ලංකා බැංකු ප්‍රධාන මූලස්ථාන ගොඩනැගිල්ල තුන්වන පාර්ශවයකට විකිණීමේ සැලසුමක් රජය සතුවේදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදි අද (09) ප්‍රශ්න කළේය.
ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්නයක් මතු කරමින් විපක්ෂ නායකවරයා මෙසේද කීය.
රටක මූල්‍ය ස්ථායීතාවය පවත්වා ගැනීමට බැංකු පද්ධතිය මගින් සුවිශේෂී දායකත්වයක් ලබා දෙනවා. රජය විසින් වරින් වර ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ බැංකු පද්ධතියේ පැවැත්මට සෘජු බලපෑම් එල්ල කරන අතර, එය සමස්ත ආර්ථිකයටම බලපෑම් ඇති කරනු ලබනවා. වර්තමාන රජය විසින් රටේ මූල්‍ය ක්ෂේත්‍රය සහ, බැංකු පද්ධතිය කෙරෙහි අහිතකර බලපෑම් සිදුවන ආකාරයේ තීන්දු තීරණ ගනිමින් සිටින බව පෙනී යනවා. මහජන මුදලින් ගොඩනැංවුණු රාජ්‍ය බැංකු පද්ධතිය උපයෝගී කරගනිමින් රජයේ පාර්ශ්වයේ හිතවාදීන් සහ ගජමිතුරන් සඳහා අසාධාරණ සහ, පිළිගත නොහැකි ආකාරයේ මූල්‍ය සහන සලසා ඇති බව අනාවරණය වී තිබෙනවා. ඒ සඳහා වන මෑතකාලීනම උදාහරණය වන්නේ, ඩී. එස්. ගුණසේකර පෞද්ගලික සමාගමට ලංකා බැංකු ශාඛාවක් මගින් සිගරට් තොග රැස්කිරීම සඳහා රුපියල් බිලියන 3.145 ක ණය මුදලක් අනුමත කිරීමයි. 2021 වර්ෂය සඳහා වූ අයවැය මගින් සිගරට් මිල වැඩි වේ යැයි යන බලාපොරොත්තුව මත එම වැඩිවන මිලෙහි වාසිය ලබා ගෙන ලාභ ඉපයීමට මෙම ණය මුදල ලබා දී ඇති බව වාර්තා වෙනවා.
එපමණකින් නොනැවතී රාජ්‍ය බැංකු පද්ධතිය කෙරෙහි තවදුරටත් අතපොවමින්, මෙවැනි අවිධිමත් ණය ලබාදීම් ඇතුළු අයථා ගනුදෙනු වලට විරුද්ධත්වය ප්‍රකාශ කරන නිළධාරීන් පදනමකින් තොරව විටින් විට ස්ථාන මාරුකිරීම් සිදු කරමින් සහ, රජයේ අභිමතයන් අනුව කටයුතු කිරීමට හැකිවන ලෙස බැංකු ක්ෂේත්‍රයේ විධායක කළමනාකාරීත්වයේ පත්කිරීම් සිදු කරන බවට ද චෝදනා රැසක් ගොනු වී තිබෙනවා.
මෙම තත්ත්වය සමස්ත ආර්ථිකයටම බලපෑම් ඇති කරන ජාතික වැදගත්කමකින් යුතු කරුණක් වශයෙන් සලකා පහත සඳහන් ප්‍රශ්න වලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලිකිරීම් රජයෙන් බලාපොරොත්තු වෙනවා.
- ප්‍රධානතම රාජ්‍ය වාණිජ බැංකුවක් වන ලංකා බැංකුව මගින් ඇපකර ණය (Pledge loan) ලබා දීමේ දී අනුගමනය කරනු ලබන ප්‍රතිපත්ති මොනවාද? මෙලෙස සිගරට් තොග රැස්කර පසුව ලාභ ලබා ගැනීමේ අරමුණින් ණය ලබා දීම ලංකා බැංකුවේ ප්‍රතිපත්ති වලට එකඟද? එසේනොවේ නම්, මෙවැනි ණය මුදලක් ලබාදීම සඳහා අනුමැතිය ලබාදුන්නේ කවුරුන් විසින් ද? එය කිසියම් අදිසි හස්තයක හෝ දේශපාලනික බලපෑමක් මත සිදු කරන ලද්දක් ද? නොඑසේනම්, මෙවැනි ණය මුදලක් ලබාදීමට බලපෑ හේතු සාධක කවරේද? ණය මුදල අනුමත කිරීමෙන් බැංකුවට හෝ රටේ ආර්ථිකයට ලැබෙන වාසිය කුමක්ද? මෙවැන්නක් සිදු කිරීම තුලින් බැංකුවේ මූල්‍ය ස්ථායීතාවයට දැඩි බලපෑමක් ඇති කරන බව රජය පිළිගන්නේ ද? නොඑසේනම් ඒ මන්ද?
- මෙම අයථා ණය ගනුදෙනුවේ දී රුපියල් බිලියන 3.15ක ණයක් ලංකා බැංකු ශාඛාවක් විසින් අනුමත කර තිබෙනවා. ලංකා බැංකු එක් ශාඛාවකට ණය ලබා දිය හැකි උපරිම සීමාව කොපමණද? මෙවැනි දැවැන්ත ණය මුදලක් එක් ව්‍යාපාරිකයෙකුට ලබා දීම මගින් එම ශාඛාවෙන් ණය පහසුකම් ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින අනෙකුත් පුද්ගලයන්ට යම් අසාධාරණයක් සිදු වන බව රජය නොසිතන්නේ ද? මෙම දැවැන්ත ණය මුදල ලබා දුන් මාතර කටුවාන ශාඛාවට තවදුරටත් ලබාදිය හැකි ණය ප්‍රමාණය කොපමණද? එසේ උපරිම සීමාව ඉක්මවා ණය ලබා දීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙල කවරේද? මෙම ණය ඉල්ලුම් කිරීමේ සිට ණය මුදල නිදහස් කිරීම දක්වා බැංකුව විසින් අනුගමනය කර ඇති ක්‍රියාපිළිවෙල සහිත වාර්තා සභාගත කිරීමට රජය කටයුතු කරන්නේ ද? නොඑසේ නම් ඒ මන්ද?
- වාණිජ බැංකු මගින් ණය පහසුකම් ලබා දීමේ දී ඇපකර (collateral) තබා ගන්නා අතර, එම ඇපකර නිදහස් කිරීමේ දී යම් නිශ්චිත ක්‍රමවේදයක් අනුගමනය කරනු ලබනවා. ලංකා බැංකුව මගින් ණය පහසුකම් ලබා දීමේදී, ඇපයට තබාගත් දේපල, බැංකුව විසින් අනුගමනය කරනු ලබන නියමිත ක්‍රමවේදයට පරිබාහිරව පසුගිය කාලය තුළ නිදහස් කර තිබේ ද? පසුගිය මාස 3 කාලපරිච්ඡේදය තුළ බැංකුව මගින් නිදහස් කරන ලද දේපල සහ අනුගමනය කරන ලද ක්‍රමවේදය පිළිබඳ වාර්තාවක් මෙම සභාවට ඉදිරිපත් කළ හැකිද? නොඑසේනම් ඒ මන්ද?
- ලංකා බැංකුවේ මහා කළමනාකරු පත්කිරීමේ දී සුදුසුම පුද්ගලයන් නොසලකා හැර තිබෙනවා. එමෙන්ම හිටපු මහ කළමනාකරුට විශාල මුදලක් අවිධිමත් ලෙස ලබා දී විශ්‍රාම ගන්වා තිබෙනවා. එසේම පසුගිය වසර තුළ රජයේ අත්තනෝමතික තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා නියමිත ක්‍රමවේදයෙන් පරිබාහිරව විධායක කළමනාකාරීත්වයේ නිළධාරීන් වරින් වර ස්ථාන මාරුවීම් සිදු කර ඇතිබව රජය පිළිගන්නේ ද? ලංකා බැංකුව විසින් අභ්‍යන්තර ස්ථාන මාරු සිදු කිරීමේ දී අනුගමනය කරනු ලබන ක්‍රමවේදය කුමක්ද? මෙවැනි පදනමකින් තොරව ස්ථානමාරුවීම් සිදු කිරීම බැංකුවේ අභ්‍යන්තර පරිපාලන කටයුතු මෙන්ම, බැංකුවේ කාර්ය සාධනය සඳහා ද බාධා ඇති කරන බව රජය පිළිගන්නේ ද? එසේනම් මෙවැනි ක්‍රියා තුළින් බැංකු පද්ධතිය අඩපණ වීමේ වගකීම රජය විසින් භාරගනු ලබන්නේ ද? නොඑසේනම්, මෙම කරුණු පිළිබඳ විමර්ශනයක් කර වගකිව යුත්තන් නීතිය හමුවට පැමිණවීමට රජය කටයුතු කරන්නේ ද? නොඑසේ නම් ඒ මන්ද?
- මාස දෙකකට පෙර ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් කෙටි කාලීන ශ්‍රේණිගත කිරීම සහ දිගුකාලීන ශ්‍රේණිගත කිරීම ඇතුළු ශ්‍රේණිගත කිරීම් රැසකින් ලංකා බැංකුව පහත හෙලා තිබෙනවා (Downgrade the ratings). මෙසේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය බැංකුව downgrade වීමට හේතුව කුමක් ද? රජය දිගින් දිගටම රාජ්‍ය බැංකුවලට අනිසි ලෙස මැදිහත් වීම මේ සඳහා හේතු වූ බව රජය පිළිගන්නේ ද? නොඑසේ නම් ඒ මන්ද?
- ලංකා බැංකු ප්‍රධාන මූලස්ථාන ගොඩනැගිල්ල තුන්වන පාර්ශවයකට විකිණීමට අපේක්ෂා කරන බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. එවැනි සැලසුමක් රජය සතුවේද? එසේනම්, ඒ පිළිබඳව තොරතුරු මෙම ගරු සභාවට ඉදිරිපත් කරන්නේ ද? එවැනි තීරණයක් ගැනීමට බලපා ඇති හේතු කවරේද?