නැගෙනහිර ජැටියේ පූර්ණ අයිතිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුයි – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

January 7, 2021

වර්තමාන රජය  විසින් කොළඹ වරායේ, නැගෙනහිර  ජැටියේ  කළමනාකරණය හෝ  මුළු අයිතිය හෝ  අයිතියෙන්  කොටසක් හෝ  විදේශ  සමාගමකට පැවරීමට තීරණය කර නොමැති බව අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂ මහතා  ඊයේ (06) පාර්ලිමේන්තුවේදී පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මෙම පර්යන්තය දිගින් දිගටම  ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම හේතුවෙන් කොළඹ වරාය තුළ  ඇති වූ නාවික තදබදය ඉවත් කර සාමාන්‍ය අයුරින් පවත්වාගෙන යාම සඳහා ඉදිරි දෙවසර ඇතුළත නැගෙනහිර බහාලුම් පර්යන්තය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතු වුවද පසුගිය රජය විසින් ගනු ලැබූ තීන්දු තීරණ හේතුවෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට විවිධ බාධා උද්ගත වී ඇති බව මෙහිදී අග්‍රාමාත්‍යවරයා හෙළිදරව් කළේය.

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය මෙරට සංවර්ධනය සඳහා ඉතා වැදගත් කේන්ද්‍රස්ථානයක් බවත්, පැවති යහපාලන රජය විසින් කොළඹ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ගිවිසුම් දෙකක් සඳහාද එළඹ තිබූ බවත්  සඳහන් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අදාළ ගිවිසුම් දෙකෙහි පිටපත් ද සභාගත කළේය.

එලෙස සභාගත කළ ඇමුණුම් වන්නේ, 2017 අප්‍රේල් 26වෙනි දින වරාය හා නාවික අමාත්‍යාංශය සම්බන්ධකර නොගෙන ඉන්දියන් රජය සමඟ ඇති කරගත් ගිවිසුමක් හා 2019 මැයි මස 28 වැනි දින ශ්‍රී ලංකා රජය, ඉන්දියන් රජය සහ ජපන් රජයේ එකඟත්වයෙන් ඇති කරගත් ගිවිසුම් පිටපත්ය.

මෙම නැගෙනහිර  බහාලුම් පර්යන්තය මීටර් 1320කින් දිගින් යුතුවන අතර මේ වන විට සංවර්ධනය කර ඇත්තේ මීටර් 440ක දිග දක්වා පමණක් බව ද මෙහි මෙහෙයුම් කටයුතු සැලසුම් කළ පරිදි ඒ සඳහා අවශ්‍ය උපකරණ ප්‍රසම්පාදනය කර නොමැති බවද, මුළු ව්‍යාපෘතියෙන් 15%ක් පමණ සංවර්ධනය කර ඇති අතර ඉතිරි කොටස සංවර්ධනය කිරීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 590ක් පමණ වැය  වන බව අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

සිය රජය සමයේ, 2005 සිට 2015 දක්වා කාලයේදී බහාලුම් ලක්‍ෂ 72ක් පමණ ක්‍රියාත්මක  කළ හැකි බහාලුම් අංගණ තුනකින් සමන්විත කොළඹ දකුණු වරාය සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූ බවත්, වසර 35ක කාලයක් සඳහා රාජ්‍ය හා පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස ගිවිසුම්ගතව මෙහෙයුම් සිදු කිරීම සඳහා මෙහෙයුම් අංගණ දෙකක් ලෙස නැගෙනහිර බහාලුම් පර්යන්තය (ECT) සහ බටහිර බහාලුම් පර්යන්තය (WCT) කඩිනමින් ක්‍රියාත්මක  තත්ත්වයට  පත් කිරීමට වර්තමාන රජය  කඩිනමින් ක්‍රියාත්මක වන බව අග්‍රාමාත්‍යතුමා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය. කෙසේ වුවද, නැගෙනහිර ජැටියේ පූර්ණ අයිතිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු වන බවත්, පැවති රජය විසින් ශ්‍රී ලංකා, ඉන්දියානු සහ ජපන් රාජ්‍යයන්වල එකඟතාවයට පත් ගිවිසුම් අනුව ශ්‍රී ලංකාව විසින් ණය ලබා නොගෙන  නැගෙනහිර බහාලුම් පර්යන්තයේ මෙහෙයුම් ශ්‍රී ලංකාවට වාසිදායක වන ආකාරයට පවත්වා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පරිදි අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද සාකච්ජා සම්මුති කමිටුවක් සහ ව්‍යාපෘති කමිටුවක් පත් කර ඇති බව අග්‍රාමාත්‍යවරයා  වැඩිදුරටත් සඳහන් කළේය

t

o

p