බ්‍රැන්ඩික්ස් පොකුර අවේ යුක්රේන ජාතියෙකුගෙන් – රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

December 8, 2020

කොවිඩ් 19 තවත් පොකුරක් රට තුළ ඇති නොවීමට අවශ්‍ය සියලු කාරනා මේ වන විටත් සිදු කර ඇති බව රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේදී අද ( 07 )  පැවසීය.

ජාතික ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව තුළ කොවිඩ් පොකුරක් ඇති වූ ආකාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළදී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරිය මේ බව පැවසුවාය.

එසේම බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව ආශ්‍රිත කොව්ඩ් පොකුර ආරම්භ වීම පිළිබඳ අංශ ගණනාවක් ඔස්සේ කළ සොයාබැලීම් අනුව ආසන්නතම හේතුව ලෙස අනුමාන කෙරෙන්නේ සීදූව රමාඩා හෝටලයේ නවාතැන් ගත් යුක්රේන ජාතිකයෙකු හරහා මෙය කර්මාන්ත ශාලාවට පැමිණෙන්නට ඇතැයි යන්න බවද රාජ්‍ය අමාත්‍යවරිය පැවසීය. විශේෂයෙන් මෙම විදේශිකයා හරහා හෝටලයේ සේවය කළ සේවකයන් කිහිපදෙනෙකුට රෝගය වැළදී තිබූ බවත් ඔවුන් සමීපව ඇසුරු කළ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවය කරන සේවකයින් හරහා රෝගය පැමිණ ඇතැයි අනුමාන කරන බවයි.

මේ වන විට කොවිඩ් 19 තවත් රැල්ලක් ඇතිවීම වැලැක්වීමට ලංකාවේ සෑම රෝහලකටම ඇතුළත් කරන රෝගීන් අතරින් කොවිඩ් රෝග ලක්ෂණ පෙන්වන රෝගීන්ගෙන් අහඔු ලෙස නියැදි සම්පල රැගෙන පී.සී.ආර් පරීක්ෂණ සිදුකරන බවත් රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවාය.

එසේම බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාව ආශ්‍රිත කොව්ඩ් පොකුර ආරම්භ වීම පිළිබඳ පරීක්ෂණයක් සිදුකොට වාර්තාවක් නීත්පතිවරයාට ලබාදෙන්න යැයි පොලිස්පතිවරයාට කළ නියෝගය සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා යොමු කළ ප්‍රශ්නයට පීළිතුරු දෙමින් අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසුවේ පළමුව කොළඔ අපරාධ කොට්ඨාසය මගින් මේ පරීක්ෂණය කළ බවත් දින දෙකකට පසුව එම නිළධාරීන් 70කට  කොවිඩ් ආසාදනය වූ බවයි.මේ වන විට එය අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවට පවරා ඇති බවයි.

දැනට ආසාදිතයන් ආශ්‍රිතව ප්‍රකාශ සීයකට අධික ප්‍රමාණයක් ලබාගෙන ඇති බවත් රෝගය කෙසේ පැමිණියේද යන්න පිළිබඳ තවමත් අවසාන තීරණයක් නොමැති බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය. එසේම මෙම පරීක්ෂණය කඩිනමින් සිදුකොට ඉක්මනින් තොරතුරු ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

ඉන්දියාවේ විශාකපත්නම් බ්‍රැන්ඩික්ස් ආයතනයේ ලංකාවේ සේවකයින් 500ක් සේවය කරන බවත් ඉන් 341ක්  අවස්ථා තුනකදී ලංකාවට පැමිණ ඇති බවත් ඔවුන්ට පී.සී.ආර් පරීක්ෂණ කිරීමේදී 10 දෙනෙකු ආසාදිතයන් ලෙස හදුනාගත් බවත් අමාත්‍යවරයා පැවසීය.

නමුත් මේ කිසිවෙක් ලංකාවේ බ්‍රැන්ඩික්ස් ආයතනට ගොස් නොමැති බවත් අමාත්‍යවරයා හෙලි කළේය. ඇතැම් සේවකයින් උණ රෝගය වැළදී සිටියදී ද අතිකාල දීමනා ලබාගැනීම සහා ආයතන කළමනාකාරීත්වයට නොදන්වා පැනඩෝල් පානය කොට ආයතනය තුළ සේවය කොට ඇති බව ද සොයාගෙන ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

t

o

p