අද සිට අදියර කිහිපයක් යටතේ පාසල්වල සියලු ශ්‍රේණි විවෘත කෙරේ

August 10, 2020

රජයේ හා අනුමත පෞද්ගලික පාසල්වල සියලුම ශ්‍රේණි හෙට සිට යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

11 / 12 හා 13 ශ්‍රේණි සඳහා මීට පෙර අධ්‍යයන කටයුතු ආරම්භ කෙරුණා. හෙට සිට සියලුම ශ්‍රේණි සඳහා අධ්‍යයන කටයුතු ආරම්භ වන්නේ ද අදියර කිහිපයක් යටතේයි.

ශිෂ්‍ය සංඛ්‍යාව 200 කට හෝ ඊට අඩු පාසල් මීටරයක පරතරය ඇතිව පංති පවත්වාගෙන යා හැකි නම් පමණක් සියලු ශ්‍රේණිවල සිසුන්ට සතියේ දින පහේම පංති පැවැත්විය හැකියි.

සිසුන් 200 කට වැඩි ප්‍රාථමික පාසල්වල පළමු වන ශ්‍රේණියේ සිට 5 වන ශ්‍රේණිය දක්වා පංති පැවැත්වෙන්නේ එක් එක් ශ්‍රේණිවලට අදාළ දිනයන්වලදීයි. කෙසේ වෙතත් 5 වන ශ්‍රේණියේ සිසුන් සඳහා සතියේ දින පහේම පංති පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.

පළමු වන ශ්‍රේණිය සඳහා සඳුදා දිනයේදීත් 2 වන ශ්‍රේණිය සඳහා අගහරුවාදා දිනයේදීත් පාසල් පැවැත්වෙනවා. 3 වන ශ්‍රේණියේ සිසුන් සඳහා වෙන්කර ඇත්තේ බදාදා දිනයයි. 4 වන ශ්‍රේණිය සඳහා බ්‍රහස්පතින්දා හා සිකුරාදා යන දින දෙකේදීම පංති පැවැත්වෙනවා.

ශිෂ්‍ය සංඛ්‍යාව 200 ට වැඩි ද්විතීයික පාසල්වල 10 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා සතියේ දින පහේම පාසල් පැවැත්වෙනවා. ඒ අනුව 6 ශ්‍රේණිය සඳහා වෙන්කර ඇත්තේ සඳුදා දිනයයි.

7 වන ශ්‍රේණිය සඳහා අගහරුවාදා ද 8 වන ශ්‍රේණිය සඳහා බදාදා ද වෙන්කර තිබෙනවා. 9 වන ශ්‍රේණියේ සිසුන් සඳහා බ්‍රහස්පතින්දා හා සිකුරාදා යන දිනවලයි පාසල් පැවැත්වෙන්නේ. 6 / 7 / 8 හා 9 වන ශ්‍රේණි සඳහා පාසල් කාලය පෙරවරු 7 සිට පස්වරු 1.30 දක්වාත් 10 / 11 /12 හා 13 ශ්‍රේණි සඳහා පාසල් කාලය පෙරවරු 7.30 සිට පස්වරු 3.30 දක්වාත් ක්‍රියාත්මකයි.

ලබන 10 වනදා සිට අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලු දෙනා රාජකාරියට වාර්තා කළ යුතු බව අමාත්‍යාංශය අවධාරණය කරනවා. ඉගැන්වීමේ කටයුතුවලට අමතරව සුපරික්‍ෂණ කාර්යය , පැවරුම් පරික්‍ෂා කිරීම , සෞඛ්‍ය හා විනයාරක්‍ෂණ කටයුතුවල වගකීම ද ඔවුන්ට පැවරෙනවා.

පස්වරු 3.30 දක්වා කාල සටහන් හි ගුරුවරුන් හැර අනෙකුත් සියලු ගුරුවරුන්ගේ රාජකාරි වෙලාව පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වායි.

මේ අතර සෞඛ්‍ය බලධාරීන් තහවුරු කරන තෙක් පාසල් ආපන ශාලා විවෘත නොකරන ලෙස දැනුම් දී තිබෙනවා.

t

o

p