“අද බේබි ලේට්ද?’’එක් පෙරවරු යාමයක කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගනේවත්ත දුම්රිය ස්ථානයේ බංකුවක් මත වාඩිවී සිටි මට අසල සිටි අයකු පවසනු ඇසිණි.‘‘නෑ දැන් බේබි ළඟම ඇති. වැල්ලව පහුකරලා දැන් විනාඩි දහයක් විතර වෙනවා’’ඒ සමගම මට ඇසුණේ එම පැනයට දුන් ක්ෂණික පිළිතුරයි.
එවිට හිස ඔසවා බැලූ මට ඒ දෙබස දුම්රියපොළට පැමිණි මගියකු සහ දුම්රිය ස්ථානාධිපති කාර්යාලයේ දොරකඩ සිටි සුදු හැඳ සිටි තරුණ දුම්රිය නිලධාරියකු අතර ඇති වන්නක් බව දැක ගත හැකි විය.‘‘බේබි කියන්නේ කෝච්චියක්ද?’’ඒ පිළිබඳව කිසිවක් සිතාගත නොහැකි මම බංකුවේ මා අද්දරින් වාඩි වී සිටි තලතුනා ගැමි කාන්තාවගෙන් ඇසුවෙමි.‘‘නෑ ඔය බස් එකටනේ සමහරු බේබි කියන්නේ’’ඇය ක්ෂණිකව පිළිතුරු දුන්නාය.
එවිටම මගේ සිහියට නැංවෙන ලද්දේ පශ්චාත් සුනඛ සම්භෝග ඉරියව්වක් සිහි ගන්වන එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිසාවට මුහුණ සිටින සේ අශෝක් ලේලන්ඩ් බස් රථ දෙකක් එකට ‘මූට්ටුකොට’ මෙරට දී නිපදවා ඇති රේල් බස් රථයකි. එය දිනපතා හිමිදිරියේ පොල්ගහවෙල සිට මහව දක්වාත් පස්වරුවේ යළි මහව සිට පොල්ගහවෙල දක්වාත් ධාවනය කෙරේ.
එහෙත් මගේ එම සිතුවිල්ල මුළුමනින්ම වැරදි බව පසක් කරමින් වැල්ලව දෙස සිට ගණේවත්ත දුම්රියපොළ වෙත පැමිණෙමින් තිබුණේ දුම්රිය කට්ටලයකි.‘‘ඕකටත් මෙහේ මිනිස්සු කියන්නේ බස් එක කියලා තමයි”.එම විමතිය දුරු කර ගැනීම පිණිස මා එසැණින් නැගූ පැනයට පිළිතුරු දුන් කාන්තාව කීවාය.
ඒ කෙසේ හෝ බේබි යනුවෙන් මෙන්ම බස් එක යනුවෙන් හැඳින්වෙන එම් 7 දුම්රිය එංගලන්තයේ බුෂ් ඉලෙක්ට්‍රිකල් සමාගම මගින් නිෂ්පාදනය කරන ලදුව 1981 මෙරටට ගෙන්වන ලද එම් 7 දුම්රිය ඇන්ජිමකින් සහ 1975 වසරේ සිට අවස්ථා කිහිපයකදීම මෙරටට ගෙන්වන ලද රුමේනියානු දුම්රිය මැදිරි තුනකින් සමන්විත දුම්රිය කට්ටලයකි.
නමින් ‘‘බේබි’’ වුවද එම දුම්රිය කට්ටලය දැනට එම මාර්ගය ඔස්සේ දිනපතා ඉහළ – පහළ දිවෙන බොහෝ දුම්රිය කට්ටලවලට වඩා තරමක වයස්ගත පෙනුමකින් යුතු බව පෙනිණි.එහෙත් එම බේබි දුම්රිය හෙවත් ‘බස් එක’ වේදිකාවට පැමිණෙත්ම දුම්රිය ස්ථාන කාර්ය මණ්ඩලයේත් මගීන්ගේත් මුහුණුවල කිසියම් පිබිදීමක් සනිටුහන් විය.
දුම්රියේ රියැදුරු රිය සහායක සහ නියාමක තැන එහි සිටි බොහෝ දෙනකුන් හා සුහද ලෙස වදනක් දෙකක් කතා කරනුද දැක ගත හැකි වූ අතර ඔවුහු එම දුම්රියෙන් පිටව ගියේ එහි සිටින්නවුන්ට අත ඔසවා සමුදෙමිනි. ඒ අනුව වත්මන් කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් උතුරු දිග දුම්රිය මාර්ගය අද්දර පදිංචි හත්කෝරලයේ සහ වන්නිහත්පත්තුවේ වැසියන් විසින් ‘බේබි’ සහ බස් එක යනුවෙන් හඳුන්වන මෙම ‘ගමේ කෝච්චිය’ රහසින් ලුහුබැඳ යා යුතු යැයි මටද සිතිණ.
ඉංගිරිසියෙන් සකස් කෙරුණු ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල දුම්රිය කාල සටහනේ ද නියමිත ගමන් වාරයට අදාළ අංකය සමග මෙම දුම්රිය හඳුන්වා ඇත්තේ Baby train යනුවෙනි. සුද්දන් අප රට පාලනය කළ සමයේ මෙරට ප්‍රාදේශීය වශයෙන් ධාවනය කෙරුණු දුම්රිය සඳහා යොදන ලද ‘බේබි ට්රේන්’ නාමයට අදටත් එය එනමින්ම හඳුන්වන බව පෙනේ.
එමෙන්ම සාමාන්‍යයෙන් බස් රථයක් දුම්රියක් ලෙස හැඳින්වීම සේම දුම්රියක් බසයක් ලෙස හැඳින්වීමද තරමක් අස්වාභාවිකය. එසේ වුවද මෙම දුම්රිය ගැමි වහරේ දී බසයක් වීමට තුඩු දුන් ප්‍රබලතම කරුණක් තිබේ.ඉංග්‍රීසීන් මෙරට පාලනය කළ සමයේ උතුරු දිසා දුම්රිය මාර්ගයේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සහ කැලණිවැලි දුම්රිය මාර්ගයේ ප්‍රාදේශීය මගී ප්‍රවාහන කටයුතු සඳහා එංගලන්තයෙන් ගෙන්වන ලද රේල් බස් යොදවා තිබේ.
ඉංග්‍රීසීයෙන් Rail Car යනුවෙන් හැඳින්වුවද මගීන් හතළිහකට පමණ ආසන පහසුකම් සහිත එංගලන්තයේ ඩීසල් ඉලෙක්ට්‍රිකල් සමාගම මගින් නිපදවන ලදුව 1936 දී මෙරටට ගෙන්වන ලද සුඛෝපභෝගී ගමන් සඳහා භාවිතයට සුදුසු ලෙස සැකසූ මේවා පෙනුමින් බසයක් හා සමානය.දුම්රිය වේදිකාවක් නොමැතිව මහ පොළොවේ සිට ඊට නැගිය හැකි අන්දමේ සුවපහසු පියගැට පෙළකින් යුතු මෙම බස් රථ ශ්‍රී ලංකා දුම්රිය සේවය මගීන් ටී 1, ටී 2 යනුවෙන් වර්ගීකරණය කොට තිබූ අතර එතරම් සුවපහසු රථ අප රටේ හත්කෝරලයේ, වන්නිහත්පත්තුවේ ගැමියන්ට ලබාදීම සම්බන්ධයෙන් එවක පාලනය කළ බ්‍රිතාන්‍ය පාලකයන්ට අප තුති පිදිය යුතුය.
කෙසේ හෝ පසු කලෙක ධාවනයෙන් ඉවත් කොට ඇති එම රේල් බස් රථ අලුත්වැඩියා කොට විනෝද ගමන් සඳහා කුලියට දීමට ශ්‍රී ලංකා දුම්රිය සේවය අද වන විට කටයුතු කොට තිබීම බොහෝ දෙනකු නොදත් රහසකි. ඒ අනුව එම ගැමියන් තම ආදරයට ලක්වූ බස් එකට හිමි තැන සහ නම අබලන් දුම්රිය කට්ටලයකට දීම එවක ඔවුන් එම හිමි කර ගෙන සිටි වරප්‍රසාදය පාරම්පරිකව කෘතවේදීව සිහිපත් කරන්නකැයි මට සිතුණි.”මේ පළාත්වල ඉන්න අපිට මෙතැනින් වේගයෙන් එහා මෙහා යන කෝච්චිවලින් ලැබෙන්නේ දූවිල්ල විතරයි.
සමහර කෝච්චි සම්පූර්ණයෙන් ඒසී කරලා. ඒවායේ යන මිනිස්සුන්ට මේ වන්නිහත්පත්තුවේ හුළංපොදක්වත් වදින්නේ නැහැ. ඒ අස්සේ ඔය ‘බේබි’ තමයි මේ පැත්තේ මිනිස්සුන්ගේ එදිනෙදා ගමනට බිමනට උදව් වෙන ප්‍රධානතම කෝච්චිය. ඒ හින්දා අපි හැමෝමම බේබිට ආදරෙයි’. බේබි දුම්රිය පිළිබඳව එසේ කියා සිටියේ මහවට නොදුරු තිඹිරියාගෙදර උප දුම්රියපොළේදී අපට හමු වූ ආබාධිත යුද සෙබළෙකි.‘බේබි’ අප රටේ ධාවනය කෙරෙන සාමාන්‍ය දුම්රියක් නොවේ.
පෙරවරු 5.10ට මහව හන්දියෙන් ගමන් අරඹා කිලෝමීටර් 44ක දුරක් සහ පැය එකහමාරක කාලයක් පසුකොට කුරුණෑගලට පැමිණෙන බේබි දිනපතා රෑ බෝවන තුරු ගමන්වාර තුනක් මගින් සිය අනගි මෙහෙවර ඉටු කරනු පෙනෙයි.කුරුණෑගල සහ මහව අතර ඇති දුම්රිය ස්ථාන තුන නම් වැල්ලව, ගනේවත්ත සහ නාගොල්ලාගමය. ඊට අමතරව හිරියාල සහ තිඹිරියාගෙදර නමින් උප දුම්රිය ස්ථාන දෙකක් ද තිබේ.
එහෙත් එම මාර්ගයේ ධාවනය වන නගරාන්තර දුම්රිය සේම සෙසු ශීඝ්‍රගාමි දුම්රිය එම ප්‍රදේශවල ගැමියන්ට දුහුවිලිවළාවන් පමණක් ශේෂ කරමින් ‘ඉගිල්ලෙන’ අතරේ මෙම බේබි නතර කරනුයේ එම දුම්රිය ස්ථානවල පමණක් නොවේ. දුම්රිය ස්ථාන හෝ උප දුම්රිය ස්ථාන නොවන පරණ බෝඩ් ලෑලිවලට පමණක් සීමා වූ පස්කණ්ඩි ලෙස පෙනෙන දුම්රිය නැවතුම්පළවලද (Train halt) මඳකට නතර කරමින් එහි ගැමියන්ට ගමන් පහසුව සැලසීමට තරම් ‘‘බේබි’‘ කරුණාවන්තය. කුරුණෑගල මහව හන්දිය දක්වා වූ කිලෝමීටර් හතළිස් හතරේ එම දුර ප්‍රමාණය තුළ එවන් දුම්රිය නැවතුම්පොළවල් දහ නවයක් තිබේ.
සාමාන්‍යයෙන් ශීඝ්‍රයෙන් දුම්රියක් විනාඩි පනහකින් පසු කරන කුරුණෑගල මහව අතර දුර ප්‍රමාණය පසු කිරීමට මෙම ‘බේබි’ට පැය එකහමාරක් ගතවනුයේ මෙලෙස හෝල්ට් එකෙන් හෝල්ට් එකට නතර කිරීමට සිදුවන නිසාය. එමෙන්ම එලෙස අතරමගින් බේබි දුම්රියට නගින මගීන් සඳහා ටිකට්පත් නිකුත්කිරීම සඳහා උපනියාමකවරයකු ඒ පෙට්ටි තුනේ නියාමක මැදිරිය තුළ සැදී පැහැදී සිටියි.‘‘කුරුණෑගල ඉඳල වැල්ලවට යනකම් කිලෝමීටර් පහළොවේ කෝච්චි පාරට තරමක් කිට්ටුවෙන් කුරුණෑගල හිරිපිටිය ප්‍රධාන පාර තියෙන හින්දා මිනිස්සුන්ට එච්චරම කරදරයක් නැහැ.
එතැන ඉඳල තමයි ගමනාගමන අපහසුව පටන්ගන්නේ. ඊළඟට හම්බවෙන ප්‍රධාන දුම්රිය ස්ථානය ගනේවත්තට තව කිලෝමීටර් දාහතරක් තියෙනවා. ගනේවත්තේ ඉඳල කුඹුක්ගැටේ හරහා වාරියපොළට පාර තිබුණට පොදු ප්‍රවාහන සේවා තරමක් අඩුයි. ඒ වගේම ගනේවත්තේ ඉඳල මහවට තියෙන කිලෝමීටර් දහතුන තමයි දුෂ්කරම හරිය. ඒ මිනිස්සුන්ට කඩේකට පිලකට ගියත්, කන්තෝරුවකට, බැංකුවකට ගියත්, බේත්, හේත් ටිකක් ගන්න ඉස්පිරිතාලෙකට ගියත් ‘බේබි’ ගේ උදව්ව නැතුවම බැරිය.එම ප්‍රදේශවල ගැමියෝ බේබිගේ ගුණරුව වනමින් එසේ කියති.
එමෙන්ම ගනේවත්තේ සිට මහව හන්දිය දක්වා දැඩි ප්‍රවාහන අපහසුව සහිත ප්‍රදේශවලින් අසන්නට ලැබෙන ‘බේබි’ ගේ උතුම් ගුණය පිළිබඳව කතා බොහෝමයකි. ඒ අතුරින් හිරියාල ප්‍රදේශයේ පාසලක ගුරුවරියක හෙළි කළ මෙම අප්‍රකට කතා පුවත ඒ සඳහා එක් නිදසුනක් ලෙස ඔබ වෙත දක්වමු.‘‘අපේ ඉස්කෝලේ ළමයකුගේ අම්මා කෙනකුට දරුවෙක් ලැබෙන්න ඉඳලා. දින සම්පූර්ණ වෙන්නත් කලින් කුඹුරේ ඉන්න අතරේ අමාරු වෙලා.
මේ අම්මව පුළුවන් තරම් ඉක්මනට ඉස්පිරිතාලෙකට ගෙනියන්න වුවමනා බව තේරුණත් මේ පැත්තේ මාර්ග ප්‍රවාහන පහසුකම් නැහැ. පාරවල්වල තියෙන වළවල්වල හැටියට ත්‍රීවීලර් එකක්වත් යන්න බැහැ. ඔය අතරේ කුඹුරට ඇහිලා තියෙනවා කෝච්චියක සද්දේ. ඒ දරුවගේ තාත්තයි එතැන හිටපු අයයි.ඒ අම්මාවත් අරගෙන රේල් පාර ළඟට එනකොට වාසනාවකට වගේ ඔය බේබි ට්රේන් එක දැක්කා විතරයි ඒ අම්මව අරගෙන ගිය අය ඩ්‍රයිවර් මහත්තයාට ඈත ඉඳලා අතින් සංඥා කරලා කෝච්චිය නතර කරගෙන අර අම්මව නංගාගෙන ඊට පස්සේ කොහොම හරි ළමයාගේ තාත්තා කෝච්චියේ ගාඩ් මහත්තයාට කාරණේ කිව්වට පස්සේ එයා ඩ්‍රයිවර් මහත්තයට මොබයිල් ෆෝන් එකෙන් ඒ කතාව කියලා කිව්වලු පුළුවන් තරම් ඉක්මනට යමු කියලා.
කොහොම හරි එදා ඒ ඩ්‍රයිවර් මහත්තයත් පුදුම වේගයකින් කෝච්චිය අරගෙන ආවලු. ඒ අම්මාගේ වාසනාවට අතරමග ප්‍රමාද වෙලත් නැහැ. මං හිතන්නේ දැන් ඒ බබා ඉස්කෝලේ දෙකේ හරි තුනේ හරි. ලස්සන දුවෙක්.’’‘‘එහෙම නම් ඒකට බේබි කෝච්චිය කියන්න ප්‍රබල මානුෂීය හේතුවකුත් තියෙනවා. අනික ඔය වගේ වෙලාවක එතැනින් යන ඉන්ටසිටි කෝච්චියකට හරි වෙන එක්ස්ප්‍රස් එකකට අත ඇල්ලුවා නම් ඔහොම නතරවෙයිද?’’ඒ මට ඇතිවූ ගැටලුවයි. ඒ කෙසේ හෝ පසුව මා මෙම කතා පුවත එම ප්‍රදේශය භාර දුම්රිය නිලධාරියකුට කී විට ඔහු සිනාසුණි.‘‘ඔහොම දේවල් මේ පැත්තේ හරියට සිද්ධ වෙනවා.
අපි නයි-පොළොංගු කාපු අයවත් ඔහොම අරන් ගිහින් තියෙනවා. ඒත් ඕවා නම් ගම් එක්ක පත්තරවලට එහෙම ලියන්න එපා. දෙපාර්තමේන්තු මට්ටමින් ඒ අය කරල තියෙන්නේ වරදක් හින්දා විනය පරීක්ෂණයක් තියල වැඩ තහනමකට ලක් කරන්න පුළුවන්’’ එම නිලධාරියා කී ඒ කතාව ද අසත්‍යයක් නොවේ.‘‘හැබැයි ඉතින් ඔය වගේ කාරණයක් උඩ ඩ්‍රයිවර් මහත්තයකුගේ හරි ගාඩ් මහත්තයකුගේ හරි වැඩ තහනම් කරනවා නම් ඒ නිලධාරිතුමාට ඊට කලින් හිතන්න පුංචි දේකුත් තියෙනවා. ඒ තමන් මෙලොවට ආපු විදිහ සිහිකර ගැනීම” යැයි මම කීවෙමි.
තිලක් සේනාසිංහ
ඡායාරූප – සහන් සංකල්ප සිල්වා