ජනවාරි 25 වැනිදා සිට උපකාරක පන්ති ආරම්භ කිරීමට අවධානය – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.ඇල් පීරිස්

January 8, 2021

ලබන ජනවාරි 25 වැනිදා සිට උපකාරක පන්ති ආරම්භ කිරීමට  අනුමැතිය ලබාදීමට සලකා බලන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.ඇල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී අද(08) පැවසීය.

ඊට අදාළව සෞඛ්‍ය අංශ සමඟ සාකච්ජා කරන බවත්, නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් යටතේ එය ක්‍රියාත්මක කරන බවත්,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග  27(2) යටතේ යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙරට උපකාරක පන්ති කරන ගුරුවරු ලක්ෂ 03 ක් සිටින බවත්, උපකාරක පන්ති පවත්වන ආයතන 25000 ක් පවතින බවත් මේ වන විට සෘජු හා වක්‍ර රැකියා ලක්ෂ 10ක් පමණ අහිමි වී ඇති බවත්, මතුව ඇති තත්ත්වය පාලනය සඳහා රජය කඩිනම් පියවර ගතයුතු බවත් විපක්ෂ නායකවරයා කීවේය.

ඊට පිළිතුරු දුන් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ රටතුළ මේ වන විට දැඩි ව්‍යාකූල තත්ත්වයක් පවතින බවත්, මෙම ගෝලීය ප්‍රශ්නයෙන් මිදීමට රජය ක්‍රමානුකූල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත්ය. ගැටලුව විසදීම සඳහා පියවරෙන් පියවර කටයුතු කරන බවත්, තුලනාත්මක වැඩපිළිවෙලක් රටතුළ ක්‍රියාත්මක බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

“කොවිඩ් 19 ප්‍රශ්නය විසඳීම සඳහා සාධාරණ සහ යුක්ති සහගත වැඩපිළිවෙලක් වත්මන් රජය ක්‍රියාත්මක කරනවා. ලොව කිසිම රටක මාර්ගගත අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන්ම සාර්ථක නහැ. බ්‍රිතාන්‍ය, ඇමෙරිකාව ,ප්‍රංශය වැනි රටවලද පාසල් වසා දමා තිබෙනවා.රටේ ක්‍රියාත්මක වැඩපිළිවෙලක සාර්ථක හෝ අසාර්ථක බව මැනීම කළ යුත්තේ එම වැඩපිළිවෙල අවසානයේදීයි. ආර්ම්භයේදී නොවේ. අමාත්‍ය මණ්ඩලය පත්වී තවම මාස 05 යි වෙන්නේ.  රජය ක්‍රමානුකූල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් සිටිනවා” ලෙස ද අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.ඇල් පීරිස් මහතා වැඩිදුරටත් පැවසීය.

ආර්ථික සාධක, සමාජීය සාධක සහ භූගෝලීය සාධක පිළිබඳව සලකා බලා වත්මන් රජය කොවිඩ් 19 අර්බුදයෙන් මිඳීමට ක්‍රියා කරන බවද අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.ඇල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

t

o

p