ත්‍රිරෝද රථ හිමිකරුවන් හය සියයක් පමණ දිනපතා තම රථ අලෙවි කිරීම සිදු කරන බවත් පසුගිය වසර තුළදී පමණක් ත්‍රිරෝද රථ හිමිකරුවන් ත්‍රිරෝද රථ 219,506 ක් අලෙවි කර ඇති බවත් මෝටර් රථ දෙපාර්තමේන්තු වාර්තා මගින් හෙළිව ඇතැයි පසුගිය දිනයෙක පුවත් පතක පළ විය,එම පුවත් පත් වාර්තාවේ සිරස් තලය වූයේ”ත්‍රිරෝද රථ කර්මාන්තයටත් කණ කොකා හඬයි”යන්න ය.
එහෙත්එම පුවත පිළිබඳ අවධානය යොමු කළ සරසවි සිසුවියක් ඉන් පැවසෙන සමාජමය පණිවිඩය විමර්ශනයකට සුදුසු බව කියා ඇත්තේ එම පුවතේ සිරස් තලය පමණක් තමන්ට අපැහැදිලි බවක් පවසමිනි.
එම සිසුවිය එසේ කියා ඇත්තේ “කණ කොකා හැඬලීම” යනු කුමක්දැයි නොදැන සිටි නිසා ය.”ඒක විෂය නිර්දේශයට කොටු වුණු මේ අධ්‍යාපන ක්‍රමයේ වැරැද්දක් මිසක් ඒ ළමයගෙ වැරැද්දක් වත් මෝඩ කමක් වත් නෙවෙයි” මා හා මේ කතාව කී පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය සමාජ විද්‍යා මහාචාර්ය දයා අමරසේකර මහතා කී ය.”ඒ ළමයා ඉතා හොඳ විමර්ශණශීලී මනැසක් තියන ළමයෙක්.නාගරික ඉහළ මධ්‍යම පන්තියට අයිති ඒ ළමයා ඉගෙන ගෙන තියෙන්නෙත් අගනුවර ප්‍රධාන බාලිකා විද්‍යාලයක.
නමුත් ඒ ළමයා ලබපු විෂයානුබද්ධ අධ්‍යාපනයේ වත් පවුල් හෝ සමාජ පරිසරයේ ඔය කියන කණකොක් කතාව තිබුණේ නැහැ.අනික ඒ කාරණාව නොදැන හිටපු පමණින් අපිට ඒ ළමයාගේ බුද්ධිය, දැනුම් පරිමාව ලඝු කරන්නත් බැහැ” මහාචාර්ය අමරසේකර කී ය.නව පරපුරේ උගත් තරුණියක තුළ පවත්නා එම පිරුළ පිළිබඳ දැනුම එසේ ශූන්‍යත්වයක පැවතිය ද”කණකොකා හැඬීම”යන පිරුළ මඟින් බිහිසුණු විපතක හෝ අවාසනාවක පෙරනිමිති යන්න හැඟවෙන බව අපි කන් පුරා අසා සිත් පුරා ධාරණය කරගෙන සිටියෙමු.එමෙන්ම යම් ලෙසකින් අපේ නිවසකට ඉහළින් කණ කොකකු හඬමින් පියාඹන ලද්දේ නම් අපගේ සිරුරු බියෙන් සළිත වන ලද්දේ එවක සමාජයේ වැඩිහිටි පරපුර වෙතින් අප හට ඒ සම්බන්ධ පූර්ව අනතුරු හැඟවීම් ලැබී තිබූ නිසා ය.
නිදහස් ශ්‍රී ලංකාවේ දෙවන සේම ඉන්පසුව දෙවරක්ම අගමැති පදවිය හෙබ වූ ඩඩ්ලි සේනානායක මහතා මිය යන ලද්දේ 1973 අප්‍රියෙල් 13 වන සිකුරාදා ය.ඊට දින දෙකකට පසු එනම් අප්‍රියෙල් 15 වන ඉරිදා නිකුත් වූ “රිවිරැස”පත්‍රයේ පොල් ගෙඩි අකුරින් “ඩඩ්ලි කළු්‍රිය කරයි” යන සිරස් තලය යොදා තිබුණේ”අවුරුදු කොහාට ඉහළින් කණ කොකා ඉගිළෙයි’ යන භාවාත්මක පිවිසුම් වැකියක් ද සමඟිනි.එම වැකියෙහි ඇති සංවේදී බව කෙසේ වුව එවක ළමා වියේ පසු වූ මගේ නොමේරූ මනැස තුළ වූ “කණ කොක් භීතිය” සිය දහස් ගුණයකින් ඉහළ නැංවුණු අයුරු මට තවමත් මතක ය.ඒ යම් හෙයකින් අපගේ නිවසට ඉහළින් ද කණ කොකෙකු ඉගිලී යාමට ඇති ඉඩ කඩ සැළකිල්ලට ගනිමිනි.
ශ්‍රී ලංකාවේ දැකිය හැකි කොකුන් විශේෂ අතුරින් කණ කොකාට ඒ නම ලැබී ඇත්තේ උගේ පියාපත් වල ඇති අව පැහැය හෙවත් “කණ පාට” නිසා බව සමහර ගැමියෝ කියති .එහෙත් Vernacular Names of Birds of Indian Subcontinent[1998] සංග්‍රගයේ දැක්වෙනුයේ මෙම පක්ෂියා කෙටි දුරක් පෙනෙන; අර්ධ අන්ධ සතකු සේ සළකා ශ්‍රී ලාංකික ගැමියන් ඌ කණ කොකා[Half Blind heron] ලෙස හඳුන්වා ඇති බවකි.
එහෙත්,එම හැඳින්වීමෙහි බරපතල දොසක් ඇතැයි මට සිතෙයි.එය හරියට ‘කළුතර’ යන ග්‍රාම නාමය Black Fat යනුවෙන් ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමකට සමාන ය.. ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කණ කොකා ඉංග්‍රීසියෙන් Indian Pond Heron යනුවෙන් හැඳින්වෙන අතර එම පක්ෂියා හැඳිවෙන විද්‍යාත්මක නාමය Ardeola grayii යනුවෙනි.දකුණු ඉරානයේ සිට නැගෙනහිරට විහිදෙන ඉන්දීය උප මහාද්වීපයට අයත් පකිස්තානය,බංග්ලාදේශය,මියන්මාරය ආදී රටවල මෙම පක්ෂි විශේෂය දක්නට පුළුවන.
එහෙත් කණ කොකා යනු අසුබ පල ගෙන දෙන පක්ෂියකුය යන ජන විශ්වාසය ඇත්තේ ශ්‍රී ලාංකීය ජන සමාජයේ පමණි.
“ඔය කණ කොකා කියන පක්ෂියා ලොකුවට හඬ නඟන සතෙක් නෙවෙයි.නමුත් රත්-යටිමල් කිරල්ලු {The Juvenile Red-wattled Lapwing} හීන් තඹ සේරුවෝ[Lesser Whistling Duck] එහෙම නම් එහෙම ශබ්ද නඟාගෙන ඉගිල්ලෙනවා.ඔය කණ කොකා ලැගලා ඉන්න කොට කණ පාට වුණාට පියාපත් විහිදලා ඉගිල්ලෙන කොට සුදු පාටයි.හැසිරීම් අනුව මිනිස්සු හඳුනා ගන්න පුළුවන් කියන එකට”කණ කොක් තටුවෙ සුද පේන්නෙ ඉගිල්ලෙන කොටලු”කියන පිරුළට මුල් වෙන්නෙත් ඔය පක්ෂියම තමයි.
නමුත් ඉතින් කණ කොකෙක් ඇඬුවම මනුස්ස්යෙක් මැරෙනවා කියන කතාව මට නම් විහිළුවක් විතරයි”මා හා එසේ කීයේ පරිසරවේදී සුපුන් ළහිරු ප්‍රකාශ් ය.”ඔය කණ කොකා ගෙ සද්දෙ නිතරම අහන්න ලැබෙන්නෙ නැහැ.
ඒ වගේම ඔය කණ කොකා එක දිගටම විලාප නඟන කුරුල්ලෙකුත් නෙවෙයි.කණ කොකා කරන්නෙ “ක්ලොක්,ක්ලොක්” වගේ කෙටි සද්දයක් විතරයි. නමුත් අද සමහරු එක දිගටම විලාප සද්දයක් නඟන කිරළුන් ගෙ හඬයි,කණ කොක් හඬයි පටලවා ගෙන තියනවා”අප සමාජයේ සාම්ප්‍රදායික ජන විශ්වාස ගවේෂකයකු වන විශ්‍රාම ලත් උපත් හා විවාහ ලේකම්,අවිස්සාවේල්ල,මානියම්ගම,බණ්ඩාරවත්තේ අයි. ඩී. ඒ. පී ධනපාල මහතා එසේ කීය.”අනික ඔය කණ කොකාගෙ සද්දෙ මිසක් කණකොකා අර තනි පොල්කිච්චා වගේ දකින්න අසුබ සතෙක් විදිහට ගැමියෝ නම් කළේ නැහැ කණ කොකෙක්.
රෑක හරි දවාලක හරි අර විදිහට කෑගහගෙන ගෙදරක වහළයක් උඩින් අර වගේ සද්දයක් කරගෙන ගියොත් ඒ ගෙදර මරණයක් වෙනවා කියන විශ්වාසය තමයි තිබුණෙ”ධනපාල මහතා කීය.ඒ අනුව එම කණකොක් අනාවැකියේ සත්‍යතාව සම්බන්ධයෙන් පෞද්ගලිකව විශ්වාස කරන්නේ දැයි මම ඔහුගෙන් ඇසුවෙමි.”ඒක මෙහෙමයි,මම අද වෙනකොට මළ ගෙවල් දාස් ගාණකට ගිහිත් තියනවනෙ.ඒ සමහර මළ ගෙවල් වල මිනිස්සු කියනවා;අනේ රාළහාමි,පහුගිය දවසක අපේ ගේ උඩින් කණ කොකෙක් අඬා ගෙන යනකොටම අපි හිතුවා මොකක් හරි මග නස්පැත්තියක් අත ළඟටම ඇවිත් තියන බව කියලා .හැබැයි මෑතක දි නම් මට එහෙම කතාවක් අහන්න ලැබුණෙ නැහැ” හෙතෙම කීය.
ධනපාල මහතාගේ ප්‍රකාශය ද පදනම් කර ගනිමින් මෙම කණකොකා හැඬලීම සහ මිනිස් මරණ සිදුවීම යන සිදුවීම් දෙක ගැලපීමේ දී අප විසින් සැළකිල්ලට ගත යුතු කරුණු කිහිපයක් තිබේ. උගේ ශරීරයේ ඇති අව පැහැය මඟින් අවාසනාව සංකේතනය වීම .ඒ අතරින් ප්‍රධානය.මහගම සේකර සූරීන් විසින් ප්‍රබන්ධය කරන ලදුව “චාරුකේශී” නම් උත්තර භාරතීය රාගයේ නාද රටාව සිහිගන්වමින් ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් විසින් තනුව සකසා ගායනා කරන ලද”සන්නාලියනේ” නම් ගීතයේ එන”කණ කොක් තටුවේ සුදුමැළි පාටින්” යන යෙදුම මගින් රසිකයා තුළ ජීවිතයේ අනිත්‍යතාව සහ මරණය පිළිබඳව ඇති කරනු ලබන භාවාත්මක සංවේදීතාව අති ප්‍රබල ය.එමෙන්ම තමන් ජීවත් වන තෙත් බිම් පරසර පද්ධතිය තුළ දී සාමාන්‍යයෙන් නිහඬ බවක් පළ කරන කණ කොකා මෙලෙස අමුතු හඬක් නංවමින් අහස් ගත වනුයේ යම් විශේෂිත හේතුවක් පදනම් කර ගෙන යැයි අතීත ගැමියා සිතන්නට ඇත.
එසේ නමුදු කණ කොකුන් ඇතුළු ජලාශ්‍රිත පක්ෂීන් දැකිය හැක්කේ අප රටේ තෙත් බිම් ආශ්‍රිත පරිසර පද්ධතීන් තුළ පමණි.ඒ අනුව ඔවුන්ගේ සංචරණ සීමාව ද එම තෙත් බිම් කේන්ද්‍ර කොට පවතී.එබැවින් මෙම කණ කොක් අනාවැකියේ ප්‍රතිඵල විමසිය හැක්කේ තෙත් බිම් ආශ්‍රිත ජනතාවට පමණි. ධනපාල මහතාගේ ප්‍රකාශය අනුව ඔහු අවමඟුල් නිවෙස් විශාල ගණනකට ගොස් තිබේ.එහෙත්,ඒවා අතුරින් කණ කොකුන් ගේ හැඬීම හා සම්බන්ධ මරණ පිළිබඳ ව අනාවරණය වී ඇත්තේ සුළු ප්‍රමාණයකි.සෙසු මරණ හා කණ කොකුන් අතර සබැඳියාවක් තිබූ බවක් නොපෙනෙයි.එහෙත්,ඔහු කී පරිදි එසේ මරණයට පත් වූවන්ගේ ඥාතීන් එම මරණ පිළිබඳව විස්තර කිරීමේ දී කණකොක් අනාවැකියක් පිළිබඳව කියා සිටිය හොත් එම මරණය හා සබැඳි භාවාතිශය තත්වය ද මුල් කොට එම පුවත සමාජය තුළ ශීඝ්‍රයෙන් සම්ප්‍රේෂණය වීමේ පහසු අවකාශයක් තිබේ.
නමුදු මෙම කණ කොකා හැඬීම සහ මරණ සිදුවීම මුල් කොට අප ජන සමාජය කරුණු විමසීමේ”තාක්ෂණික දෝෂයක් තිබේ.
එනම් එවන් කණ කොක් හැඬීමක් මුල් කොට කරුණු විමසනු වෙනුවට එහි ප්‍රතිඵලයක් ලෙස සැළකෙන මරණයක් මුල් කොට පමණක් කරුණු විමසීම ය.එවිට කණ කොක් හඬක් ඇසී එහෙත්,මරණ සිදු නොවූ අවස්ථා රැසක් මඟ හැරී යයි.පසු සිදුවීම පෙර සිදුවීමේ ප්‍රතිඵලයක්ය යන මිථ්‍යාවක් ලොව සෑම සමාජයකම තිබේ.ලතින් බසින් එය හැඳින්වෙනුයේ post hoc ergo propter hoc යනුවෙනි මෙම . කණ කොක් හැඬීම හා මරණ පිළිබඳව අනාවරණ ද ඊට සෘජුවම සම්බන්ධ ය.
මෙම පසුබිම යටතේ එම කණ කොකාගේ හැඬීම පිළිබඳව හාංකවිසියක් නොදැන වුව මානව විද්‍යා විෂය ක්ෂේත්‍ර ඔස්සේ ගැඹුරු අධ්‍යයනයන් සඳහා හිමිකම් කියන ඉහත සඳහන් සිසුවිය ඇතුළු අනාගත ශිෂ්‍ය ප්‍රජාව මුල් කොට මෙවන් අනාවැකියක් පළ කිරීමට මට පුළුවන.එනම් කණ කොකා හඬන කතාවටත් නුදුරේ දී “කණ කොකාම හඬන” බව ය .
තිලක් සේනාසිංහ