ජනමාධ්‍යයේ මිථ්‍යා ජාවාරම

April 24, 2020

වර්තමානයේ ලෝක අවධානයට යොමුව ඇති කොරෝනා වයිරස වසංගත රෝග තත්වය පිළිබඳව අප රටේ ජනමාධ්‍ය මගින් ප්‍රචාරය කෙරෙන තොරතුරු අතරේ විවිධ පුද්ගලයන් විසින් ප්‍රකාශ කරනු ලැබූ ඒ සම්බන්ධ ගුප්ත ශාස්ත්‍රීය කරුණු ද ප්‍රධාන තැනක් ගන්නා බව පෙනෙයි. මෙම වසරේ මෙම කාල වකවානුව තුළ මෙවන් ගෝලීය වසංගත තත්වයක් ඇති වන බවට නක්ෂත්‍රය ඇතුළු තමන් නියෝජනය කරන ගුප්ත ශාස්ත්‍ර මගින් හාංකවිසියක්වත් හෙලිදරව් නොකළ මෙම පුද්ගලයෝ දැන් ජනමාධ්‍ය ඔස්සේ පෙනී සිටිමින් මෙම වසංගත තත්වය පිළිබඳ ‘පශ්චාත් මරණ පරීක්ෂණ’ පැවැත්වීමට පෙළඹී සිටිති. රූපවාහිනී වැනි විද්්‍යුත් මාධ්‍යයන් ඔස්සේ ඔවුන් විසින් කරනු ලැබූ ඇතැම් හාස්‍ය ජනක ප්‍රකාශ මුල්කොට සමාජ ජාලා ආදී මාධ්‍යයන් ඔස්සේ විවෘත සංවාදයක් ඇරඹී තිබේ.

නක්ෂත්‍රය හෝ වෙනයම් කිසිදු ගුප්ත ශාස්ත්‍රයක් මගින් පුද්ගල බද්ධ, සමාජ බද්ධ හෝ පාරිසරික වශයෙන් අනාවැකි කීමට නොපුළුවන. යමකුට එසේ අනාගතයේ සිදුවන යමක් ගැන පැවැසිය හැකි නම් ඒ එම තැනැත්තාගේ විමංසන බුද්ධිය හා ප්‍රඥාව පදනම් කොට ගත් භව්‍යතා රීතිය නම් සිද්ධාන්තය මත පමණි. ආතර් සී ක්ලාක් එම පදනමේ සිට අනාවැකි පළකළ විද්වතෙකි. එහෙත් එම අනාවැකි සඵල වීම සම්බන්ධයෙන් ඇත්තේ ද යම් සම්භාවිතාවක් පමණි.

ඒ කෙසේ හෝ දැනට දශක කිහිපයක සිට නක්ෂත්‍රය ඇතුළු ගුප්ත ශාස්ත්‍ර කිහිපයක් මුල් කොට ජනමාධ්‍ය මගින් දෙනු ලැබූ අතිප්‍රාමාණික ප්‍රසිද්ධිය නිසා නක්ෂත්‍ර අනාවැකි පිළිගැනීම වත්මන් සමාජයේ ජනප්‍රිය සංස්කෘතිකාංගයක් බවට පත්ව තිබේ.

රට කරවන පාලක කාරකාදීන් පවා මෙවන් ගු-ප්ත විශ්වාස කෙරෙහි නැඹුරුවීම මෙම සංස්කෘතිකාංගය ජනතාව අතරේ වඩාත් ප්‍රචලිතවීමට හේතු වී තිබේ. එනිසාම අද වන විට මාධ්‍ය මගින් නක්ෂත්‍රය ඇතුළු ගුප්ත ශාස්ත්‍ර වෙනුවෙන් පෙනී සිටින ‘සුපිරි තරු’ පැලැන්තියක් ද බිහි වී හිඳින අතර ඔවුන් කවුරුන් ද යන්න ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැත.

අතීතයේ ජ්‍යොතිර්වේදීන් වශයෙන් පෙනී සිටි පුද්ගලයන් තමන් විසින් ඉදිරිපත් කරනු ලැබූ නක්ෂත්‍ර මතය සමඟ ඒ හා සම්බන්ධ ග්‍රහ පිහිටීම් හෙවත් ජ්‍යොතිෂ්‍යමය පදනම ද ජනතාවට ඉදිරිපත් කළහ. ජ්‍යොතිෂ්‍යය යනු ප්‍රායෝගිකත්වයකින් තොර දුරාතීතයේ සිට පැවැත එන මතවාද සම්ප්‍රදායන් කිහිපයක් වුවද ඔවුන් ඉදිරිපත් කළ අනාවැකි තුළ එම මතවාද පිළිබඳ සිද්ධාන්තයන් ගැබ්ව තිබිණි. 

එහෙත් වර්තමානයේ ජනමාධ්‍ය මගින් මහජනයා හමුවේ පෙනී සිටින ජ්‍යොතීර්වේදී ‘සුපිරි තරු’ තුළ එවැනි සිද්ධාන්තමය දැනුමක් නොමැති වීම මත ඔවුන් මාධ්‍ය හමුවේ ඉදිරිපත් කරන අදහස් ‘පච ගස් යට දේශනා’ මට්ටමින් ඉහළට නොයන බව පැහැදිලි කරුණකි. නමුදු තමන්ගේ මුහුණු, අත්වලින් විවිධ අභිනය පාමින් සහ එම අනාවැකි සියයට සියයක්ම සත්‍ය වන බව පවසමින් රූපවාහිනී ඇතුළු විද්්‍යුත් මාධ්‍ය මගින් මොවුන් විසින් කරනු ලබන විවිධ ආටක නාටක කෙරෙහි ජීවිතයේ දහසකුත් ප්‍රශ්න, ගැටළු, කම්කටොළුවලින් පීඩා විඳින්නවුන්ගේ අවධානය වැඩි වැඩියෙන් යොමු වනු ලදුව මෙම ක්ෂේත්‍රය තුළින් මතු වූ ජාවාරම්කාර ස්වරූපය  මඳින් මඳ වර්ධනය වී ඇති බව පෙනේ.

එම වැඩසටහන්වලට එක්වන ජ්‍යොතීර්වේදියා වෙත නරඹන්නන් විසින් ඉදිරිපත් වන ගැටළු, අර්බුද සහිත ‘ලිපි කඳු’ එම මැදිරි තුළ ප්‍රදර්ශනය කරවීම, ඔවුන් මින් පෙර පවසන ලද අනාවැකි සියයට සියයක්ම සත්‍ය වූ බව පවසමින් නරඹන්නන් ලෙසින් මැදිරියට සජීවී දුරකථන ඇමතුම් ලබා දීම මෙලෙස මෙම පුද්ගලයන් සහ රූපවාහිනී ආයතන එක්ව සිදුකරනු ලබන ‘මවා පෑම්’ අතරින් මුල් තැනක් ගනී.

මේ මගින් මෙවන් පුද්ගලයන් කෙරෙහි ජීවිතයේ නොයෙක් ගැටළු, අර්බුද, කම්කටොළු සහිත එහෙත් විචාර බුද්ධියෙන් තොර අසරණුන්ගේ අවධානය ශීඝ්‍රයෙන් වැඩිවීම මත මෙම කපටි කයිරාටිකයන්ගේ මඩි තරවීම ස්වභාවිකව සිදුවන ලද්දකි. ඔවුන්ගේ එම සටකපට ජාවාරම මේ වන විට කොතෙක් ප්‍රවර්ධනය වී තිබේද යත් අද වන විට එවන් රූපවාහිනී වැඩසටහනකට පෙනී සිටීම වෙනුවෙන් එම ආයතනවලට රුපියල් ලක්ෂ ගණනින් මුදල් ගෙවන එම ජාවාරම්කරුවන් පිළිබඳව පවා තොරතුරු අප වෙත ලැබී තිබේ. එසේ ජ්‍යොතීර්වේදියකු හෝ වෙනයම් ගුප්ත ශාස්ත්‍රඥයකු වශයෙන් රූපවාහිනී වැනි වැඩසටහනකට එක්වන එම කපටි කයිරාටිකයන් ‘මුරුංගා අත්තේ තබමින්’ ඔවුන්ගේ කපටි ජාවාරම් ප්‍රවර්ධනය වන ලෙස එම වැඩසටහන මෙහෙයවීම, ඒවාට සම්බන්ධ වන අඳබාල ළාමක ජනමාධ්‍යවේදීන්ගේ වගකීමක් වී තිබේ.

එමෙන්ම එම වැඩසටහන් තුළින් එම පුද්ගලයන් ලබන ප්‍රචාරක වාසි ඔස්සේ ඔවුන් නිතිපතා සපයන රුපියල් මිලියන ගණනක මුදල් සම්භාරයෙන් කොටසක් ඩැහැගැනීමට ජනතාව සතු විද්්‍යුත් සංඛ්‍යාත අවිචාරවත්ව පරිහරණය කරන මාධ්‍ය ආයතන පෙළඹී හිඳින බව ද නොරහසකි. ඊට අමතරව යම් යම් දේශපාලනික මතවාදයන් පතුරවන ඇතැම් ජනමාධ්‍ය ආයතන මැතිවරණ කාලවලදී තමන්ට අවශ්‍ය පරිදි ජ්‍යොතිෂ අනාවැකි ‘මවාපෑම’ සඳහා ද මෙවැනි ඊනියා ‘සුපිරි තරු’ යෙදාගැනීම ප්‍රසිද්ධ රහසක්ව තිබේ. තමන්ට එම විද්්‍යුත් මාධ්‍ය වලින් පෙනී සිටීමට ලැබෙන ඉඩ ප්‍රස්ථාව සලකා එවැනි දේශපාලනික කඬේයෑම් සිදුකළ වංචනිකයන්ගේ නිරුවත වත්මන් සමාජය හමුවේ එළිදැක්වෙමින් තිබේ.

මෙවන් පසුබිමක් යටතේ වර්තමානයේ පවත්නා වසංගත තත්වය වැනි ජාතික ආපදාවක දී ජන විඥානයේ ඇති වන අසරණ බව හා අවිනිශ්චිත බව මුල් කොට මෙලෙස විචාර බුද්ධියෙන් තොර අසරණනුන් මුලා කොට ඔවුන්ගේ කණ කර, ඉන, ඉහ, හැඳි, වත, ගේ දොර, ඉඩකඩම් ආදී මෙකී නොකී සියල්ල ඉතා නින්දිත ලෙස ගසා කන්නවුන්ගේ මෙම අධම ක්‍රියාවන්ට එරෙහි විචාරවත් පොදු ජනමතයක් හා ක්‍රියාකාරිත්වයක් ගොඩනැංවීමේ කාලය  මේ වන විට ශීඝ්‍රයෙන් පසු වෙමින් පවතී.

තාරක වරාපිටිය,

ලේකම් / කැඳවුම්කරු

ශ්‍රී ලංකා හේතුවාදී සංගමය

t

o

p