ව්‍යාජ තොරතුරු දී වාහන කුලියට ගෙන විකුණු ජාවාරමක් හෙළිවේ.

January 12, 2021

වාහන කුලියට දෙන ආයතනවලට ව්‍යාජ තොරතුරු ඇතුළත් ලේඛන ලබාදී වාහන ගෙන ඒවා ව්‍යාජ ලේඛන සකස් කොට විකුණු ජාවාරමක් මුල්ලේරියාව පොලිසිය මගින් සොයා ගෙන ඇත.

එහිදි එලෙස වාහන ලබා ගෙන විකුණු කණ්ඩායමෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 17 ක් සොයා ගෙන තිබේ. එසේම ඔවුන්ට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර දුන් ගම්පහ පදිංචිකරුවෙක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ව්‍යාජ තොරතුරු දී වාහන කුලියට ගෙන එම වාහන ව්‍යාජ ලිපි ලේඛන සකසා විකුණන ජාවාරමක් පිළිබද ලැබුණු තොරතුරු මත මුල්ලේරියාව කළ විමර්ශනයක දී මෙම පුද්ගලයන් හා වාහන සොයාගෙන තිබේ. ඒලෙස වාහන ලබාගැනීමට මොවුන් ව්‍යාජ හැදුනුම්පත්, ව්‍යාජ රියදුරු බලපත් හා පදිංචිය තහවුරු කිරිම වෙනුවෙන් ව්‍යාජ ජල හෝ විදුලි බිල්පත් ලබා දී වාහන ගෙන ඇති බව විමර්ශනවලදී හෙළිව ඇත.

මෙලෙස ලබා ගන්නා සමහර වාහන කැබලි කොට විකුණා ඇති බවත් අනෙක් වාහන චැසි අංක හා ඒන්ජින් අංක වෙනස් කර විකුනා ඇති බවත් තොරතුරු හෙළිව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

වාහන ගත් පුද්ගලයන් නැවත වාහන ලබානොදීම හේතුවෙන් වාහන කුලියට දෙන ආයතන විසින් සොයා බලද්දි ඔවුන් දුන් ලිපිනවල ඒම පුද්ගලයන් නොමැති බව තහවුරු වී තිබේ. එසේම මෙම පුද්ගලයන් අදාළ වාහන ලබාගැනීමට පැමිණි ස්ථානවල ඔවුන්ගේ ජායාරූපයක් හෝ නොතිබූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

වාහන කුලියට දීමේදි සැලකිලිමත් වන ලෙස ද නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉල්ලීමක් කරයි.

t

o

p