වෘක්ෂය කැපීමේ දී එහි වැඩහුන්
දේවතාවිය ඊට අකැමැති වී තිබේ. අවසානයේ ඇය ඉන් ඉවත්ව ගොස් ඇත්තේ එම සෑයට
ඇගේ නම වන ‘ස්වර්ණමාලී’ යන නම යොදන බවට පොරොන්දු වීමෙනි. එහෙත් රුවන්මැලි
සෑයේ නාමය ‘රතන මාලක’ යන නම හා බැඳී ඇති බවට ඊට වඩා පැරණි සහ ප්‍රබල
සාක්ෂි ලැබෙන බැවින් මෙම ස්වර්ණමාලී දෙවඟන පිළිබඳ පුරාවෘත්තය පසුකාලීන ජන
විශ්වාසයක් මත පදනම් වූවක් බව පෙනෙයි. එමෙන්ම මෙය රොඩී ජනතාව අතරින්
සමාජගත වූ ප්‍රවාදයක් බව ද පෙනෙයි.


බෞද්ධ සාහිත්‍යයෙහි දැක්වෙන අන්දමට මෙම රුක් දෙවිවරු අල්පේශාඛ්‍ය දේවතා
ගණයට වැටෙති. එමෙන්ම සත්පුරුෂයන් හට විවිධාකාරයෙන් පිහිට වන මෙම
දෙවිවරුන් අසත්පුරුෂයන් හට දඬුවම් පමුණුවන ලද අවස්ථා ඇත්තේ ඉතා
අඩුවෙනි.ඊට හේතුව මෙම රුක් දෙවි වරුන් සවභාවයෙන්ම අහිංසක බවක් පළ කිරීමය.
තමන් වැනසීමට එන මිනිසාට තමන්ට හැකි අවසාන මොහොත තෙක් සෙවණ ලබා දීමේ තුරු
සම්පත සතු මාහැඟි ගුණය මෙම රුක් දෙවිවරුන් තුළ ද එලෙසම පිහිටා ඇති බව
පෙනෙයි. මෙම රුක් දෙවිවරුන් අතර පවත්නා ‘වෘක්ෂ ධර්මය’ක් පිළිබඳව ද බෞද්ධ
සාහිත්‍යයේ සඳහන් වෙයි. වසරකට වරක් හිමාලයේ රැස්වන දෙවිවරුන් මෙම වෘක්ෂ
ධර්මය පිළිබඳ කතිකාවකට පිවිසෙන අතර තමන් වැඩ වෙසෙන වෘක්ෂය කපා දමන්නකුට
වුව එරෙහි නොවිය යුතු බව ඔවුන් එහි දී සම්මත කර ගන්නා බවත් එම සම්මුතිය
සිඳලන කිසිවකුටත් යළි දේව සමාගමට එක්වීමට ඉඩ නොදෙන බවත් පාචිත්තිය පාලි
විනය ග්‍රන්ථයේ සඳහන් වෙයි.


ලෝකයේ විවිධ ජන සංස්කෘතීන් මුල් කොට ස්ථාපිත වී ඇති මෙම වෘක්ෂ දේව
සංකල්පය ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ මව් දෙවඟන ඇදහීම තෙක් අතීතයට දිව යන්නක්
බව ද පෙනේ. එම ප්‍රජනේන්ද්‍රියෙන් ශාකයක් මතු වී පෙනීම දැක්වෙන මව්
දෙවඟනගේ මූර්ති එම ශිෂ්ටාචාර නටබුන් අතර තිබී පුරාවිද්‍යාඥයන්ට හමු වී
ඇත. ලෝකයේ බොහෝ ශිෂ්ටාචාරවල මෙම රුක් දෙවියන් අදහනු ලබන අතර ඔවුන්ගෙන්
බහුතරය දේවතාවියන් වීම ද විශේෂත්වයකි. එම දේවතාවියන් අතරිනුදු වැඩිම
කොටසක් ලජ්ජාශීලී නොඉඳුල් යෞවනියන් වශයෙන් දක්වා තිබීමත් ඔවුන්ගෙන් තවත්
කොටසක් නග්න ස්වරූපයෙන් දක්වා තිබීමත් තුරුලිය සම්පත සම්බන්ධ නොඉඳුල්
ස්වභාවය සංකේතනය කරවන්නක් බව මානව විද්‍යාඥයෝ කියති.


මේ අතර ශ්‍රී ලංකාවේ ආදිවාසීන් වන වැදි ජනතාව ද මෙම වෘක්ෂ වන්දනාවේ
යෙදෙති. කාලාන්තරයක් තිස්සේ තමන් අතුරින් වෙන්වන මියගිය ඥාතීන්ගේ ආත්මයන්
වනයේ ඇති සුවිසල් වෘක්ෂයන් තුළ සැඟවෙතැයි ඔවුහු විශ්වාස කරති. ඒ නිසාම
ගහකොළ ඇතුළු ස්වභාවික පරිසර පද්ධතීන් කෙරෙහි පූජනීය, ගෞරවනීය ආකල්පයක්
දරන වැදි ජනතාව අතින් කිසිදු වන සංහාරයක් සිදු නොවේ. එමෙන්ම ඔවුන් තුළ
සොබා දහමට,වන පෙතට ඇති ඇල්ම ආදිවාසී නායක ඌරු වරිගේ වන්නියලැත්තන් ඒ
උදෙසා අධිකරණයට යෑමෙන් මනාව තහවුරු වෙයි.ඒ අනුව ආදිවාසීන්ගේ සිට
පරිසරවේදීන් තෙක් ඍජුව හා අනියමින් පිළිගන්නා මෙම වෘක්ෂ දේව සංකල්පය අප ද
කවර ලෙසකින් හෝ පිළිගැනීමේ දොසක් නැත.ඒ කෙසේ හෝ තුරු ලිය සහ එහි අගය
පිළිබඳ නිසි වැටහීමක් නැති පාලකයන් සිටින රටක මෙම රුක් දෙවි වරුන්ගේ සේම
එම රටේ සමස්ත ජනතාවගේ පැවැත්ම අතිශය  අනතුරු දායක බව ද නොකියාම
බැරිය.

තිලක් සේනාසිංහ

t

o

p