ලංකාව සතු ඩොලර් මිලියන 4500 ක් වටිනා සුරකුම්පත් ඇමරිකාවට උකසට

July 23, 2020

ලංකාව සතු ඩොලර් මිලියන 4500 ක් වටිනා සුරකුම්පත් ඇමරිකාවට උකසට තබා එරටින් ඩොලර් මිලියන දහසක් ලබාගැනිමටත් ඉදිරි මැතිවරණයෙන් පසු ඵක්‍ක්‍  ගිවිසුම අත්සන් කිරිමටත් ආණ්ඩුව පියවර ගෙන තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ නායක සහ හිටපු අග්‍රාමාතය රනිල් වික්‍රමසිංහ මහතා රත්නපුරයේ පැවති ජන හමුවකදි ප්‍රකාශ කලේය.

මෙ සම්බන්ධව තමන් කරන ප්‍රකාශය වැරදි නම් ඒ පිළිබඳව ආණ්ඩුවේ ස්ථාවරය කුමක්දැයි වහා රටට හෙළිකළ යුතු යැයි වික්‍රමසිංහ මහතා සදහන් කලේය.

මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරිම වෙනුවෙන් රත්නපුර  උදාර හෝටලයේ පැවති මෙම හමුවේදි තවදරටත් අදහස් දැක්වු වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

ටයිටැනික් ආර්ථිතික අර්බුදයට  විසදුමක් නැති නිසා පොහොට්ටු ආණ්ඩුව අපේ රටේ සම්පත් පිට රට වලට උකස් තියන්න සැලසුම් හදමින් සිටිනවා.  එපමණක් නොව ඵක්‍ක්‍  ගිවිසුමත් අත්සන් කරන්න පියවර ගෙන තිබෙනවා.

මේ පාලකයින්ට ආර්ථිකය හසුරුවන්න හැකියාවක් නැහැ.  මේ අයට කොරෝනා වෛරසය පැතිරිම පාලනය කිරීමට හැකි වෙලත් නැහැ.  තවත් පැත්තකින් මේ රටේ ආර්ථිකය කඩා වැටිමකට ලක්වි තිබෙනවා.  කොරෝනා වෛරසයත් සමග ඇතිවූ අර්බුදයෙන් හැම රටක්ම තමන්ගේ ආර්ථිකය ආරක්ෂා කර ගන්න ක්‍රියා කළා.  නමුත් අවාසනාවකට මෙන් අපි අපේ රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න ක්‍රියා නොකළ නිසා අද එය ගෙදර ආර්ථිකයට දැඩිව බලපා තිබෙනවා.

අද වනවිට මේ රටට ඩොලර් මිලියන 7000 ක විදේශ විනිමය අහිමිවී තිබෙනවා.  ඇඟලුම් කර්මාන්තයෙන්, සංචාරක ව්‍යාපාරයෙන් මැද පෙරදිග ආදායම් වලින් හා වෙනත් මාර්ග වලින් ලැබෙන මුදල් වලින් මෙලෙස ඩොලර් මිලියන 7000 ක් අඩුවි තිබෙනවා.

මේ තත්ත්වය මත ආණ්ඩුවට තවදුරටත් ඉදිරියට යෑමට නොහැකි තත්ත්වයක් ඇති වි තිබෙනවා.  ආණ්ඩුව පවත්වාගෙන යෑමේ මාර්ගයක් නැහැ. ආනයන සියල්ල තහනම් කරනවා.  මේ නිසා අපේ රටේ කර්මාන්ත බහුතරයකට ඉන් පහර වැදි තිබෙනවා.  කර්මාන්ත බොහෝමයකට මේ නිසා අමුද්‍රව්‍ය සපයා ගැනිමට නොහැකි වී තිබෙනවා.  මෙරට තේ නිෂ්පාදනය කර අපනයනය කළත් එම තේ පැකට් කිරිමට අවශ්‍ය අමුද්‍රව්‍ය විදේශ රට වලින් මෙරටට ආනයනය නතර කිරිම නිසා එම අමුද්‍රව්‍ය ලබා ගැනිමට නොහැකි වි තිබෙනවා.  තේ නිෂ්පාදකයින් මෙන්ම අපනයන කරුවන් මේ තත්ත්වය මත දැඩි අපහසුතාවයන්ට මුහුණ පා සිටින බව කිව යුතුයි.

මේ ආණ්ඩුවට තවදුරටත් ඉදිරියට යන්න බැහැ.  රටේ ප්‍රශ්න විසදිමට ආණ්ඩුවට සැලැස්මක් වැඩ පිළිවෙලක් නැහැ.  රටේ ආර්ථිකයත් ගෙදර ආර්ථිකයත් ශක්තිමත් කර ජනතාවට යහපත් ජිවන තත්ත්වයක් උදාකර දිය හැකි එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය පමණයි.  රට හදන අපේ සැලසුම් මේ වනවිට ඔබ හමුවට ගෙනවිත් තිබෙනවා.  අපේ ප්‍රතිපත්ති කෙරෙහි අවධානය යොමු කරන ලෙස මා ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින අතර, එම ප්‍රතිපත්ති තුලින් මේ රට ගොඩගන්න අපට වරක් ලබාදෙන ලෙස මා ඉල්ලා සිටිනවා.

අද මේ රටට කිසිදු විදේශ රටකින් ආධාර ලැබෙන්නේ නැහැ.  රටවල් වලට ආධාර කිරිම සදහා ලොව පොහොසත් රටවල් සියල්ල ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට භාර දුන්නා.  අපි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත ගොස් අපට ආධාර ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.  නමුත් ලැබුණේ නැහැ. එහෙත් පකිස්ථානයට, බංගලාදේශයට, නේපාලයට, මාලදිවයිනට, මියන්මාරයට මුදල් ලබාදුන්නා.  නමුත් ලංකාවට දුන්නේ නැහැ.  මෙරටට අවම වශයෙන් ඩොලර් මිලියන 850 ක් ලැබිය යුතුව තිබුණා.  ඒ මුදලත් ලැබිලා නැහැ.

මේ ආණ්ඩුවට ඒ විශ්වාසය දිනාගත නොහැකි නම් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ ඒ ප්‍රශ්න විසදා ගෙන එම සියලු මුදල් ලබාගන්න අපි ලෑස්තියි. අපේ ප්‍රතිපත්ති ලෝකයම පිළිගන්නවා.  ඒ නිසා ලෝකය සමග සම්බන්ධතා පැවැත්වීමේ ගැටළුවක් අපට නැති බව කිව යුතුයි.

මේ රට දියුණු කිරිම සදහා මිත්‍ර ජාත්‍යාන්තර රට වලින් ආධාර උපකාර අපට ලබාගත හැකියි.  එමෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන්ද මුදල් ලබාගැනිමේ හැකියාව අපිට තිබෙනවා.  අපේ සැලසුම වි තිබෙන්නේ මේ රට මුහුණපා ඇති අර්බුදයෙන් ගොඩගැනිම සදහා ඩොලර් මිලියන 6000 ක් සොයා ගැනිමයි.  එය අපට පහසුවෙන් කළ හැකියි.  එලෙස ලබාගෙන ජනතාවගේ ආදායම් මාර්ග ඉහළ දැමිමට සේම රැකියා අහිමිවන අය වෙනුවෙන් මසකට රුපියල් 10000 ක දිමනාවක් ලබාදිමට අප සැලසුම් කර එය අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයටද ඇතුලත් කර තිබෙනවා.

මෙම මුදල් යොදවා රටේ ව්‍යාපාර නඟා සිටුවිමට අප සැලසුම් කර තිබෙනවා.  ඒ අතර ප්‍රධාන තැනක් මැණික් ව්‍යාපාරයට හිමි වනබව කිව යුතුයි.  වසරක් වැනි කාලයක් ගතවන තෙක් හැම ව්‍යාපාරිකයෙකුටම  තම ව්‍යාපාර පවත්වා ගෙන යාමේ ගැටළු මතුවෙනවා.  ඒ අයට අපි උදව් උපකාර කර විදේශ විනිමය මාර්ග වැඩිකර ගැනිම අපේ අරමුණක් වී  තිබෙන බව කිවයුතුයි.

ටයිටැනික් ආර්ථිකය සමග ඉදිරියට යැමට මේ ආණ්ඩුවට හැකියාවක් නැහැ. ඒ නිසා ඇමරිකානු මහා බැංකුව සමග ගිවිසුමකට යාමට මේ ආණ්ඩුව පිඹුරුපත් සකසමින් සිටිනවා.  ඩොලර් මිලියන 4500 ක් වටිනා අපේ සුරකුම් පත් ඇමරිකාවේ තිබෙනවා. එම සුරකුම් පත් ඇමරිකානු මහ බැංකුවට භාරදි ඩොලර් මිලියන 1000 ක් ලබා ගැනිමට මේ ආණ්ඩුව පියවර ගෙන තිබෙනවා.  මෙය මම කියන කතාවක් නොවෙයි.  මේ ගැන පුවත් පත් වල පළවුනා.  නමුත් අද වනතෙක් එය නිවැරදි කළේ නැහැ.

අද තිබෙන ටයිටැනික් අර්බුදයට මුහුණදිම සදහා ඇමරිකානු මහා බැංකුවේ නිව්යෝර්ක් ශාඛාවෙන් ඩොලර් මිලියන 4500 ඉල්ලා තිබෙන බව භාණ්ඩාගාර ලේකම්තුමා ප්‍රකාශ කර තිබෙනවා.  ඒ සදහා ලංකාවට අයත් ඇමරිකාවේ තිබෙන වත්කම් උකස් කරන්න යනවා.  අපි රත්තරන් බඩු උකස් කරනවා.  කරාඹු උකස් කරනවා.  අද මේ ආණ්ඩුව ඇමරිකාවේ තිබෙන අපේ රටේ සුරකුම්පත් එරට මහ බැංකුවට උකස් කරනවා. මේ අනුව ඩොලර් මිලියන 4500 ක් වටිනා අපේ සුරකුම් පත්  සියල්ල උකසට තබන්න මේ ආණ්ඩුව සැලසුම් කර  තිබෙනවා. එලෙස ඒ සම්පත් උකස්කර ඩොලර් මිලියන දහස ලබාගැනිම ආණ්ඩුවේ අරමුණයි.  නමුත් මේ මුදල් ආපසු ගෙවා සුරකුම් බේරාගන්න අපට මුදල් නැහැ.  එලෙස ගෙවිමට නොහැකි නම් උකසට තබන මෙම සුරකුම් අපට අහිමි විය හැකියි.  අපි මේ මුදල් ගෙව්වත් ඒවා නැවත අපට ගන්න ලැබෙන්නේ මිළ නියම කරන ලද වැඩි මිළකට බව කිව යුතුයි.  මෙය පොහොට්ටු සන්ධානයේ භාෂාවෙන්ම කියනවා නම් අපි රටේ සම්පත්  උකස් තියනවා යන්නයි.

එපමණක් නොවෙයි මේ ආණ්ඩුව පසුගිය මහ මැතිවරණයේදි ඵකක් ගිවිසුම අත්සන් නොකරන බව ප්‍රකාශ කළත් එය අත්සන් කරන්න මේ වනවිට එකඟ වි තිබෙනවා. ආණ්ඩුවට හිතුමතේට මෙවැනි ගිවිසුම් වලට අත්සන් කළ නොහැකියි.  එම අත්සන් කිරිමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතුයි.  නමුත් මේ ආණ්ඩුව පාර්ලිමේන්තුවට හොරෙන් ඵක්‍ක්‍ ගිවිසුම අත්සන් කිරිමට අද උත්සාහ ගනිමින් සිටිනවා.

ජාත්‍යාන්තර මුල්‍ය අරමුදලෙන්  මුදල් මෙරටට ගෙනවිත් රට දියුණු කරන බව මා ප්‍රකාශ කළා.  මේ ආණ්ඩුවත් දැන් ඒ අරමුදලට ගොස් මහ මැතිවරණයෙන් පසු කියන ඕනැම කොන්දේසියකට යටත්ව ණය ලබා ගැනිමට උත්සාහ ගනිමින් සිටිනවා.

මගේ මේ ප්‍රකාශය වැරදි නම් ආණ්ඩුව වහාම සිය ස්ථාවරය රටට ප්‍රකාශ කල යුතුයි.  එලෙස ප්‍රකාශ නොකර තවදරටත් නිහඩව සිටිනවා නම් එයින් සනාථ වන්නේ එය නිවැරදි කිරිමට නොහැකි බවයි.

ඡන්දයෙන් පසු ඵක්‍ක්‍ ගිවිසුමේ සංශෝධන එක දෙකක් සිදුකර ඕනෑම කොන්දේසියකට යටත්ව ජාත්‍යාන්තර මුල්‍ය අරමුදලින් ණය ලබාගැනිම සම්බන්ධව මේ වනවිට ආණ්ඩුව සාකච්ඡා කර තිබෙනවාද?  භාණ්ඩාගාර ලේකම්තුමා ප්‍රකාශ කරන පරිදි අමරිකානු මහ බැංකුවට අපේ ඩොලර් මිලියන 4500 ක් වටිනා සුරකුම්පත් උකසට තබා ඩොලර් මිලියන 1000 ක් ලබාගන්නා ආණ්ඩුව ඇමරිකානු ආණ්ඩුව සමග සාකච්ඡා කර නැද්ද? කියා වහා රටට ප්‍රකාශ කළ යුතුයි.

මේ ආණ්ඩුව ජනතාවට සියල්ල වසන් කරමින් මුදල් ලබාගැනිමට උත්සාහ කළත් එලෙස ගන්නා මුදල් අප නැවත ගෙවිය යුතුයි.  එසේනම් ඒ කටයුතු විනිවිධ භාවයකින් යුක්තව සිදුකළ යුතුයි. 

අද මේ රට මුහුණපා තිබෙන අර්බුද වලින් ගොඩ ගැනීමට නම් අපට විශාල වැඩ කොටසක් සිදුකළ යුතුව තිබෙනවා.  ඇඟලුම්  කර්මාන්තය නැවත නඟා සිටුවිය යුතුයි.  අද වසා දමා තිබෙන ඇඟලුම් කර්මාන්ත ශාලා යළි විවෘත කරන්නේ නැහැ.  සංචාරක ව්‍යාපාරය නඟා සිටුවිය යුතුයි. ගුවන් සේවා යළි ආරම්භ කළ යුතුයි.  මෙවැනි අභියෝග සමග තවත් වසරක් ගතවන තෙක් අපේ රටේ ආර්ථික තත්ත්වය පවත්වා ගෙන යන්නේ කෙසේද කියා අප බැලිය යුතුයි.

අපේ අනෙකුත් කර්මාන්ත දියුණු කරන්නේ කෙසේද කියා අප බැලිය යුතුයි.  රැකියා ලාභින්ගේ අනාගතය සුරක්ෂිත කරන්නේ කෙසේද කියා අප සැලසුම් කළ යුතුයි.

ආහාර වලින් රට ස්වයංපෝෂිත කරන බව අණ්ඩුව ප්‍රකාශ කරනවා.  නමුත් අද අප සහලින් ස්වයංපෝෂිතයි.  තවත් සහල් නිෂ්පාදනය වැඩි කලොත් කුමක්ද සිදුවන්නේ.  එයින් මෝල් හිමියන්ට වාසියක් අත්වනවා.  නමුත් ගොවියට පහර වැදෙනවා.  එපමණක් නොව අපි අනෙකුත් ආහාර ද්‍රව්‍ය වලින් අද අප ස්වයංපෝෂිත තත්ත්වයක සිටිනවා.  මෙවැනි පසුබිමක අප කළ යුත්තේ අපේ සැපයුම් ජාලය ශක්තිමත් කර ගොවියාට ඉහළ මිලක් ලබාදිමයි. මේ සදහා අපට නිසි වැඩ පිළිවෙලක් තිබෙනවා.  අපේ ඒ වැඩ පිළිවෙල ප්‍රතපත්ති ප්‍රකාශයට ඇතුලත් කර තිබෙනවා. එය ඔබට මබචගකන වෙබ් අඩවිය මගින් ලබාගත හැකියි.

1977 බලයට පැමිණි ජේ.ආර්. ජනාධිපතිතුමා විදේශ මුදල් ලබාගත්තේ රටේ සම්පත් උකස් කරලා නොවෙයි.  මහවැලි ව්‍යාපාරය කඩිනම් ව්‍යාපාරයක් ලෙස නිම කළේ රට උකස් කරලා නොවෙයි.  2001 ආර්ථිකය කඩාවැටි වරාය, ගුවන් කොටුපල වසාදමා තිබු අවස්ථාවේ  රට යළි ගොඩනගන්න මා මුදල් ගත්තේ  රට උකස් තියලද?  2015 ණය බරින් මේ රට මුදවා ගන්න අපි ආධාර උපකාර ගත්තේ  රට උකස් තියලද ? කිසිවිටෙකත් අපි රට උකස් කලේ නැහැ.  යූ.එන්.පි. ආණ්ඩුව කෙරෙහි ලෝකයම විශ්වාසයක් තැබුවා.  වසර 40 කට පසු මෙරට ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති කරන්න අපට හැකි වුනා.  ඒ නිසා ණය ආධාර ලබාගැනිම පහසුවෙන් සිදුකරන්න අපට හැකියාව ලැබුනා. 

2019 වසරේ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසු රට සම්පූර්ණයෙන්ම විනාශ වූ බව ඇතැම් අය ප්‍රකාශ කලා.  නමුත් ඒ වසරේ අගෝස්තු සැපතැම්බර් වන විට ආර්ථිකය යළි ගොඩ නැගුවා.  ඒ විශ්වාසය අප තුල තිබෙනවා.  ඒ විශ්වාසය නිසාම ලෝකයේ රටවල් අපට උදව් කරනවා.

මේ විශ්වාසය තවදරටත් ශක්තිමත් කරමින් අපේ ආණ්ඩුවක් යටතේ ඩොලර් මිලියන 6000 ක් ලබාගෙන රටේ මුලික ප්‍රශන වලට විසඳුම් ලබාදිමට අප සැලසම් කර තිබෙනවා.  එලෙස ඩොලර් මිලියන 6000 ක මුදල ලැබුණාට පසු අපේ රුපියල ශක්තිමක් වෙනවා.  අපේ ඒ ශක්තිය තුල ලංකාවේ  දිගු කාලින සුරකුම්පත් දි මුදල් ලබාගත හැකියි.

මේ සියලු වැඩ කටයුතු සිදුකිරිම සදහා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් තිබිය යුතුයි.  අපි පිහිටුවන ඒ ආණ්ඩුවට බහුතර  බලයක් ලබාදෙන ලෙෂ මා ඔබෙන් ඉල්ලා සිටිනවා.  එහෙම බහුතරය ලැබෙනවා නම් පක්ෂ දෙක තුනක් එකතුකර ගන්න හෝ වෙනත් අය සමග එකතුවි ආණ්ඩු පිහිටුවිමේ අවශ්‍යතාවයක් මතුවන්නේ නැහැ.

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිතුමා පත්වන ආණ්ඩුව හා එහි කැබිනට් මණ්ඩලය සමග වැඩ කළ යුතුයි.  එය 19 වැනි සංශෝධනයේ ඉතා පැහැදිලිව සදහන් කර තිබෙනවා.  ඒ අනුව අපි අණ්ඩුවක් පිහිටුවා රට මුහුණපා සිටින සියලු අර්බුද වලින් ගොඩ ගැනිමට කැපවෙනවා.

බඩගින්නට පක්ෂයක් නැහැ.  නමුත් බඩගින්න ඇති කරන අයට පක්ෂයක් තියෙනවා.  බඩගින්න ඇති කළ මේ ආණ්ඩුවෙන් පළක් නැහැ.  දැන් ඔබට තිබෙන්නේ බඩගින්න නැති කරන එ.ජා.ප. ආණ්ඩුවක් බලයට පත්කර ගැනිමයි.  ඔබේ ගෙදර ආර්ථිකය ශක්තිමත් කර අතේ මුදල් වැඩි කරන්න අලියා ලඟින් කතිරය ගසා එක්සත් ජාතික පක්ෂ පාලනයක් ඇති කරන ලෙස තමන් සියලු ජන කොටස් වලින් ඉල්ලා සිටින බව වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

මෙම ජනහමුව අමතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සමන් රත්නප්‍රිය, රත්නපුර දිස්ත්‍රික් එ.ජා.ප. අපේක්ෂකයින් වන හසිත මුහන්දිරම්, ලක්ෂ්මන් මුණසිංහ, සිරිපාල කිරිඇල්ල යන මහත්වරුන් ඇතුලු පිරිසක් අදහස් දැක්වුහ.

t

o

p