ග්ලෝබල් පෝර්ට් ෆෝරම් සම්මාන ද්විත්වය ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට

March 3, 2020

ග්ලෝබල් පෝර්ට් ෆෝරම් විසින් පවත්වන ලද සම්මාන උළෙලේ දී “වසරේ වරාය අධිකාරිය සම්මානය” සහ “වරාය යටිතල පහසුකම් සංවර්ධනය” සඳහා වන සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමත් විය.

අඛණ්ඩව තෙවැනි වරටත් ඩුබායි හි හයාට් රීජන්සි හෝටල් පරිශ්‍රයේ පැවති මෙම සම්මාන උළේලේදී ශ්‍රී ලංකා වරාය අධිකාරිය නියෝජනය කරමින් අධ්‍යක්‍ෂ (සේවා සැපයුම්) උපුල් ජයතිස්ස මහතා සහ අධ්‍යක්‍ෂ (මෙහෙයුම්) ජයන්ත පෙරේරා මහතා විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු හා ජාත්‍යන්තර සහයෝගිතා සහකාර අමාත්‍ය මොහෝමඞ් ෂරාෆ් සහ ඩුබායි වරාය සමූහයේ හිටපු ප්‍රධාන විධායක නිළධාරී සහ ගෝලීය වරාය සංසදයේ සභාපති තෝමස් එන්ග් මැතිතුමාගේ සුරතින් මෙම සම්මානය ලබා ගන්නා ලදි.


මෙවර සම්මාන උළෙලේ දී ප්‍රශස්ත දායකත්වය හා වෘත්තීයමය ස්වභාවයෙන් යුතුව කටයුතු කරනා වෙසෙස් ප්‍රදේශයන් හි වරාය සහ පර්යන්ත පිළිබඳ සහ ඒවායේ සාර්ථකත්වය ලඟා කර ගැනීම පිළිබඳ අවධානය හා ඇගැයුමට ලක් කරමින් ක්‍ෂේත්‍ර ගණනාවක් යටතේ මෙම සම්මාන පිරිනැමීම සිදු කෙරිණි.
“වසරේ වරාය අධිකාරිය” සම්මානය ට ශ්‍රී ලංකා වරාය අධිකාරිය පසුගිය 2018, 2019 වර්ෂවල ද සම්මානයට පාත්‍රවීම සිදු වූ අතර අඛණ්ඩව 2020 වසරේදීත් එය හිමිකර ගැනීමට හැකිවීම ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු විශිෂ්ටත්වය හෙළි කිරීමකි.


ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මේසා සුවිසල් ජයග්‍රහණයෙහිලා වරාය මෙහෙයුම් ක්‍රියාවලිය සම්බන්ධ සියළුම පාර්ශවයන්ගේ දායකත්වය හා වෘත්තිය සමිති මෙන්ම සමස්ථ වරාය සේවක මහත්ම මහත්මීන් අතර පැවති සහ සම්බන්ධතාවය ඉතා ප්‍රශස්ත ලෙස වර්ධනය වී තිබීම ද මෙවන් ජයග්‍රහණයක් කරා ලඟා වීමට හේතු වී තිබේ.


වරාය හා නාවික අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමි වූ මෙම ජයග්‍රහන පිළිබඳ සිය සුබ පැතුම් එක් කරමින්, වරායේ කඩිනම් සංවර්ධනයක් කරා පිය නැගීමට කටයුතු කරන බවත්, වරාය සම්බන්ධ තීන්දු තීරණ ගැනීමේදී වරායට, එහි සේවක මහත්ම මහත්මීන්ට, සමස්ථ රටට ඉතාමත් ඵලදායි වූ තීරණ මත හිඳ කටයුතු කිරීමට පියවර ගන්නා බැව් පැවසීය.

2008 වසරේදී සිංගප්පූරුවේ ගෝලීය වරාය නගරයේ දී ගනු ලැබූ ව්‍යවසායකත්ව තීරණ මත අරඹි ගෝලීය වරාය සංසදය, සිය වරාය පරිසර පද්ධතියේ සාමාජික වරායන් අතර සහයෝගීතාවයෙන් යුතුව ගෝලීය වශයෙන් වරාය අවශ්‍යතා හඳුනා ගනිමින් කටයුතු කිරීමටත්, වරාය සම්බන්ධ විවිධ ක්‍ෂේත්‍රයන්ගේ වෘත්තිකයන් විසින් සිදුකරන ලද වටිනාකම් හා දායක්තවය අගය කිරීම ග්ලෝබල් පෝර්ට් පෝරම් අඛණ්ඩව සිදු කරනු ලබයි.

වරාය හා සමුද්‍රීය ක්‍ෂේත්‍රයේ විශිෂ්ඨයින් ඇගයීම විධිමත් වූත් වෘත්තීයමය වූත් ක්‍රමවේදයක් ඔස්සේ වරාය හා සමුද්‍රිය ක්‍ෂේත්‍රයේ ප්‍රවීණතමයින්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින් තෝරා ගනු ලබයි.


බහලු මෙහෙයුම් වර්ධනය සඳහා වන ශ්‍රේණිගත කිරීමේදී 2018 වර්ෂයේදී ලොව හොඳම බහලු මෙහෙයුම් වරායන් 30 අතර පළමු ස්ථානයට පත්වීමට කොළඹ වරායට හැකිවිය. මෙය කොළඹ වරාය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් වූයේ යුරෝපියානු වරායයන්, ඩුබායි හා ආසියානු වරායයන් ද අතරින් මෙම විශිෂ්ටත්වයට පත්වීමට හැකිවීම තුළිනි.

එමෙන්ම ෘරුඅරහ වරාය සම්බන්ධතා දර්ශකය 2019 වර්ෂයේදී කොළඹ වරාය ලොව හොඳම සම්බන්ධිත වරායන් අතර 13 වන ස්ථානයට පත්විය. එය ද සුවිශේෂී ජයග්‍රහනයක් වන්නේ එතුළින් කොළඹ වරාය ආසියාවේ විශිෂ්ටතම සම්බන්ධිත වරාය ලෙස පළමු ස්ථානයට පත්වීමෙනි.


කොළඹ වරායේ ප්‍රධාන බහලු පර්යන්තයන් වන සමග සිදු කරන ලද කොළඹ වරාය ප්‍රවර්ධනය කිරීමේ අවබෝධතා ගිවිසුම යටතේ පර්යන්ත ත්‍රිත්වය සාමූහිකව කටයුතු කරනු ලබන අතර කාර්යක්‍ෂමතාවය වර්ධනය කරගැනීම මගින් සියලු ජාත්‍යන්තර බහලු මෙහෙයුම් සේවාවන් වෙත ඵලදායි සේවාවන් ලබාදීම සිදු කෙරේ.

වරාය හා නාවික අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ මග පෙන්වීම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරල් දයා රත්නායක මහතාගේ නායකත්වය යටතේ වරාය අධිකාරියේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කර තිබේ. වරායේ බහලු මෙහෙයුම් ධාරිතාවය තව දුරටත් ඉහළ නංවමින් ශ්‍රී ලංකාව ආසියාවේ සමුද්‍රීය මධ්‍යස්ථානය ලෙසින් ගොඩනැංවීමට ඉලක්ක කර තිබේ.

t

o

p