සමාජය එපා වී සුනඛයන් එකසිය දෙකක් සමඟ වන මැද වෙසෙන මාධ්‍යවේදියා

July 1, 2020

ජනමාධ්‍යවේදීන්ට නිරතුරුවම සමාජයේ විවිධ තරාතිරම් වල පුද්ගලයන් ඇසුරු කිරීමට සිදුවෙයි. ඒ අනුව අප රටේ සෑම ජනමාධ්‍යවේදියකු තුළම සමාජයේ විවිධ පුද්ගලයන්, විවිධ සමාජ කණ්ඩායම් සහ පොදුවේ සමස්ත ජන සමාජය පිළිබඳව විවිධ ආකල්ප තිබිය හැක.

එහෙත්, වසර පහළොවක පමණ කාලයක් පූර්ණ කාලීනව ජන මාධ්‍ය කරලියේ රැඳී සිටීමේ දී ඇති වූ සමස්ත සමාජයම මුල් කොට ගත් කලකිරීමක් නිසා සාමාන්‍ය ජන සමාජයෙන් මුළුමනින් අත්මිදී රෝගී සහ ආබාධිත වූ සුනඛයන් එකසිය දෙකක් සමඟ වන මැදක ජීවත් වන මාධ්‍යවේදියකු පිළිබඳව ඔබ මින් පෙර අසා තිබේද?

මගේ විශ්වාසය අනුව එබඳු දුලබ චරිතයක් අප රටින් තබා ලෝක ජනමාධ්‍ය සිසාරා බැලුව ද සොයා ගැනීම අතිශය දුෂ්කර වීමට පුළුවන. නමුදු මිනිස් සමාජය පිළිබඳ ව හටගත් කලකිරීමට සාපේක්‍ෂව සුනඛයන් තුළ පවත්නා මිනිස් ගති ඉක්මවන උතුම් ගති ලක්ෂණ තේරුම් ගැනීමේ සියුම් සංවේදීතාවයකින් යුතු ප්‍රවීණ මාධ්‍යවේදී උදය විජේසිංහ මේ වන විට සුනඛයන් වෙනුවෙන් කැප විම පිණිස ගිහිගෙය අතහැර වසර තුනකට ආසන්නය.

ඔබ මෙය කියවන මොහොතේත් ඔහු කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව ප්‍රදේශය ආශ්‍රිත පැරණි වැවක් අද්දර අතහැර දමන ලද හේන් මණ්ඩියක නොවිධිමත් ගොඩනැගිලිවලින් යුතු කොටු කර ගත් බිම් කොටසක ආබාධිත සහ රෝගී සුනඛයන් එකසිය දෙදෙනකු ගේ දිවි පැවැත්ම උදෙසා තම මුලු කාලයම කැප කරමින් සිටියි. මට එය පෙනෙන්නේ එක්තරා අන්දමක වීරිය පාරමිතාවක් ලෙසිනි.

ගම්පහ, මිනුවන්ගොඩ ප්‍රදේශයේ ප්‍රකට සමාජ සේවකයකු සහ නීතිඥවරයෙකු වූ පියකුට සහ විදුහල්පති මවකට දාව උපන් පවුලේ එකම පිරිමි දරුවා වන උදය මිනුවන්ගොඩ නාලන්දා මධ්‍ය මහා විද්‍යාලයෙන් පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්වය සමත්ව කොළඹ ආනන්ද විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හිමි කර ගැනීමේ වාසනාව හිමි කරගෙන තිබේ.

පාසල් අවදියේ අධ්‍යාපනයට සේම ක්‍රීඩා ඇතුළු බාහිර ක්‍රියාකාරකම් කෙරෙහි මහත් දක්ෂකමක් පළ කළ ඔහු ආත්මාරක්ෂක සටන් ක්‍රම ද මැනැවින් ප්‍රගුණ කළ අයෙකි. නමුත් කුඩා කාලයේ සිටම තම නිවස සහ අවට ජීවත් වන අසරණ සතුන් ගේ දුක් වේදනා වටහා ගැනීමේ සියුම් සංවේදීතාවයක් තිබූ බැවින් අසරණ සතුන්ට පිහිටවීම උදය ගේ ජීවිතයේ ප්‍රධානතම අංගයක් බවට පත්ව ඇත.

ඵසුව අධ්‍යයපන පොදු සහතික උසස් පෙළ විභාගය හොඳින් සමත් වූ උදය දෙදාහ දශකයේ මුල් කාලයේදීම ලේක් හවුසියේ ‘දිනමිණ’ කර්තෘ මණ්ඩලයට එක්ව ඇත්තේ ආරක්‍ෂක තොරතුරු වාර්තාකරුවකු ලෙසනි.

“ඒ වෙන කොට අපේ ඉස්කෝලෙන් ඉගෙන ගත්තු මට වඩා ජ්‍යෙෂ්ඨ සිසුන් බොහෝ දෙනෙක් ආරක්ෂක හමුදාවල ප්‍රධාන තනතුරු දැරුවා…… මේකත් මට මගේ වෘත්තිය කරගෙන යන්න ලොකු පහසුවක් වුණා. එල්.ටී.ටී.ඊ. යුද්දයත් එක්ක මම හුඟක් කාර්ය බහුල වුණා. නමුත් අසරණ සතුන්ට පිහිට වීමේ පුරුද්ද ඉන් අතහැරුණේ නැහැ. ඒ කටයුතු දෙකට මගේ ජීවිතයෙන් සියයට පනහ ගණනේ වෙන් කළා” උදය මා හා කීය. 

ඒ කෙසේ හෝ උදයගේ ආරක්ෂක තොරතුරු වාර්තා කරණයේ ඇති ඉහළ ප්‍රමිතිය හේතුවෙන් වෙනත් විද්‍යුත් මාධ්‍ය ආයතන වලින් ද ඔහුට රැකියා ඇරයුම් ලැබෙන්නට විය. පසුව තමන් එම විෂයෙහි දැක් වූ සමත්කම් මත “හිරු” “රන්” “සියත” ආදී විද්‍යුත් මාධ්‍ය කිහිපයක ප්‍රවෘත්ති වාර්තා කරුවෙකු, ප්‍රවෘත්ති සම්පාදකවරයකු, ප්‍රවෘත්ති අංශ ප්‍රධානියකු සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ලෙස විවිධ තනතුරු හෙබවීමට තමන්ට අවස්ථාව හිමි වූ බව උදය කියයි. මා මුල් වරට උදය දැන හඳුනා ගත්තේ ද එම අවධියේමය.

“ඔය කාලයේදී මට ආරක්ෂක අංශ ප්‍රධානීන්ට අමතරව දේශපාලනඥයන්, අපේ රටේ ඉහළම ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රභූ සමාජයේ හුඟ දෙනෙක් සමීපව ආශ්‍රය කරන්න ලැබුණා. ඔය අතරේ මම නොයෙකුත් හේතුන් මත මහ මඟ අසරණ වෙලා ඉන්න සුනඛයන් මිනුවන්ගොඩ අපේ ගෙදරට ගෙනත් සාත්තු සප්පායම් කරන්නත් පටන් ගත්තා. නමුත් ඔය අතරේ දී මට හොඳින්ම වැටහුණා.

සමාජය ඉස්සරහ මහා දැවැන්ත ප්‍රතිරූප ගොඩනඟා ගෙන ඉන්න දේශපාලන වීරයන් ගේ චරිතවල අභ්‍යන්තරය මතුපිට ස්වභාවයට වඩා සහමුලින්ම වෙනස් බව; ඒ චරිත බොහොමයක් හරියට මතුපිටින් අයිසින් කරපු පුන්නක්කු වගේ. ඔය වගේ දේවල් ගැන විමසුම් නුවණින් බලනකොට තමයි මට වැටහුණේ ඇත්තෙන්ම අපේ සමාජයේ මිනිස්සුන්ට වඩා මේ සුනඛයෝ මොන තරම් අවංකද? ශ්‍රේෂ්ඨ ද කියලා.

ඒ අනුව තමයි මම මිනිස් ආශ්‍රය අඩු කරලා ඒ වෙනුවට සුනඛ ආශ්‍රය වැඩිකර ගත්තේ. මේක මගේ බුද්ධියට වඩා හදවත ඉස්මතු වීමක් හැටියට සලකන්නට පුළුවන්” උදය කීය.

කෙසේ හෝ මිනිස් සමාජය කෙරෙහි ඇති අප්‍රසන්නතාවයට සාපේක්‍ෂ්ව සුනඛයන් පිළිබඳ වූ ප්‍රසාදනීය ආකල්පය ඉහළ නැංවෙත්ම මඟතොට දී හමුවන අනතුරු වලට ලක්වීමෙන් සහ වෙනයම් හේතූන් මත අසරණ වූ සුනඛයන් ගෙන් උදයගේ නිවස හා ගෙවත්ත පිරී යන්නට විය. ඔවුන් අතරේ බැලූ බැල්මට යමෙකු තුළ පිළිකුලක් ඇතිවන තරමටම රෝගී අසරණ වූ සුනඛයෝ ද වූහ.

උදයගේ වර්තමාන තත්ත්වය මුල් කොට ඔහුගේ පෞද්ගලික වග තුග විමසන මාධ්‍යවේදීන් නැත්තේ ද නොවේ. එහෙත් තම පෞද්ගලික තොරතුරු ලුහුබැඳ එන සියලු දෙනාටම උදය දෙන පොදු පිළිතුරක් තිබේ. එනම් තමන් මේ වන විට අසරණ සුනඛයන් සැලකිය යුතු පිරිසකගේ දිවි රැක දීම වෙනුවෙන් ගිහිගෙය අතහැර පැමිණි බැවින් අතීත පුනරාවර්ජනයන් අවශ්‍ය නොවන බවකි. එමෙන්ම සම්මතයෙන් තොර තමන්ගේ වත්මන් දිවිපෙවෙත මුල් කොට තම පවුල් වල සමාජිකයන් අනවශ්‍ය සමාජ අවධානයකට ලක් කිරීමට තමන් අකමැති බව ද උදය මා හා කීය.

ඒ කෙසේ හෝ මිනුවන්ගොඩ නිවසේ උදය විසින් ගෙනවුත් රඳවන ලද සුනඛ සංඛ්‍යාවක්, පනහක්, හැටක් පමණ වීම, ඒ සම්බන්ධ විවිධ ගැටළු අර්බුදවලට මුහුණ දීමට ද ඔහුට සිදුව තිබේ.

“ප්‍රධානම ප්‍රශ්නය වුණේ මේ සත්තුන්ට හොඳට බඩ කට පිරෙන්න කන්න දෙන එක; ඊට අමතරව මේ සත්තු ලෙඩ වුණාම බේත් අරන් දෙන්නත් වෙනවා; ඒ වගේම මේ සත්තු ගාණ වැඩිවීම හින්දා රෝග පැතිරීම පාලනය කරන්නත් ඕනේ; අනික මැක්කෝ, කිනිතුල්ලෝ නැතුව මේ අයව පිරිසිදුව, සෞඛ්‍ය සම්පන්නව තියා ගන්න එකත් මගේ වගකීමක් නේ. ඔය සේරම දේවල් වලට කාලයක්, ශ්‍රමයක් වගේම මුදලකුත් වෙන් කරන්න යාමෙන් මට මගේ රැකියාවෙන් ටිකෙන් ටික අයින් වෙන්න සිද්ද වුණා.

නමුත් මම ඊට සාපේක්‍ෂව මහ මඟ අසරණ වෙලා ඉන්න සත්තු තව තවත් ගෙදරට ගෙනල්ලා, හොඳ ප්‍රමිතියකින් යුක්තව උන්ව ආදරෙන් රැකබලා ගත්තා. නමුත් ඒකට වියහියදම් මදි වෙන කොට මගේ දේපල පවා විකුණන්න මට සිද්ද වුණා. නමුත් මට ඒ වෙන කොට තේරුණා, සැනසීම ආත්ම තෘප්තිය තියෙන්නේ පොළොවේ වැලි, පස්, බොරළු වලවත් පොළව මත ඉදි වෙන, සිමෙන්ති, කළුගල්, කොන්ක්‍රීට් වලවත් නෙවෙයි කියලා” ඔහු කීය.

නමුත් මේ වන විට උදය ගේ මෙම කාරිය පිළිබඳව ‘අමුතුම කැක්කුමක්’ ඇති කරගත් එක්තරා පුද්ගලයකු උදය ගේ මෙම කටයුතුවලට එරෙහිව ප්‍රදේශවාසීන් ඒකරාශි කිරීමටත් ඒ සම්බන්ධයෙන් පළාත් පාලන ආයතනවලට පැමිණිලි කිරීමටත් පටන් ගෙන තිබේ. එහි අවසන් ප්‍රතිඵලය වී ඇත්තේ ඔහු ඉතා සියුම් ලෙස උදයගේ ඥාති පාර්ශ්වයේ ඇතැමුන් ද සිය මතයට නතුකර ගැනීමය.

එම පුද්ගලයාගේ එකී කල්ක්‍රියාවට එරෙහිව තමන් ප්‍රගුණ කොට ඇති ආත්මාරක්ෂක සටන් ක්‍රම මගින් ද යම් විසඳුමක් ලබා ගැනීමට උදයට පහසු හැකියාවක් තිබිණ. එහෙත්, අවිහිංසකයෙකු සේම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අවිහිංසාවාදියකු ද වන උදයට එවැනි දරදඬු ක්‍රියාමාර්ගයකට සිත නම්මා ගන්නට නොහැකි විය.

තමන්ට එරෙහි වන්නවුන් ලුහුබදිමින් පහර දීමෙන් වියරු ආත්ම තෘප්තියක් ලබන එම පුද්ගලයා පසුව විවිධ පාර්ශවයන් අයුතු ලෙස නම්මා ගනිමින් සහ ඇතැමුන්ට අල්ලස් පවා ලබා දී උදයට විරුද්ධව බොරු සාක්ෂි පවා ගොනු කරමින් ඔහු නීතිය හමුවට ගෙන යාම තෙක්ම දරුණු වී තිබිණ. කෙසේ හෝ පසුව අධිකරණය මගින් ලැබුණු තරමක් සහනශීලී තීන්දුවකට අනුව ඒ වන විට පනහ ද ඉක්මවා සිටි සුනඛයන් ද කැටුව ජීවත් වීමට වෙනම තැනක් සොයා ගන්නට උදයට සිදුවිය.

ඔහු එතෙක් තමන් ජීවත් වූ නිවසට සහ පවුලේ සාමාජිකයන්ට සමු දී තමන්ගෙන් රැකවරණය ලබන සුනඛයන් ද සමඟ මිනුවන්ගොඩ, ජාපාලවත්තේ වසාදැමූ පැරණි බඩු ගබඩාවකට ආවේ ඉන්පසුවය. කෙසේ හෝ එහි දී ද තම කාරිය සිත් පරිදි කරගෙන යාමට නොහැකි බැවින් ඊට වඩා නිදහස් තැනක් සොයා ගැනීම උදයගේ ඊළඟ අභිලාෂය විය. ඔහු තම උපන්ගම වන මිනුවන්ගොඩින් සමුගෙන වන අලින් පවා ගැවසෙන මහව ප්‍රදේශයේ පිහිටි වත්මන් නිවහන තනාගෙන එම සුනඛ පිරිස ද සමඟ පැමිණ ඇත්තේ ඉන් අනතුරුවය. ඒ 2018 වසරේ අඟ භාගයේය.

පසුගිය දිනයෙක උදයගේ මෙම සුනඛ අනාථාගාරය වෙත ගිය අපි මුළු දවසක්ම එහි ගත කළෙමු. ඒ අනුව එම ස්ථානය පිහිටි තැන වචන කිහිපයකින් නිවැරදිව දක්වාලීමට අපට පුළුවන. එහෙත් එම හෝඩුවාව ඔස්සේ විවිධ පිරිස් මෙම ස්ථානයට ද ඉවක් බවක් නොමැතිව සුනඛ පැටවුන් ගෙනවුත් දැමිය හැකි බැවින් එම ස්ථානය අපි මෙහි සඳහන් නොකරමු.

දැන් උදය සමඟ මෙහි දිවිගෙවන රෝගී සහ අසරණ වූ සුනඛයන්ගේ සංඛ්‍යාව එකසිය දෙකකි. එම පිරිසට අළුතින්ම එක් වූ සාමාජිකයා මින්නේරිය ප්‍රදේශයේදී වාහනයකට හැපුණු සුනඛ පැටවකු වන අතර උදය ඔහුට තබා ඇති නම ‘මින්’ ය.

මේ වන විට උදය විජේසිංහ යන නමින් යුතු ෆේස්බුක් ගිනුම ඔස්සේ ඔහු හඳුනාගෙන සිටින පිරිස් මෙම සත්කාරය සඳහා ඔහුට ආධාර කරති. උදයට මෙම බිම් කැබැල්ල මිලට ගැනීමට ද එවන් පරිත්‍යාගශීලීන් ගේ ආධාර උපකාර ලැබී තිබේ. එමෙන් ම සුනඛයන් එකසිය දෙකක් සඳහා දිනපතා පෝෂ්‍යදායී ආහාර වේලක් සැපයීම, නිසි සනීපාරක්ෂක තත්වයන් යටතේ ඔවුන් සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීම සහ රෝග පීඩාවලදී නිසි වෛද්‍යාධාර ලබා දීම පිණිස නිතිපතා සැලකිය යුතු මුදලක් වැය කිරීමට උදයට සිදුව ඇත.

නමුදු මේ වන විට කිසිදු වෙනයම් ආදායම් මාර්ගයක් නොමැති උදය මෙම පාරමිතාව හා සම්බන්ධ සියළු කටයුතු කරනුයේ සිය ෆේස්බුක් ගිනුම මගින් ලැබෙන ආධාර උපකාර මගිනි. නමුත් ඉඳහිට දිනයෙක තමන් විස්කෝතුවකින් කහට කෝප්පයකින් කුසගිනි නිවාගෙන ඇතත් තමන් භාරයේ සිටින කිසිම සතකු එක් වේලක් හෝ කුසගින්නේ තබා නොමැති බව උදය පවසන්නේ මහත් ආඩම්බරයෙනි.

“ඉස්සර මම මේ සත්තුන්ට වියදම් කළේ මගේ පෞද්ගලික ධනය. දැන් මේ කටයුත්ත අන්‍යයන්ගේ ආධාර උපකාර වලින්ම සිදුවෙන නිසා මේ හැම බත් ඇටයක්ම මම මගේ ආත්ම ගෞරවය පරදුවට තියලා ලබා ගන්න බව රහසක් නෙවේ. ඒත් ඒ සල්ලි වලින් එක සතයක්වත් අපතේ නොහැර අසරණ සතුන් වෙනුවෙන්ම වියදම් කිරීමට ලැබීම මට මගේ ආත්ම ගෞරවය රැකගැනීමට වඩා වටිනවා” කී උදය තවත් අපූරු කතාවක් මා හා කීය. ’‘එකම කාසියක නෝනා පොල්ල වගේ දෙපැත්ත පෙරලෙන මේ රටේ දේශපාලනය දැන් ‘බලු’ වෙලා. මං හිතන්නේ ඒ හින්දාත් මේ සත්තුන්ගේ වටිනාකම දවසින් දවසම ඉහළ යනවා ඇති.

ඇත්තෙන්ම ඒ සම්බන්ධයෙන් අපි මේ දේශපාලනඥයන්ට ස්තුතිවන්ත වන්න ඕනේ. අද අපේ රටේ සමහරු මගේ මේ කටයුතු තදබල විදිහට විවේචනය කරනවා; මානව හිමිකම් වත් හරියකට ක්‍රියාත්මක නොවෙන අපේ රටේ සත්ව හිමිකම් ගැන වෙනුවෙන් පෙනී සිටින එක මෝඩකමක් කියලා. ඒත් ලෝකයේ මානව හිමිකම් ස්ථාපිත වුණු හැම රටකම ඒ හා සමානවම සත්ව හිමිකමුත් ස්ථාපිත වෙලා තියනවා; එහෙම නැති එක රටක් පුළුවන් නම් මට පෙන්නන්න.” ඒ උදය සමාජය වෙත එල්ල කරන විවෘත්ත අභියෝගයකි.

එමෙන්ම, ඔහු පවසනුයේ දැනට අප රටේ ජනයා මුහුණ දෙන බැරෑරුම් ජීවන ගැටළු වලට විසඳුම් ඉදිරිපත් කළ යුතුව තිබිය දී තමන් මෙසේ සතුන් වෙනුවෙන් කැපවීම ද සමහරුන්ගේ දෝෂ දර්ශනයට ලක් ව ඇති බවය.

“ඔය විදිහට මට ෆේස්බුක් වලින් චෝදනා කරන අයගේ ෆේස්බුක් ගිනුම් පරීක්ෂා කළාම හොඳටම පේනවා; ඒ අය අනුන්ගේ දේවල් වලට හොට දානවා මිසක් පුද්ගලයෝ හැටියට සතා, සීපාවාට තියා මිනිස් සමාජයට වත් කිසිම දෙයක් නොකරන අය බව; අනික මේ රටේ ජනතාව මුහුණ දෙන අන්තිම බැරෑරුම් ප්‍රශ්නෙත් විසඳලා ඉවරවෙලා ඊට පස්සේ සත්තුන්ගේ ප්‍රශ්න විසඳිය යුතුයි කියන කතාව ’නොකෙරෙන වෙදකමක්’. අපි ජනතා ප්‍රශ්න වලටත් විසඳුම් සෙවිය යුතු තමයි. හැබැයි මේ වෙනුවෙන් මේ සත්ව සුබසාධක කටයුතු නතර කළ යුතු නැහැ”.

එමෙන්ම වත්මන් දේශපාලනය පිළිබඳ යම් යහපත් දැනුමක්, අවබෝධයක් ඇති උදය පවසනුයේ 2006 සිට පාර්ලිමේන්තුවට ගෙන ඒමට සූදානමින් ඇති සත්ව සුබසාධන කෙටුම්පත මගින් සතුන් සම්බන්ධ වර්තමාන අනාරක්ෂිත බව අවප්‍රමාණ විය හැකි නමුදු ඒ කෙරෙහි උනන්දු වන කිසිදු දේශපාලනඥයකු හෝ දේශපාලන පක්‍ෂයක් වත්මන් දේශපාලන කරලියේ දක්නට නොලැබීම අප රටේ දේශපාලනික කඩතොළු ස්වභාවය මැනැවින් ප්‍රකට කරවන්නක් බවය.

උදය විසින් පවත්වාගෙන යනු ලබන මෙම සුනඛ අනාථාගාරය දැක බලාගෙන ඔහු හා කතා බස් කළ මම දැනට මෙම කටයුත්ත සම්න්ධයෙන් පවතින බාධක පිළිබඳව ද ඔහුගෙන් විමසා සිටියෙමි.

“දැනට මම දවසේ පැය විසි හතරම කැපවෙලා වැඩ කරන හින්දා මේ සත්තුන්ට හොඳ කෑම සහිතව සනීපාරක්ෂිත පරිසරයක් තුළ සෞඛ්‍ය සම්පන්න ජීවිත ගෙවන්න පුළුවන් වෙලා තියනවා; ඒත් මීට යාබද ඉඩම ඒකේ අයිතිකරුවන් විකුණන්න යන බවක් දැන ගන්න තියනවා. ගාණ රුපියල් ලක්ෂ හතරක්. ඒත් ඔය ඉඩම් කෑල්ල පිටස්තර කෙනෙක් ගත්තොත් මට මේ සත්තුන් එක්ක තව දුරටත් මෙතන ඉන්න පුළුවන් වෙයිද? මේ සත්තුත් අරගෙන මම කොහෙට යන්නද? මේවා තමයි දැන් මට තියන ප්‍රශ්න” උදය කීය.

එමෙන්ම මේ වන විට අසරණ සතුන් වෙනුවෙන් ඔහු සිදුකරන ආත්ම පරිත්‍යාගය සහ කැපවීම මුල්කොට මිනුවන්ගොඩ කනිෂ්ක කොලොන්නගේ සහ ගණේමුල්ලේ අශාන් ලංකා හේවාගම යන පශු වෛද්‍යවරු උදය ගේ සුනඛ ප්‍රජාව සඳහා නොමිලයේ ප්‍රතිකාර සහ ඖෂධ ලබා දෙති. එවන් පසුබිමක ඔහු පවසන යාබද ඉඩම් කොටස ද යා කරගතහොත් ඔහුගේ මෙම සුනඛ සරණාගත ව්‍යාපෘතිය තව දුරටත් පුළුල් කර ගත හැක. ඒ සඳහා උදය විජේසිංහ ෆේස්බුක් ගිනුම ඔස්සේ ඔහු පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට ඔබට ද පුළුවන.

“මම මේ කරන්නේ පවතින සමාජ සම්මතයට අනුව සාම්ප්‍රදායික නොවෙන දෙයක්. නමුත් ‘ජීවිත’ කිව්වම මිනිස්, තිරිසන් භේදයක් නැතුව එක සමානව ආරක්ෂා විය යුතු දෙයක් කියන පදනමේ ඉඳගෙනයි මම මේක කරන්නේ, ඒත් සමහරු කියනවා මම මේ වගේ දේකට පෙළඹෙන්නේ මානසික රෝගයක් නිසාලු.” උදය හා මා අතර පැවැති මෙම හමුව නිමාවේ ඔහු සිනාසෙමින් කීය.

විෂයක් වශයෙන් මනෝ වෛද්‍ය විද්‍යාව හෝ මනෝ වෛද්‍ය විද්‍යාව හදාරා නොමැති මට උදය පිළිබඳ යම් යම් පුද්ගලයන් පවසන එම කතාව මුල්කොට ඔහු සම්බන්ධයෙන් සායනික රෝග විනිශ්චයක් දීමට නොපුළුන. එහෙත්, වසර ගණනාවක් තිස්සේ ඔහු සමඟ දැන හැඳුනුම්කම් පවත්වමින් ඔහුගේ සියළු කල් ක්‍රියාවන් නිරීක්ෂණය කරන මට ඒකාන්ත වශයෙන්ම උදය පිළිබඳව මෙම ‘සහතිකය නිකුත් කළ’ හැක.

එනම් උදය විජේසිංහ යනු සෙස්සන්ට සාපේක්‍ෂව කෙසේ වුවත් මෙය ලියන මට වඩා අතිශයින් දියුණු, නිරෝගී සහ ප්‍රභාෂ්වර මනැසකින් යුතු අයකු බවය.

තිලක් සේනාසිංහ

t

o

p