20 එපා යැයි කියමින් විපක්ෂය නිහඩ විරෝධතාවයක

October 21, 2020

“20 වැනි ව්‍යවස්ථා සංශෝධනය එපා” යැයි කියමින් ඊයේ (21) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ සිට උද්ඝෝෂණය කරමින් පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුථ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සභා ගැබට පිවිස නිහඬව අසුන් ගන්නා අයුරු දක්නට ලැබිණි.

මෙම මන්ත්‍රීවරුන් පිරිස සිය රථවලට නැග පෙරහැරකින් පාර්ලිමේන්තුව වෙත පැමිණෙන්නට කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ සිට පෙරවරු 9.00 ට පමණ පිටත්වූහ.

20 එපා" යැයි සඳහන් රතු පැහැති පටියක් එක් අතක වැළමිටෙන් ඉහළ කොටසේ පළඳාගෙන සිටි මෙම මන්ත්‍රීවරුන් සියලු දෙනා පැළඳ සිටි සුදු පැහැති මුඛ ආවරණවලද ‘20 එපා ’ යැයි සටහන්කර තිබිණි. එසේ ආ ඔවුන් පාර්ලිමේන්තු සංකීර්ණයට මඳක් ඈතින් සිය රථවලින් බැස ගත්හ.

එහි සිට ‘ 20 එපා ’යැයි කෑ ගසමින් පා ගමනින් පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුළු වූ මන්ත්‍රී පිරිස පාර්ලිමේන්තු ලොබිය හරහා තරප්පු පෙළ දිගේ සභා ගැබේ පිවිසුම් දොරටුව අසලට ආහ. ඉන්පසු එම මන්ත්‍රීවරුන් එකිනෙකා නිහඬව පැමිණ තමන්ට හිමි අසුන්වල හිඳ ගත්හ.

ඒ වන විට රැස්වීම ආරම්භ කර නොතිබිණී. අත්වල රතු පටි පැළඳ සිටින විපක්ෂ නායකවරයා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දුටු ආණ්ඩුව පැත්තේ සිටි ඩිලාන් පෙරේරා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ‘ හිට්ලර්ගේ නාසි හමුදාව ඇවිල්ලා’ යැයි කෑ ගසා කීහ.

මේ අවස්ථාවේදී කතානායකවරයා මුලසුනට පැමිණ සභාවේ කටයුතු ආරම්භ කළේය. විපක්ෂයේ මෙම මන්ත්‍රී පිරිස 20 ට එරෙහිව සභා ගැබේ ඝෝෂා කරනු ඇතැයි ආණ්ඩවේ මන්ත්‍රීවරු බලාපොරොත්තු වුවත් විපක්ෂ නායකවරයා සිය විරෝධය දැක්වූයේ කොවිඞ් ව්‍යාප්තිය පිළිබඳවය. උද්ඝෝෂණය කරමින් පාර්ලිමේන්තුවට ආ මන්ත්‍රීවරු 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාල විවාදය අධිකරණ ඇමැති අලි සබ්රි විසින් ආරම්භ කරන තුරු ඒ පිළඳිබඳ කිසිදු සඳහනක් නොකළහ.

t

o

p