සුදුවැල්ලේ ගත කළ “අපූරු රෑ”

May 19, 2020

වත්මන් කොවිඞ් 19 වසංගතය සම්බන්ධයෙන් අප රටේ බොහෝ දෙනකුගේ අවධානයට යොමු වූ ප්‍රදේශ අතුරින් ජාඇල සුදුවැල්ලට හිමි වනුයේ ප්‍රධානත්වයකි. ඒ සමඟම එහි වැසියන් ගේ අවිචාරවත් හැසිරීම් රටාව, අප රටේ කොවිඞ් 19 වසංගත ව්‍යාප්තිය කෙරෙහි අතිශය අහිතකර ලෙසින් බලපෑ බව ඒ සම්බන්ධ වගකිව යුතු අංශවලින් පවා මෙරට පොදු ජනතාව හමුවේ ප්‍රකාශ කෙරිණ. එමෙන්ම ජාඇල, සුදුවැල්ලෙන් හඳුනා ගැනුණු පළමු කොවිඞ් 19 ආසාදිතයා ගේ සිට තවත් ආසාදිතයන් කිහිප දෙනකු මත්ද්‍රව්‍ය ලෝලීන් බව හඳුනා ගැනීමත් ඒ ඔස්සේ සිදු කරන ලද වැඩිදුර පරීක්ෂණවලින් ඔවුන් අගනුවර හා සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාලයක කොටස්කරුවන් බව හඳුනා ගැනීමත් නිසා ජාඇල, සුදුවැල්ල මත්ද්‍රව්‍ය ලෝලීන් ගේ පාරාදීසයක් බව රට පුරා ප්‍රසිද්ධියට පත් විය.

එහෙත්, ඒ කතාව සහ එහි ඇත්ත නැත්ත පසෙක තිබිය දී ජාඇල,සුදුවැල්ලේ වැසියන් සම්බන්ධයෙන් මා තුළ ඇත්තේ අතිශය ප්‍රසන්න මතකයකි. මාධ්‍ය කටයුතු උදෙසා ශ්‍රී ලාංකීය සමාජයේ විවිධ ජන කොටස් අතරට යාම සාමාන්‍ය සිරිතක්ව තිබූ මගේ වෘත්තීය ජීවිතයේ දී සුදුවැල්ලේ වැසියන් සම්බන්ධයෙන් හටගත් මෙම ප්‍රසාදනීය මතකය මෙහි ලා සටහන් කිරීමට මා අදහස් කරනුයේ ඔවුන් වෙත කරනු ලබන අවස්ථානුකූල කළගුණ සැලකීමක් ද ලෙසිනි.

කොළඹ, මීගමුව ප්‍රධාන පාරේ ජාඇල ලංකා බැංකුව අද්දරින් වමට හැරෙන ජාඇල තුඩැල්ල නව මාර්ගය කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ නව පිවිසුම් මාර්ගය ද වෙයි. එහි එක්තරා ස්ථානයක රාත්‍රී කාලයන් හි දක්නට ලැබෙන අද්භූත ගැහැණියක පිළිබඳ තොරතුරක් 2016 වසරේ දී මට මුල් වරට දැන ගන්නට ලැබිණ. එම තොරතුර මගින් වැඩිදුරටත් අනාවරණය වූ අන්දමට රාත්‍රී කාලයට එම මාර්ගය ඔස්සේ ගමන් ගන්නා වාහන ඉදිරියේ හිටිහැටියේ පෙනී සිටින මෙම කාන්තාව නිසා භීතියෙන් ත්‍රස්තවන රියැදුරන්ට තම රථ පාලනය කරගත නෙහැකි වෙයි.

එහි අවසන් ප්‍රතිඵලය මාරක අනතුරකි. 2016 වසරේ අගෝස්තු 29 දා රාත්‍රියේ ද මෙම මාර්ගයේ එම ස්ථානයේ දීම මෝටර් රථයක් අනතුරට පත් වූ අතර ජපානයේ සුප්‍රකට මෝටර් රථ සමාගමක තාක්ෂණවේදියකු වශයෙන් සේවය කළ සචින්ත නම් ශ්‍රීලාංකික තරුණයකු සහ අරුණ චමීර නම් ඔහුගේ මිතුරකු එම ස්ථානයේ දීම මිය ගියේය. එම රථයේ ගමන් කළ සෙසු තරුණයාගේ ද ජීවිතය බේරෙන ලද්දේ ද අනූනවයෙනි.

2013 ඔක්තෝබර් 25 දා විවෘත කරන ලද මෙම කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ ජාඇල – දෑලතුර පිවිසුම් මාර්ගයේ එකම ස්ථානයක දී රිය අනතුරුවලින් සිදු වූ මරණ සංඛ්‍යාව එම මරණ දෙක ද සමඟ දහය දක්වා ඉහළ නැංවී තිබිණ. ඒ සම්බන්ධයෙන් අවට වැසියන් ගෙන් තොරතුරු විචාළ අපට වැඩිදුරටත් දැන ගත හැකි වූ අන්දමට රාත්‍රී කාලයේ මෙම ස්ථානය පසු කරන වාහන හමුවේ පෙනී සිටින මෙම අද්භූත කාන්තාවගේ අවතාරය හා සම්බන්ධ එක්තරා සිද්ධියක් ද තිබේ.

එනම් 2014 වසරේ මැයි 25 දා පෙරවරු 7.15 ට පමණ ජාඇල සුදුවැල්ලේ පදිංචි ‘ක්‍රිෂ්ණම්මා’ නම් පනස් හත් වියැති කාන්තාවක මෙම ස්ථානයේ දී මෝටර් රථයකට හසු වී මිය යාමත් සමඟ මෙම අද්භූත සිදුවීම් දාමය ඇරඹුණු බවකි. ඒ අනුව මෙම අද්භූත විශ්වාසයේ සුලමුල සෙවීමට නම් ඊට මුල් වූ ක්‍රිෂ්ණම්මා ගේ මරණය පිළිබඳව ද තොරතුරු විමර්ශනය කළ යුතුමය. එහෙත්, ඒ වන විට ද ජාඇල සුදුවැල්ල යනු නොහික්මුණු කලහකාරී මිනිසුන් බහුල ප්‍රදේශයක්ය යන ආරංචිය ද නොයෙක් වර මගේ සවන් වැකී තිබිණ. ඒ අනුව එවැනි ජන පිරිසක් අතරට ගොස් ඉහත සඳහන් රිය අනතුර සහ හොල්මන් කතාව මුල්කොට එම පවුලේ සාමාජිකයන් ගෙන් ප්‍රශ්න ඇසීමේ අනුවණකම කල් ඇතිව තේරුම් ගත් මම ඒ සඳහා ද පුංචි උපායක් යෙදුවෙමි.

ඒ ජාඇල ප්‍රදේශයේ සේම සුදුවැල්ලේ ද හැම වැලිකැටයක් ගැනම පාහේ දන්නා ජාඇල මාධ්‍යවේදී ප්‍රසංග පෙරේරා සහ ජාඇල නගරය හා විවිධ සම්බන්ධතා දක්වන රාගම මාධ්‍යවේදී සිරිල් ගෙග්‍රරි ද එක් කර ගනිමින් මෙම ‘අවදානම් සහගත’ ගමනේ යෙදීම ය. ඒ එහි දී යම් ප්‍රතිලාභයක් හිමි වුවහොත් මට හිමි වන කොටස ඉන් තුනෙන් පංගුවක් වන බැවිනි.

ජාඇල, සුදුවැල්ල අසංවිධිත ජනාවාසකරණය මුල්කොට ගත් නොදියුණු ජන කොටසක් වෙසෙන ප්‍රදේශයක් බව පැවසුණ ද වියළි කලාපීය දේශගුණික ලක්ෂණ සහිත පසුබිමක් තුළ එහි ඉදිව ඇති මඩුමාතා දේවස්ථානය සහ ඒ අවට පරිසරය නම් අතිශය මනහර ය.

රිය අනතුරින් මිය ගිය ක්‍රිෂ්ණම්මා ගේ නිවස පිහිටියේ එම දේවස්ථානයට මඳක් නොදුරිනි. ඒ අනුව අප විසින් අසනු ලබන ‘නොහොබිනා ප්‍රශ්න’ හමුවේ අප හට කුමකින් කුමක් වේදැයි යන බිය මුසු සැකය සිත යට සඟවා ගත් මම මගේ මාධ්‍ය සගයන් දෙදෙනා ද කැටුවම එම නිවසට පිවිසියෙමි. එවිට අප පිළිගන්නා ලද්දේ මියගිය ක්‍රිෂ්ණම්මා ගේ පුතෙකු විසිනි.

මෙවන් රිය අනතුරුවලට බොහෝ විට මාර්ගයේ මතු පිට පෘෂ්ඨය සුමට වීම ද බලපෑ හැකි අතර යම් මාර්ගයක එකම ස්ථානයක වැඩිපුර අනතුරු සිදුවේ නම් එය විද්‍යාත්මකව ද විමසා බැලිය යුතු බව මෙහි ඒමට පෙර මා හා කියා සිටියේ මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරුවරයකු වන මගේ මිතුරු නාලක සංජීව ය. ඒ අනුව මාර්ගයේ පවතින එම දෝෂ තත්වයන් මඟ හැරීමෙන් එම ‘හොල්මන් අවතාර’ ද දූරීභූත කළ හැකි බව ඔහු මා හා කියා සිටියේ උපහාසාත්මකවය.

ඒ කෙසේ හෝ ක්‍රිෂ්ණම්මා ගේ පවුලේ සාමාජිකයන් අතර සිදුවන කතා බහේ දී මුලින්ම භාවිතා කිරීම සඳහා මෙම ‘තුරුම්පුව’ ද මා ළඟ තිබූ නමුත් අප විසින් අසන ලද ප්‍රශ්නවලට ක්‍රිෂ්ණම්මා ගේ පුතු විසින් ඉතා සැහැල්ලු මනැසින් සංයමශීලීව පිළිතුරු දීම නිසා එම ‘තුරුම්පුව’ භාවිතා කිරීමට වත් මට අවශ්‍ය නොවිණි.

එමෙන්ම තම මව මිය ගිය ස්ථානයේ වර්තමානයේ පැතිර ඇති හොල්මන් කතාව තමන් ද අසා ඇති මුත් එය සහ තම මව අතරේ කිසිදු සම්බන්ධයක් නොමැති බව තමන් හොඳින් දන්නා නිසා ඒ කෙරෙහි අනවශ්‍ය සේ කලබල නොවන බවත් ඔහු අතිශය සැහැල්ලු ලෙසින්ම අප හා කීය. ඉන්පසු එම අද්භූත ගැහැණිය ගේ අවතාර ය පිළිබඳව වැඩිදුරටත් අදහස් පළ කළ සුදුවැල්ලේ ප්‍රදේශවාසීන් කිහිප දෙනකුම කියා සිටියේ ඊට අමතරව ඇතැම් රාත්‍රී කාලවල හාත්පසින් අමුතු අද්භූත ශබ්දයක් ද ඇසෙන බවකි.

ඔවුන් එම ශබ්දය උච්චාරණය කළ අයුරින් මගේ සිහියට නැංවෙන ලද්දේ ‘බෝදිලිම් යක්ෂයා’ නමින් හැඳින්වෙන ජන විශ්වාසයයි. දරු ප්‍රසූතියක දී දරුවා කුසින් පිටතට ඒමට ආසන්න මොහොතක ඇති වූ සංකූලතාවයන් ගෙන් මිය යන ගැබිණියන් මෙලෙස බෝදිලිම් යක්ෂයන් වී ඉපිද රාත්‍රී කාලයට පිරිමින්ට පමණක් ඇසෙන සේ තම වේදනාකාරී විලාප හඬ නංවන බව එම ජන විශ්වාසයයි. එමෙන්ම බෝදිලිම් කටුස්සා (chamaeleo zeylanIcus) නමින් හැඳින්වෙන දිවාචර කටුසු විශේෂය ද සුදුවැල්ල ආශ්‍රිත මුතුරාජවෙල තෙත් බිමෙන් හමුවන බවට වාර්තා වී ඇතත් ඒකා රාත්‍රියට තබා දහවලකවත් මුවින් කිසිදු හඬක් පිටකර ගත නොහැකි ‘කථනාබාධිතයකු’ බව සත්වවේදීහු තහවුරු කරති.

ඒ කතාව යක්ෂයාට ගිය ද මෙම සුදුවැල්ලෙන් රාත්‍රී කාලයට ඇසෙන බවට ඇතැමුන් පවසන ඒ ‘බෝදිලිම්’ යක්ෂ නාදය පිළිබඳව දැන ගැනීමේ තදබල “දොළදුකක්” මා තුළ ඇති වනු ලදුව මම එය රහසින් ප්‍රසංගට කීවෙමි. ඒ සුදුවැල්ලේ ‘යකුන්’ මා සිතා සිටි තරම් කළු නොමැති බව ඒ වන විට ද මට වැටහී තිබූ බැවිනි. නමුදු ඒ සඳහා එම අද්භූත හඬ ඇසෙන ස්ථානයක අප රැයක් ගත කළ යුතුවේ. කෙසේ හෝ ඉන් පසුව මා කිහිප වරක් කන්කෙඳිරි ගෑමත් සමඟ අපට එලෙස බෝදිලිම් හඬ ගැන විමසමින් රැයක් පහන් කළ හැකි නිවසක් සුදුවැල්ලෙන් සොයා ගැනීමට ප්‍රසංග සමත් විය.

ඒ අනුව කලින් සිදුකළ දැනුම් දීමකට අනුව එම බෝදිලිම් හඬ ඇසීමේ අරමුණින් ‘කන- බොන දේවල්’ ද රැගත් අප දෙදෙනා එහි එක් නිවසක් වෙත සේන්දු වූයෙමු. හරි හැටි ඉඩමක්, කඩමක් තබා ගෙයක් දොරවක් වත් නොමැති එම නිවෙස් හිමියා අප දෙදෙනා සාදරයෙන් පිළිගෙන අප ගෙන ගිය දේවල් මෙන් කිහිප ගුණයක ආගන්තුක සත්කාරයක් අප වෙත සිදු කළ අතර ඊට නොමසුරු දායාදයක් දැක්වූ ඔහුගේ අසල්වැසියෝ ද අප හා ප්‍රිය සමාගමයට එක්වූහ.

එහි දී අප හා එක් වූ සෑම අයකුම කිසිදු ලාභ ප්‍රයෝජනයක් නොතකා තම වියදමින් අපට උපරිමයෙන් ආගන්තුක සත්කාර දැක්වීමෙන් පළ කළ ‘වැදගත්කම’ අප සමාජයේ ඉහළ මධ්‍යම පාන්තිකයන් පළ කරන ඊනියා ප්‍රදර්ශනාත්මක සහ ආටෝපකාරී ‘වැදගත්කමට’ වඩා බෙහෙවින් ඉහළ තත්වයක තිබිණ. එහෙත් මෙහි දී මට සුවිසල් අවාසියක් ද සිදුවිය. එනම් මා එහි ගිය ප්‍රධාන කාරණය හෙවත් බෝදිලිම් හඬ ඇසීම මධ්‍යම රාත්‍රිය වන විට මුළුමනින්ම අමතක වීමය. ඒ සුදුවැල්ලේ වැසියන් ගේ ආගන්තුක සත්කාරයටත් අතිශය ප්‍රියමනාප මිතුරු සමාගමයටත් ‘පින් හෝ පව්’ සිදුවන්නටය.

‘දැන් ඉතින් බෝදිලිමා ගැන මොනවා හරි ලියනවද?’ පසු දා අලුයම සුදුවැල්ලෙන් නික්ම ආපසු එන අතරේ ප්‍රසංග මගෙන් ඇසීය.

‘දැන් ඉතින් මට ලියනවා නම් ලියන්න තියෙන්නේ එක දෙයයි’ මා කී විට

‘ඒ මොකක්ද?’ යනුවෙන් ප්‍රසංග අසා සිටියේය.

‘බෝදිලිම් යක්ෂයාටත් වඩා සුරා යක්ෂයා බලවත් කියලා තමයි’ ඉතින් මම කීවෙමි.

තිලක් සේනාසිංහ


ඡායාරූප:ප්‍රසංග පෙරේරා

t

o

p