ජනප්‍රිය සිංහල බුද්ධාගම සහ සත්ව කරුණාව

August 9, 2020

ශ්‍රී ලාංකීය ජාතිකත්වයේ කොඳු නාරටිය ‘සිංහල බෞද්ධකම’ මත රඳා පවතින බව පොදු පිළිගැනීමකි. මේ බව බෞද්ධයන් ගේ සේම මැල්කම් කාදිනල් රංජිත් කතෝලික අග රද ගුරු තුමන් ගේ මුවින් පවා කිහිප වරක්ම කියැවී තිබේ.

එහෙත්, බෞද්ධකම යනු කුමක්ද? වත්මන් ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ මෙම බෞද්ධකම කොතෙක් දුරට ආරක්‍ෂා වන්නේද? නැතහොත් ප්‍රවර්ධනය වන්නේද? යන්න පිළිබඳව මෑතක විවෘත සමාජ කතිකාවක් ඇති වූ බවක් නොපෙනේ. ඒ අනුව මේ වන විට බෞද්ධකම යනු හුදු ‘සන්නාමයක්’ පමණක් බවට පත්ව ඇත.

’‘සබ්බ පාපස්ස අකරණං” යන ඕනෑම බෞද්ධයෙකුට කට පාඩමින් කිව හැකි ගාථාවට අනුව වුවද සියළු පව් දුරලීමත්, කුසල් වැඩීමත්, සිත දමනය කර ගැනීමත් යනු බුදු දහමේ මූලික අංගයන් වේ.

එහෙත්, අද වන විට රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන සහ ප්‍රවර්ධනය වන සිංහල ජාතිකත්වය මත පදනම් වූ ජනප්‍රිය බුද්ධාගම තුළ දක්නට ඇත්තේ මීට ඉඳුරාම වෙනස් මුහුණුවරකි. එනම් චිත්ත දමනය මුල්කොට ගත් සදාචාර මාර්ගය පසෙක තිබියදී ලෞකික සම්පත් හිමිකර ගැනීම පිණිස ඉවහල් වෙතැයි ජන සම්මත අනේක විධ වූ පූජා චාරිත්‍ර දාමයක් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම ය.

බුදු දහමට අනුව පූජා විධි ක්‍රම දෙකකි. එනම් ආමිස සහ ප්‍රතිපත්ති වශයෙනි. නමුත් මින් දායාද කොට ගත යුත්තේ ආමිසය නොව ප්‍රතිපත්තිමය බවට බුදුන් විසින් කරන ලද පැහැදිලි ප්‍රකාශයක් (ධම්මදායාදා හෝති භික්ඛවේ; මා ආමිස දායාදා) මජ්ජිම නිකායේ ධම්මදායාද සූත්‍රයේ සඳහන් වෙයි. නමුදු නූතන සමාජය තුළ ලෞකික අපේක්‍ෂාවන් ව්‍යාප්ත වන වේගයට අනුව ඉහත සඳහන් බුදු වදන ශීඝ්‍රයෙන් අවලංගු වෙමින් පවතින බවක් පෙනේ. සමාජමය වශයෙන් වුව මෙය ඉතා අහිතකර තත්වයකි.

ශ්‍රී ලාංකීය ජනතාව සතු ප්‍රබලතම වෘක්ෂය අනුරාධපුර සිරි මහ බෝධියයි. එය ශ්‍රී ලාංකීය බෞද්ධ ජන විඥානයේ ප්‍රබලතම ආධ්‍යාත්මික සංකේතයක් ද වේ. එපමණක් නොව ඓතිහාසික සාධක පදනම් වූ ලොව පැරණිතම වෘක්ෂය ලෙස සැලකෙනුයේ ද මෙයයි, එනිසාම මෙම ශ්‍රී මහ බෝධිය මුල් කොට තම ලෞකික සහ ආධ්‍යාත්මික අවශ්‍යතා සංතෘප්ත කර ගැනීමට දුරාතීතයේ සිට මෙරට ජනයා පුරුදු පුහුණු වූහ.

විශේෂයෙන් අද මෙන් විධිමත් සමාජ ආරක්ෂණ ක්‍රියාවලියක් ස්ථාපිත නොවූ අතීත ශ්‍රී ලාංකීය සමාජයේ ශ්‍රී මහා බෝධිය අබියසට ගොස් සිදු කළ බාරහාර, කන්නලව් ඇතුළු පූජා චාරිත්‍ර අතුරින් පිරිමි දරුවකු ලැබීමේ පැතුම මුල් කොට ගත් අභිචාර වලට මුල් තැනක් හිමි විය.

ඊට පළමු හේතුව කායික ශ්‍රමය මුල් කොට ගත් එවක සමාජය තුළ කාන්තාවකට සාපේක්‍ෂව පිරිමියකු ගෙන් වැඩි ශ්‍රම පලදාවක් ලැබිය හැකි වීම ය. එවක සමාජයේ කාන්තාවක සතු වූ දෙවන පෙළේ පිළිගැනීම සහ ස්ත්‍රියකට හිමි සමාජමය අනාරක්ෂිත බව ඒ සඳහා බලපෑ දෙවන හේතුව වන්නට ඇත.

නමුදු මූලික බුදු දහමේ දාර්ශනික හරයෙන් තොර අභිචාර මාලාවක් වන මෙම බාර හාර බෝධි කන්නලව් අද දක්වා එලෙසින්ම අඛණ්ඩව පවතියි.

එසේම මේවාට මුල් වන පුද්ගල ප්‍රාර්ථනා පරාසය පමණක් අන් කවරදාටත් වඩා පුළුල් වී තිබේ. ඒවා හුදෙක් තෘෂ්ණාව මත පදනම් වන ලෞකික ලාභාපේක්‍ෂාවන් බව ද අද වන විට ප්‍රසිද්ධ රහසකි. මෙය මූලික බෞද්ධ ඉගැන්වීම් වලට ඉඳුරාම පටහැනි වූවකි.

පසුගිය දිනයක අනුරාධපුර ශ්‍රී මහ බෝධි ප්‍රාකාරය අද්දර පිහිටි පහන් වැට සමීපයේ නැඟිට ගැනීමටවත් වාරු නොමැති තරමට ගිලන් වූ සුනඛ ධේනුවක් වැතිර සිටියා ය. ඊට අමතරව එහි ගැවසෙන වන්දනා කරුවන් ගෙන් ඉඳුලක් ලැබ තම හාමත දුරු කර ගැනීමට මාන බලමින් සිටි තවත් දුබල සුනඛයෝ කිහිප දෙනෙක් ද ඒ අවට වූහ.

එහෙත්, ඒ මොහොතේ එහි පැමිණ සිටි වන්දනා කරුවන් ගෙන් කිසිවෙකුත් ශ්‍රී මහ බෝධිය සඳහා පහන් දල්වමින් වන්දනා මාන කරන්නට වූයේ එම අසරණ සුනඛයන් පිළිබඳව තබා එම රෝගී සුනඛ ධේනුව පිළිබඳව වත් වගේ වගක් නොමැතිව ය.

ඒ වන විට ‘පණ අදින’ තත්වයට පත් ව සිටි ඇය ගැන සිතීම තම පහන් පූජාවට බාධාවකැයි ඔවුන් සිතන්නට ඇත. එසේම මෙසේ අසරණව බිම වැතිර සිටින බැල්ලකට පිහිටවීම ආගමානුකූල ක්‍රියාවක් නොවන බැවින් ඇයට එතනම මිය යන්නට ඉඩහැරීමේ ගැටළුවක් නැතැයි ද ඔවුන් සිතුවා විය හැක.

මානව හිමිකම් යන්න වර්තමානයේ බහු විධ භාවිතයන් සඳහා ගනු ලබන වදනකි. එහෙත්, බෞද්ධ පරමාදර්ශයන් වන මෛත්‍රිය සහ කරුණාව පිළිබඳව ඉගැන්වෙන කිසිදු තැනක මානවයා හෙවත් මිනිසා පමණක් විශේෂයෙන් හුවා දක්වා නැත. මජ්ජිම නිකායේ එන සාල්‍යෙයක සූත්‍ර දේශනාවට අනුව පැවසෙනුයේ ‘සබ්බේ පාණ භූතේසු හිතානුකම්පි විහර ති;’ සියලු සතුන් සහ ප්‍රාණින් ගේ හිත සුව පිණිස කටයුතු කරව් යන්න ය.

නමුදු වර්තමානයේ අප ජන සමාජය තුළ පවත්නා ජනප්‍රිය සිංහල බුද්ධාගමට අනුව තම ලෞකික ලාභාපේක්‍ෂාවන් සඳහා වන ශාන්ති කර්ම ස්වරූපයේ පූජා චාරිත්‍ර පැවැත්වීමට ලබා දී ඇති ප්‍රමුඛත්වය අසරණ සතකු ගේ ජීවිතය රැකදීම උදෙසා ලබා දිය යුතු නැතැයි ඇතැමෙකු සිතනවා ද වන්නට පුළුවන.

නමුත් සැබෑ බුදු දහමට අනුව සිදුවිය යුත්තේ මෙහි අනික් පැත්ත ය. තමන්ගේ ලෞකික අපේක්‍ෂාවන් මුදුන් පත් කර ගන්නවාට වඩා කරුණාව; මෛත්‍රිය සිත තූළ රෝපණය කර ගෙන ඒ අනුව කටයුතු කිරීම සැබෑ බුදු මඟට පිවිසීමකි. එමෙන්ම එය පුද්ගල, පවුල්, ප්‍රජා, සමාජ සංවර්ධනයට ද ඉඳුරාම හේතු පාදක වන්නකි.

වර්තමානයේ අප සමාජයේ ව්‍යාප්තව ඇති ජනප්‍රිය සිංහල බුද්ධාගම මෙලෙස සැබෑ බුදු දහමින් පිට පැන ‘නන්නත්තාර වෙමින්’ පවතින පසුබිමක අනුරාධපුර පූජා භූමිය අවට ජීවත් වන නිවාස අහිමි සුනඛාදීන්ට රැකවරණ සැලසීම සඳහා අනුරාධපුර ප්‍රදේශයේ තරුණ පිරිසක් සූදානමින් සිටිති.

ඒ අනුව ‘අනුරාධපුර පූජා නගර සත්ව ආරක්‍ෂක බලකාය’ නම් නව සංවිධානයක් පිහිටුවා ගෙන ඇති ඔවුන් එහි සමාරම්භක රැස්වීම මෙම අගෝස්තු 15 සෙනසුරාදා පෙරවරු 10.00 ට අනුරාධපුර රුවන්වැලි මහ සෑ ආරාමයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඒ රුවන්වැලි මහ සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් ගේ ප්‍රධානත්වයෙනි. මේ මිහිතලය මිනිසුන් ගේත් සතුන් ගේත් ‘පොදු උරුමයක් ය’ යන ස්වභාවික යුක්තිධර්මය පිළිගන්නා සහ ඒ අනුව කටයුතු කිරීමට කැමති සියල්ලන්ට මෙම අවස්ථාවට එක් විය හැකි යැයි එහි සංවිධායකයෝ කියති.

මේ අතර අදටත් ශ්‍රී ලාංකික ජාතිකත්වයේ කොඳු නාරටිය වන සිංහල බෞද්ධකම හුදෙක් ලේබලයක් හෝ තම පෞද්ගලික සහ ජාතිවාදී, වර්ග වාදී වැනි බහුවිධ අවශ්‍යතා සංතෘප්ත කර ගැනීම පිණිස වන ආයුධයක් ලෙස යොදා ගැනීමේ පැහැදිලි සම්භාවිතාවක් දක්නට ලැබේ. එය මෙරට සාමාන්‍ය ජන සමාජයෙන් සේම භික්ෂු සමාජයේ යම් යම් කොටස් තුළින් ද ඉස්මතු ව පෙනීම දැන් කිසිවකුටත් රහසක් නොවේ.

ඒ අනුව හුදෙක් මානව හිමිකම් නමැති සීමාව ඉක්මවා අනන්ත අපරිමාන ලෙස විදහාලිය හැකි මෙම සියළු සතුන් හට කරුණා මෛත්‍රිය දැක්වීම පිළිබඳ බෞද්ධ පරමාදර්ශය මෙලෙසින් හෝ සමාජ ගත වේ නම් දැනට අප දේශය තුළ ප්‍රවර්ධනය වී සහ ප්‍රවර්ධනය කෙරෙමින් පවතින ජාති, ආගම් ඇතුළු සියළු වර්ගවාදී භේද භින්නවීම් කෙදිනක හෝ සුණු විසුණු වී යනු ඇතැයි මට සිතෙයි.

තිලක් සේනාසිංහ 

ඡායාරූප : අමිත් උදයංග, ඉනෝකා සෝමවීර

t

o

p