සුර‍ාබදු දෙපාර්තමේන්තුවට මෙතෙක් නොලද හිඟ බදු මුදල රු.මිලියන 2376.2 ක් – රජයේ ගිණූම් කාරක සභාව.

December 9, 2020

පසුගිය 2019 දෙසැම්බර් වන විට සුරාබදු දෙපාර්තමේන්තුවට වසර 05 කාල සීමාවක් සඳහා ලැබීමට නියමිත හිඟ බදු මුදල රු.මිලියන 2376.2 ක් බව ඊයේ දින පාර්ලිමේන්තුවේදි පැවති ගිණුම් කාරක සභාවේදි අනාවරණය විය.

2019 දෙසැම්බර් 31 වන දිනට සුරාබදු දෙපාර්තමේන්තුවට වසර 05 ඉක්මවා ලැබීමට නියමිතව නිබූ හිඟ බදු මුදල් එකතුව රු. මිලියන 479.9 වූ අතර, එහි ප්‍රමාද ගාස්තුව පමණක් රු. මිලියන 1896.3  ක් විය.

එම හිඟ ආදායම් නොපමාව අය කර ගැනීමට කටයුතු කළ යුතු බව රජයේ මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ගිණූම් කාරක සභාව අවධාරණය කර සිටියේය. මෙම හිඟ බදු මුදල් අයකර ගැනීමට අවශ්‍ය නෛතික කටයුතු සිදු කරගෙන යමින් පවතින බව සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා ඇතුළු නිලධාරින් සභාවට දැන්වීය.

එමෙන්ම සුරාබදු දෙපාර්තමේන්තුව මඟින් පසුගිය වසර 05 තුළ වැටලීම් 224737 සිදු කර ඇති අතර, ඉන් වැටලිම් 53848 ක් 2017 වර්ෂයෙත්, වැටලීම් 49278 ක් 2018 වසරේත්, 2019 වසරේ වැටලීම් 47391 ද සිදු කර එම අපරාධ සඳහා නීති ක්‍රියාමාර්ග වෙත යොමු කර ඇති බව කාරක සභාවේදි අවධානයට යොමු විය.

2019 දෙසැම්බර් 31 වන දිනට සුරාබදු දෙපාර්තමේන්තුවේ විවිධ හේතුන් මත වැඩ තහනමට ලක් වූ නිලධාරින් 48ක් සම්බන්ධයෙන් වසර 01 සිට 03 ක් ඉක්මවා ඇතත් අදාළ විනය පරික්ෂණ නිසි පරිදි අවසන්වී නොමැති වීම පිළීබඳව සභාපතිවරයාගේ අවධානයට යොමු වූ අතර, එහිදි යම් නිලධාරින් වැඩ තහනමට ලක්ව ඇත්තේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සඳහා සහභාගි නොවීම වැනි හේතුන් නිසා බවද හඳුනාගන්නා ලදි.  

කඩිනමින් එම නීතී කෘතයයන් අවසන් කර සුරාබදු දෙපාර්තමේන්තු‍වේ කටයුතු කාර්යක්ෂමව පවත්වා ගැනීමට කටයුතු කරන ලෙස කාරක සභා සභාපතිවරයා දැනුම් දෙන  ලදි. එමෙන්ම දෙපාර්තමේන්තුවේ මෙහෙවරට ඍජුවම බලපානු ලබන ජ්‍යෙෂ්ඨ හා තෘතික මට්ටමේ තනතුරු පුරප්පාඩු නිසි ක්‍රමවේදය යටතේ පූර්ණ කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් මෙකී කාරණා වල වත්මන් ප්‍රගතිය පිළිබඳව වාර්තා‍වක් ඉදිරිපත් කරන ලෙසද සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කරන ලදි.

තවද 2020 නොවැම්බර් මාසය වන විට රු.1,597,559 ප්‍රසම්පාදන වියදමක් දරන ලද ආරක්ෂිත ස්ටීකර් කළමනාකරණ පද්ධතිකරණ ක්‍රියාවලිය සුරාබදු දෙපාර්තමේන්තුවේ මුළු ආදායමෙන් 0.28% පමණක් වූ ආනයනික විදේශ මත්පැන් වලට පමණක් සීමා වීම සම්බන්ධයෙන් කාරක සභාවේ විශේෂ අවධානය යොමු විණි. එය දේශිය මත්පැන් ප්‍රමිතිකරණය සඳහාද අත්‍යවශ්‍ය වැඩපළිවෙලක් බව කම්ටුවේ අදහස විය.

රටට අති විශාල ආදායමක් ලබා දෙන සුරාබදු දෙපාර්තමේන්තුවේ නීති හා පර්යේෂණ ඒකකයක් ස්ථාපිත කළ යුතු බවට වන පූර්ව කෝපා කමිටු යෝජනාව ක්‍රියාත්මක කර තිබුනද නීති නිලධාරියෙක් ඒ සඳහා බඳවා නොගැනීම පිළිබඳව නැවතත් කමිටුව විසින් අවධාරණය කරන ලදි.

මහාචාරය තිස්ස විතාරණ මහතාගේ සභාපතිත්වයෙන් පැවති මෙම කාරක සභාවට ගරු රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න,  ෂෙහාන් සේමසිංහ යන මහත්වරුද තිස්ස අත්නනායක, වෛද්‍ය උපුල් ගලප්පත්ති සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර ඇතුළු මන්ත්‍රීවරු පිරිසක්ද සහභාගි වූහ.

මීට අමතරව  මුදල් අමාත්‍යාංශ ලේකම් සහ භාණ්ඩාගාර ලේකම් එස්.ආර් ආටිගල, සුරාබදු කොමසාරිස් ජනරාල් ඒ. බෝදරගම මහතා,  ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරිහු ද පැමිණ සිටියහ. 

t

o

p