රාජ්‍ය සේවක වැටුප් කප්පාදු කිරීමට කිසිදු සූදානමක් නොමැත

May 11, 2020

රාජ්‍ය සේවක වැටුප් හෝ රාජ්‍ය සේවය කප්පාදු කිරීමට වත්මන් රජය කිසිදු සූදානමක් නැතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ බලය සිටියේදී  රාජ්‍ය සේවය  කප්පාදු කිරීමට කටයුතු කළ එක්සත් ජාතික පක්ෂයත්, 88 89 භීෂණ සමයේදී  රැකියාවට ගිය රජයේ සේවකයන් ඝාතනය කළ ජනතා විමුක්ති පෙරමුණත් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කප්පාදු කිරීමට ආණ්ඩුව සූදානම් වන බව පවසමින් කිඹුල් කදුලු හෙලන බවයි.

රටේ පවතින වර්තමාන තත්ත්වය හා කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා රජයේ ක්‍රියා මාර්ග පැහැදිලි කිරීම සදහා මිනුවන්ගොඩ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් සමග පැවති සාකච්ඡාවේදී  ඇමතිවරයා මේ බව සදහන් කලේය. සාකච්ඡාව උඩුගම්පොල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී පැවැත්විණ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය.

“ජනාධිපති ලේකම්වරයාගේ පෞද්ගලික ඉල්ලීමක් මුල් කරගනිමින් එ.ජා.පය, ස.ජ.බය හා ජ.වි.පේ අද නැති බිල්ලෙක් මවන්න හදනවා. මහින්ද ගෝඨා සුසංයෝගයෙන් හැදුනු වත්මන් ආණ්ඩුවට රාජ්‍ය සේවක වැටුප් කප්පාදු කිරීමේ කිසිදු උවමනාවක් නෑ. ලක්ෂ 6 7ක් වුනු රාජ්‍ය සේවය ලක්ෂ 15  දක්වා වැඩි කලේ මහින්ද මහත්තයාගේ ආණ්ඩුවයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කියන්නෙත් හොද රාජ්‍ය සේවකයෙන්. මහින්ද මහත්තයාතරම් රජයේ සේවකයන්ට සලකපු වෙන දේශපාලන නායකයෙක් නෑ. ඒ නිසා ඔවුන් දෙදෙනාගේ නායකත්වයෙන් යුතු වත්මන් ආණ්ඩුව කවදාවත් රාජ්‍ය සේවයේ මොනම ආකාරයේ කප්පාදුවකට ඉඩ තබන්නේ නෑ. හැබැයි එක්සත් ජාතික පක්ෂය නැත්නම් සමගි ජන බලවේගයට ගිහිල්ලා ඉන්න උදවියනම් බලයේ ඉන්න කාලේ මේ රටේ රාජ්‍ය සේවය කප්පාදු කළා. අග්‍රහාර රක්ෂණය නැති කරා.

රාජ්‍ය සේවක විෂ්‍රාම වැටුප් නැති කළා. රාජ්‍ය සේවය ස්වභාවික මරණයකට ලක්කරන්නයි පසුගිය යහපාලන ආණ්ඩුව සැලසුම් කරලා තිබුනේ. අද රාජ්‍ය සේවකයන් වෙනුවෙන් කිඹුල් කදුලු හෙලන ජනතා විමුක්ති පෙරමුණ 88 89 දී රැකියාවට ගිය රජයේ සේවකයන් කීදෙනෙකු මරා දැමුවාද? එහෙම කරපු අය  අද රජයේ සේවකයා වෙනුවෙන් පෙනී සිටින බව කීම තමා යුගයේ ලොකුම විහිළුව.

ජනාධිපති ලේකම්වරයා කලේ පෞද්ගලික ඉල්ලීමක්. මේ රටේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් බලෙන් කපන්නවත්, මේ රටේ රාජ්‍ය සේවය නැති කරන්නවත් වත්මන් ආණ්ඩුවට කිසිදු අවශ්‍ය තාවයක් නෑ.

ගෝඨාභය මහත්තයාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිමය  වැඩසටහනේ තියෙන්නේ රාජ්‍ය සේවය ශක්තිමත් කරන වැඩසටහනක් මිසක් එය කප්පාදු කරන වැඩසටහනක් නෙමේ. ඒ නිසයි පහුගිය ජනාධිපතිවරණයේ දී මේ රටේ රාජ්‍ය සේවකයන් අප පිළිබදව විශ්වාසය තැබුවේ. මෙරට සමස්ත රාජ්‍ය සේවකයන් ජනාධිපතිවරයා, අගමැතිවරයා, වර්තමාන ආණ්ඩුව පිළිබදව තබා ඇති විශ්වාසය එජාප, සජබ හෝ ජවිපේ බොරුවලින් පළුදු කරන්න බෑ. පළුදු වෙන්න අපි ඉඩතියන්නෙත් නෑ.

පසුගිය මැතිවරණය කාලේ එක්සත් ජාතික පක්ෂයයි, ජනතා විමුක්ති පෙරමුණයි, දෙමළ ජාතික සන්ධානයයි, ගෝඨාභය රාජපක්ෂ මහතාව හැදින්වූයේ ඒකාධිපතියෙක් ලෙසයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වුනොත් රට ඒකාධිපති පාලනයකට යන බවත් ප්‍රජාතන්ත්‍රවාදය වල පල්ලට යන බවත් ඔවුන් කිව්වා. ප්‍රජාතන්ත්‍රවාදයේ එක ලක්ෂණයක් තමයි මැතිවරණය. ජනතා බලයෙන් බලයට පත්වුන ගෝඨාභය රාජපක්ෂ මහතා ව්‍යවස්ථානුකූලව රටේ මහ මැතිවරණයක් පවත්වා අලුත් ආණ්ඩුවක් පිහිටුවීමේ අවස්තාව ජනතාවට දෙන්න කටයුතු කලා.

පාර්ලිමේන්තුව විසුරුවන විටත්, නාම යෝජනා භාරගන්නා විටත් රටතුල කොරෝනා වසංගත අවධානමක් තිබුනේ නෑ. ඊට පස්සේයි මේ තත්ත්වය උද්ගත වුනේ. මැතිවරණ කොමසාරිස්වරයා ඔහුට ඇති බල තල අනුව මහ මැතිවරණයට දින නියම කර තිබෙනවා. තුන් නිවුන් සොහොයුරන් වන එ.ජා.පය, ජ.වි.පේ, ටී.එන්.ඒ එක දැන් මහ මැතිවරණය එපා කියලා උසාවි යනවා.

මේ අය තමයි පහුගිය කාලේ ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදේවතාවුන් වගේ හිටියේ. හැබැයි දැන් වෙලා තියෙන්නේ මොකක්ද?. ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදේවතාවුන් වගේ හිටපු අය මැතිවරණය එපා කියලා උසාවි යනවා. මේ අය බලයේ ඉද්දිත් එ.ජා.පය, ජ.වි.පේ, ටී.එන්.ඒ එක එකතුවෙලා මැතිවරණ කල් දාන්න දන්න සෙල්ලම් ඔක්කොම කලා.

දැන් විපක්ෂයේ ඉන්නකොටත් මැතිවරන වලට බයේ දගලනවා. මැතිවරණ දැක්කාම පණ බයේ ගැහෙනවා. මේ වගේ දේශපාලන පක්ෂ ලෝකේ කොහෙවත් නෑ. ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදේවතාවෝ ලෙස පෙනී සිටි අය මහ මැතිවරණයට එරෙහිව අධිකරණයට යාමෙන් ඔවුන්ගේ ප්‍රජාන්ත්‍රවාදයේ සැබෑ නිරුවත රටට හෙලිදරව් වෙනවා. මහ මැතිවරණය කල් දමා ගැනීමට මේ අය මෙතරම් වලිකන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට ඇති ආදරයට නෙමෙයි. මහ මැතිවරණයෙන් ලැබෙන පරාජයට මුහුණ පෑමට ඇති බව නිසායි.

කොරෝනා වසංගතය අපි හැකි උපරිමයෙන් පාලනය කරමින් ඉන්නවා. කොරෝනා වසංගතය පතිරීම පාලනය කරන අතරම රටේ ජනතාවගේ කුසගින්න නිවන්නත් අප කටයුතු කරනවා. අඩුපාඩු ඇති නමුත් ගෝඨාභය මහින්ද සුසංයෝගයෙන් යුතු ආණුඩුව මේ රටේ ජනතාව කොරෝනා වසංගතයෙන් මුදා ගන්න කළ හැකි, කල යුතු සියලුම දේ කරනවා.

කොරෝනා වසංගතය පාලනය කරන්නත්, ජනතාවට සහන සලසන්නත් ආණ්ඩුව කටයුතු කරනකොට විපක්ෂය හදන්නේ  කකුලෙන් අදින්නයි. ඒකයි ඔය අභූත චොදනා කරන්නේ. ආණුඩුවට එරෙහිව විපක්ෂය නගන බොරු චෝදනා මේ රටේ ජනතාව තඹයකටවත් මායිම් කරන්නේ නෑ. මොකද ජනතාව එ.ජා.පය, ජ.වි.පේ, ටී.එන්.ඒ කැරට්ටුව හොදට දන්නවා.

රට හැමදාම වහගෙන ඉන්න බෑ. රටේ නිෂ්පාදන ක්‍රියාවලිය  අරඹන්න ඕනෑ. රටේ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට ගෙන එන්න ඕනෑ. ඒ නිසයි රජය තීරණය කලේ 11 වෙනිදා ඉදලා රටේ සාමාන්‍ය ජන ජීවිතය ක්‍රමක් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් කරන්න. නමුත් අපි මෙහිදී වඩාත් ප්‍රවේශම් විය යුතුයි. සෞඛ්‍ය උපදෙස් අපි නිසි ලෙස පිලිපැදිය යුතුයි.

රජය මේ සියල්ල කරන්නේ ජනතාව වෙනුවෙන්. ආණ්ඩුවක්, දේශපාලන පක්ෂයක් හැටියට අපි කොයි වෙලේවත් කියන්නේ නෑ සෞඛ්‍ය අංශ එකගතාවය නැතිව මහ මැතිවරණය පැවැත්විය යුතුයි කියලා. අපි මහ මැතිවරණය පැවැත්විය යුත්තේ සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ එකගතාවය මතයි. එවැනි එකගතාවය ඇතිව මහ මැතිවරණය පැවැත්වීම කිසිදු වරදක් නෙමෙයි. ”

මිනුවන්ගොඩ ප්‍රාදේශිය සභාවේ සභාපති කුමාර අරංගල්ල, උප සභාපති සුජීව සම්පත්, මිනුවන්ගොඩ නගර සභාවේ සභාපති නීල් ජයසේකර යන මහත්වරුන්ද මෙහිදී කථා කලහ.

t

o

p