ගල්අගුරු ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දුර්වලතා නිසා රටට විශාල මුදල් ප්‍රමාණයක අලාභයක්

March 10, 2021

ගල්අගුරු ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දුර්වලතා නිසා රටට විශාල මුදල් ප්‍රමාණයක අලාභයක් සිදුවී ඇති බැවින් මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් කමිටුවට ඉදිරිපත්කිරීමට කටයුතු කළ යුතු යැයි පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව බලශක්ති අමාත්‍යාංශයට  නිර්දේශ කර තිබේ.

එසේම  මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයනය සහ එම ව්‍යාපෘතිය සඳහා වන ප්‍රසම්පාදන කටයුතු පිළිබඳ විශේෂ විගණන වාර්තාව අධ්‍යයනයේදී මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තෙවැනි කොටසේ ව්‍යාපෘති ඒකකයේ පිරිවැය අනෙකුත් ඒකකවල පිරිවැය හා සැසදීමේදී ඉහළ අගයක් ගන්නා බවද කෝප් කමිටුව පෙන්වාදී තිබේ.

තවද නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සතුව ඇති ජනක යන්ත්‍ර 03න් මෙගාවොට් 900ක් නිකුත්වන බව සඳහන් වුවත් නිවැරදිවම එක් යන්ත්‍රයකින් නිකුත් වන්නේ මෙගාවොට් 270 පමණක් බවත් මේ නිසා සත්‍ය ලෙසම මෙම බලාගාරය මෙගාවොට් 810 පමණක් නිකුත්වන බලාගාරයක් බවත් අනාවරණය කොට තිබේ. මේ සම්බන්ධයෙන් වූ සාකච්ඡා පිළිබඳ ප්‍රගතිය හා ගනු ලැබූ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වාර්තාවක් කෝප් කමිටුවට ලබාදීමට නිර්දේශ කර තිබේ.

නව වැනි පාර්ලිමේන්තුවේ පළමු වැනි සැසිවාරය සඳහා වූ  පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ ( කෝප් ) පළමු වැනි වාර්තාව එම කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා විසින් අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අතර මෙම තොරතුරු අනාවරණය කිරීම සහ නිර්දේශ නිකුත්කිරීම සිදුව තිබුනේ මෙම වාර්තාවෙනි.

මෙම වාර්තාව මගින් 2020.10.06 දින සිට 2020.12.08 දින දක්වා  විමර්ශනය කරන ලද විගණකාධිපති විශේෂ වාර්තා 06 ක විමර්ශනයන්ට අදාල වාර්තාව මෙසේ අද පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරනු ලැබීය.

2009 වසරේ සිට 2016 ජූනි දක්වා නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා සිමාසහිත ලංකා ගල් අගුරු සමාගම මඟින් සිදු කරන ලද ගල් අගුරු ප්‍රසම්පාදන සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ බලශක්ති පිළිබඳ ආංශික අධික්ෂණ කමිටුවේ ඉල්ලීම පරිදි විගණකාධිපති විසින් ඉදිරිපත් කරනු ලබන විශේෂ විගණන වාර්තාව, මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයනය සහ එම ව්‍යාපෘතිය සඳහා වන ප්‍රසම්පාදන කටයුතු පිළිබඳ විශේෂ විගණන වාර්තාව ඊට ඇතුළත් විය.

මෙයට අමතරව ලක්විජය බලාගාරයේ මෙහෙයුම් කටයුතු හා එහි පාරිසරික බලපෑම සම්බන්ධ විගණකාධිපති විශේෂ වාර්තාව, කැලණි ගඟේ දූෂණය සම්බන්ධ  විශේෂ විගණන වාර්තාව, 2016 වර්ෂය තුලදී ජාතික ලොතරැයි මණ්ඩලයට පරිගණකාශ්‍රිත දිනුම් ඇඳීම සඳහා වූ ලොතරැයිපත් මුද්‍රණය හා භාරදීම පිළිබඳ ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් සිදු කරන ලද විශේෂ විගණන වාර්තාව සහ රාජ්‍ය සේවයේ ඩිජිටල්කරණය කිරීමට අදාළව සීමාසහිත ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය ඉටුකර ඇති කාර්‍යභාරය පිළිබඳ විශේෂ විගණන වාර්තාව ඊට ඇතුලත් විය.

විශේෂයෙන් ලක්විජය බලාගාරයේ මෙහෙයුම් කටයුතු හා එහි පාරිසරික බලපෑම සම්බන්ධ විගණකාධිපති විශේෂ වාර්තාව අනුව එම බලාගාරය 2017 වර්ශයේ සිට මේ දක්වා අවස්ථා 3 කදී විදුලි ඇනහිටීම් සිදුව ඇති බවත් එයට හේතුව මෙවැනි විශාල බලාගාරයක් එක් තැනක ඉදිකර තිබීම බවත් මෙම වාර්තාව මගින් අනාවරණය කොට තිබේ. එසේම ඉදිරියේදී තවත් මෙගාවොට් 300 මෙම බලාගාරයට එකතුවීම මගින් පද්දතියේ අස්තාවරත්වය තවත් වැඩි විය හැකි බවත් මෙහි සඳහන් කොට ඇත.

එසේම මධ්‍යම අධිවේගී මාර්ගයේ මාර්ගපතය නිරන්තරයෙන් වෙනස්කිරීම මගින් ව්‍යාපෘතියේ මදිකිරීම් අසාමාන්‍ය ලෙස ප්‍රමාද වීම සහ ව්‍යාපෘතියේ පිරිවැය කෙරෙහි අහිතකරලෙස බලපෑම් ඇතිකර තිබෙන බවද වාර්තාව මගින් පෙන්වාදී තිබේ.

කැලණි ගඟ ආශ්‍රිතව බස්නාහිර පළාත තුළ   A හා B කාණ්ඩයට අයත් කර්මාන්ත 294ක් අතුරින් A කාණ්ඩයේ කර්මාන්ත 41ක් පරිසර ආරක්ෂණ බලපත්‍රයක් රහිතවද, කර්මාන්ත 205ක බලපත්‍ර නවතා ඇති බවද, කිසිදු සටහනක් නොමැතිව ඉහළ අවධානමක් සහිත කර්මාන්ත 17 පවතින බවද නිරීක්ෂය වී ඇති බව මෙම වාර්තාවෙන් අනාවරණය කොට තිබේ.

එසේම සීතාවක අපනයන සැකසුම් කළාපය සඳහා වසර 8ක කාලයක් පරිසර ආරක්ෂණ බලපත්‍රක් ලබා දී නොතිබීම පිළිබඳවද මෙම වාර්තාවෙන් හෙලිකොට තිබේ. තවද කැළණි ගග දෙපස ඇති අනවසර ඉදිකිරීම් පිළිබඳවද මෙම වාර්තාවෙන් සඳහන් කොට තිබේ.

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මගින් ගොතරැයිපත් මුද්‍රණය කිරීමේදී අනෙකුත් ආයතන හා සැසදීමේදී ඉහළ පිරිවැයක් දැරීමට සිදුවන බවද කාරක සභාවට නිරීක්ෂණය වී ඇති බවද මෙම වාර්තාවේ සඳහන් වී ඇත. මේ නිසා මේ පිළිබඳ අදාල නිළධාරීන් සමග සාකච්ඡාකර එකගතාවයකට පැමිණීමේ අවශ්‍යතාවය පිළිබඳවද කමිටුව නිර්දේශ කර තිබේ.

රාජ්‍ය සේවයේ ඩිජිටල්කරණය කිරීමට අදාළව සීමාසහිත ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය ඉටුකර ඇති කාර්‍යභාරය පිළිබඳ විශේෂ විගණන වාර්තාව මගින් ආයතනය තුළ උපායමාර්ගික සැලැස්මක් හෝ ආයතනික සැලැස්මක් නොතිබීම පිළිබඳවද, අනුමත කාර්ය මණ්ඩලයක් සහ බඳවා ගැනීමේ පටිපාටියක් නොමැතිවීම පිළිබඳවද, මෙමගින් ආරම්භ කළ ව්‍යාපෘති අතහැරදැමීම සහ අසාර්තක වීම පිළිබඳවද මෙම වාර්තාව මගින් පෙන්වාදී තිබේ.

t

o

p