ගම්පහින් මතුවන්නට ගිය ‘කොරෝනාවක්’ නූලෙන් මඟ හැරුණු හැටි

April 19, 2020

මේ වන විට ලෝක වසංගත තත්වයකට පත්ව ඇති කොරෝනා වෛරස් රෝගය මුලින්ම ඉස්මතු වන ලද්දේ චීනයේ වෝහාන් ප්‍රදේශයෙනි. ඊට හේතුව එහි වැසියන් සර්ප මස් සහ වවුල් මස් ආහාරයට ගැනීම බව ලොව පුරා ප්‍රචලිත විය.

අද දක්වා ඒ මතය විද්‍යාත්මකව තහවුරු වී නැතත් එය මුළුමනින් ප්‍රතික්ෂේප වී ද නැත. මෙවන් තත්වයක් යටතේ අප රට තුළින් ද එවැනි බිහිසුණු වෛරස් හෝ බැක්ටීරියා රෝග ඉස්මතු වීමේ අවදානමක් නූලෙන් මඟහැරී ගිය අවස්ථාවක් පිළිබඳ අත්දැකීමක් මා සතුව ද තිබේ.

එවක සාමාන්‍ය අත්දැකීමක් ව පැවැති එය අද වන විට සියොළඟ කිළිපොලන බිහිසුණු මතකයක් බවට පත්ව ඇත්තේ වත්මන් කොරෝනා වෛරස් රෝග වසංගතයේ ව්‍යාප්තිය පිළිබඳව අසන්නට ලැබෙන විටය.

පසුගිය යහපාලන රජය මගින් වගා හානිකරන සතුන් වනසා දැමීම පිණිස ගොවීන්ට සහන මිලට වායු තුවක්කු ලබා දීමත් සමඟ අප රටේ වෙසෙන වන ජීවීන්ට ද අතිශය නපුරු කලදසාවක් එළැඹුණි. එමෙන්ම 2018 වසරේ සැප්තැම්බර් මාසයේ දී පමණ වල් ඌරු මස් ප්‍රවාහනය පිළිබඳ එතෙක් පැවැති තහනම ඉවත් කරන බවට එවක රජයේ ප්‍රධානියකු විසින් මාධ්‍ය මගින් කරන ලද ප්‍රකාශයට අනුව රට පුරා වල් ඌරු දඩයම සහ ප්‍රවාහනය ශීඝ්‍රයෙන් ඉහළ නැංවිණි. වන සත්ව හා වෘක්ෂලතා ආඥාපනතට අනුව වල් ඌරා ආරක්ෂිත සත්වයෙක් නොවේ. එහෙත්, ජාතික වනෝද්‍යාන, අභය භූමි ආදී වන රක්ෂිතයන් තුළ දී එවැනි සතකු වුවද මැරීම සපුරා නීති විරෝධීය. මෙවන් පසුබිමක් තුළ ශ්‍රීපාද වන්දනාකරුවන් නිසා ශ්‍රීපාදස්ථානය ආශ්‍රිත ජනාවාස වෙත සංක්‍රමණය වී සිටින වල් ඌරු පවුල් පිටින්ම ඒ සමයේ ඝාතනය වූ අතර උන්ගේ මස් හැටන්, මස්කෙළිය, ගිනිගත්හේන ආදී තදාසන්න නගරවල ප්‍රසිද්ධියේම විකුණන ලදී.

මෙවන් පසුබිමක් යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ නැගෙනහිර මායිමට සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ බටහිර මායිමට ආසන්නව පිහිටි අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ප්‍රදේශ කිහිපයක ද මෙම වල් ඌරු දඩයම ජයටම සිදුවන බවට තොරතුරු වරින් වර අප වෙත වාර්තා විය. එබැවින් ඒ පිළිබඳව නිරීක්ෂණය කරනු පිණිස මම පශූ වෛද්‍ය ඉසුරු අංජුල පෙරේරා ඇතුළු අහිංසා ශ්‍රී ලංකා සත්ව හිමිකම් සහ සුබසාධන සංවිධාන නියෝජිතයන් කිහිප දෙනෙකු ද සමඟ 2018 සැප්තැම්බර් මාසයේ එම ප්‍රදේශයේ සංචාරය කළෙමි.

ගම්පහ දිස්ත්‍රක්කයේ උස්ම භූමි භාගය ලෙස සැලකෙන උස් බිම් කලාපයකින් යුතු එම ප්‍රදේශය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය වන රක්ෂිතයක් ද සහිත අත්තනගලු ඔයේ ජල මූලාශ්‍ර සහිත වනගහනයකි. බස්නාගොඩ ඔය නම් අත්තනගලු ඔයේ ශාඛාවක් ද මෙම ප්‍රදේශයෙන් ගලා බසියි.

ඒ අනුව දේශපාලනඥයන් ගේ අවිචාරවත් කතා සහ ක්‍රියා හේතුවෙන් හිස ඔසවා ඇති මෙම සත්ව සංහාරය පිළිබඳ තතු විමසීම පිණිස අපි ඇතාඋඩකන්ද, අලවල, කරස්නාගල, හෑපනාකන්ද, දික්ගල්කන්ද, වරකාමඩහේන සහ නඩුහේන යන ප්‍රදේශවල සංචාරය කරමින් එහි ගැමියන් ගෙන් ඒ සම්බන්ධ තොරතුරු විචාළෙමු.

“දැනුත් මේ පැත්තේ වල් ඌරු දඩයම නම් වෙනවා තමයි. හැබැයි පහුගිය කාලෙ නම් මේ පැත්තේ සමහරු ඌරෝ මරන්නේ නැතුවම මස් විකුණලා හොඳ ගාණක් හොයා ගත්තා”. එහි දී අපට හමු වූ ගැමියෝ එසේ කීහ. එබැවින් අපි ඔවුන්ට තව දුරටත් සවන් දුන්නෙමු.

“මේ කැළෑවල්වල හරියට වල් ඌරෝ බෝ වෙලා හිටියා. ගම්මුන්ගේ වගාවලට මේ සත්තුන් ගෙන් වෙන හානි ගැන අත්තනගල්ල ප්‍රාදේශීය සම්බන්ධීකරණ රැස්වීම්වලදී පවා නිතර දෙවේලේ කතා වුණා. ඒත් ඔය අතරේ හිටපු ගමන් මේ කෑළෑවල ඉන්න ඌරෝ දිගට හරහට මැරෙන්න පටන් ගත්තා. මුල දී අපි හිතුවේ මිනිස්සු උන්ට වහදීලා කියලා. ඒත් පස්සේ බලනකොටයි දන්නේ මේක වෙන්නේ උන්ට හැදෙන රෝගයකින් කියලා. කොහොම හරි මේ ලෙඬේ හැදුණු මුල්ම කාලේ කැලේ තැන් තැන්වල මැරෙන ඌරෝ ඉබේම කුණුවෙලා ගියා. ඒත් පහුවෙන කොට මේ විදිහට ඌරෝ මැරෙන බව දැනගත්තු සමහරු කැලේ පුරාම ඇවිදලා ඒ ඌරු මළකුණු ගම්වලට ගෙනාවා මස් කරන්න. ඒත් මේ ගම්වල කිසිම කෙනෙක් ඒ ඌරු මස් කටහරියේ තිබ්බේ නැහැ. ඊට පස්සේ ඒ මිනිස්සු මොකද කරන්නේ ඔය බට්ටෝ ලොරිවල පටවලා ඒ ඌරු මළකුණු ඔය වරකාපොළ, නිට්ටඹුව, යක්කල වගේ නුවර පාරේ අයිනේ තියන බයිට් කඩවලට යැව්වා”.

මේ ප්‍රදේශවල වැසියන් එසේ පවසත්ම අපේ කණ්ඩායමේ සිටි පශු වෛද්‍යවරයා තම හිසෙහි අත ගසා ගත් අයුරු මට තවමත් හොඳින් මතකය. එහෙත් එහි එතරම්ම බැරෑරුම්කමක් මට එවර නොවැටහිණි.

“කොහොම හරි පහුවෙනකොට නම් බිස්නස් එක නැගලම යන්න පටන් ගත්තා. පස්සේ ඔය පැත්තේ සමහරු ලොරි අරගෙන ඌරු මළකුණු හොයන්න ඒමත් එක්ක මේ පළාත්වල සමහරු කැලේ පණ අදින ඌරෝ පවා ඒ ලොරිවලට පැටෙව්වා. ඒ ඌරෙක් රුපියල් දෙතුන් දාහේ ඉඳලා පන් – හය දාහ දක්වා විකිනුණා. මේ පැත්තේ සමහරු ඒකට කිව්වේ ‘ගෙඩිය පිටින්’ දෙනවා කියලා. කොහොම හරි ඔය කාලේ වල් ඌරු මළකුණු සිය ගාණක්, ඒ කියන්නේ මැරිච්ච ඌරන්ගේ මස් කිලෝ දාස් ගාණක් නුවර පාර අයිනේ හෝටල් බත් කඩවල විකිණෙන්න ඇති. සමහර විට ඒවා පිටපළාත්වලටත් යන්න ඇති”. එවර අපට හමු වූ ගැමියෝ එසේ කීහ.

“ඔය සත්තු ඔය විදිහට මැරෙන්න ඇත්තේ ඒකාන්තයෙන්ම මොකක් හරි වෛරස් හරි බැක්ටීරියා හරි වසංගතයට ලක්වෙලා. නමුත් ඒ වෛරසය හා බැක්ටීරියාව මොකක්ද කියලා කවුරුවත් අඳුනාගෙන නැහැ. ඒ වගේ තත්වයක් යටතේ ඒ සතෙකු ගේ මස් ඇල්ලීම, කැපීම, ශරීරයේ ස්පර්ශ කර ගැනීම වගේම ආහාරයට ගැනීමත් අතිශයින්ම අවදානම්”. ඒ සංචාරය නිමවා ආපසු එන අතරේ පශු වෛද්‍යවරයා කීය.

එමෙන්ම සාමාන්‍යයෙන් බැක්ටීරියා සහ වෛරස් අධික උෂ්ණත්වය තුළදී විනාශ වන බවට ඇති පොදු සම්මතය සියයට සියයක් නිවැරදි නොවන බවත් ඇතැම් විටක පිසීමේදී පවා මස් කැබලි තුළ ජීවත්වන බැක්ටීරියා සහ වෛරස් මිනිස් ආහාරයට ඇතුළු වීමෙන් ඔවුන් මාරාන්තික රෝගවලට පවා ලක්විය හැකි බවක් ඔහු වැඩිදුරටත් පැහැදිලි කළ අයුරු මට හොඳින් මතකය. එහෙත් එවිට මා ඒ මොහොතේ පවා සිතන ලද්දේ එය ඔහු සතු පශු වෛද්‍ය විද්‍යා දැනුම පදනම් කොට පවසනු ලබන ප්‍රායෝගිකත්වයෙන් තොර හුදු විද්‍යාත්මක ප්‍රකාශයක් ලෙසිනි.

මිනිසුන් මස් ආහාරයට ගනු ලබන සෑම සත්ව මාංශයක් කෙරෙහිම අප රටේ සෞඛ්‍ය බලධාරීන්ගේ පූර්ණ අවධානය ලක්වෙයි. අඩුම තරමින් රෝගී වූ කුකුළකු පවා මසට අලෙවි කිරීම සපුරා නීති විරෝධී වූවකි. එහෙත් වෙළඳ පලේ ඇති විවිධ සත්ව මාංශ සම්බන්ධ මේ පොදු සෞඛ්‍ය ආරක්ෂණය අප දඩ මස් නමින් හඳුන්වන වනජිවීන් ගේ මාංශ සම්බන්ධයෙන් හිමි නොවේ.

වන සත්ව සහ වෘක්ෂලතා පනත අනුව ආරක්ෂිත සත්වයකු නොවන වල් ඌරන් වැනි සතුන්ගේ මරණ සම්බන්ධයෙන් මරණ පරීක්ෂණ පැවැත්වීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට උවමනාවක් නැත. මෙන්ම මාංශ පිණිස ගනු ලබන සතුන් සම්බන්ධ රාජ්‍ය අංශයේ වගකීම් දරන සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ද මේ වල් ඌරන් ආදී සතුන්ට වැළදෙන වෛරස්, බැක්ටීරියා ආදී රෝග පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට උවමනාවක් ඇත්තේම නැත. මෙවන් තත්වයක් යටතේ සිදුවනුයේ හුදෙක් කෑදරකම උදෙසා කිහිප දෙනකු විසින් සිදුකරනු ලබන මෙවන් අවිචාරවත් මාංශ භාවිතය ඇතැම් විට මුළු ලෝකයම වැනසෙන බිහිසුණු අවදානමකට මුල්වීමය.

“ඕක පරණ කථාවක් නේ. ඇයි ඕක හදිසියෙම ලියන්න හිතුවේ”. මීට දින කිහිපයකට පෙර මා මුහුණ දුන් මෙම පැරණි අත්දැකීම සම්බන්ධ මතකය යළි පුබුදුවා ගැනීම සඳහා පශූ වෛද්‍ය ඉසුරු අංජුල පෙරේරාට දුරකථනයෙන් කතා කළ පසු ඔහු ඇසීය.

“මං යක්ෂයා ගැන එදා අහල දැන ගත්තා නම් තමයි. ඒත් ඒ යක්ෂයා පේන්න පටන් අරන් තියෙන්නේ දැනුයිනේ”. මම පිළිතුරු දුනිමි.

තිලක් සේනාසිංහ

t

o

p