ආගමික ශබ්ද දූෂණය වලකන්න ආයාචනයක්

February 21, 2020

මෑතක සිට අප රටේ ඇතැම් පූජනීය ස්ථානවල සිදුකෙරෙන අධික ඝෝෂාකාරී ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය බාහිර සමාජයට සේම හාත්පස පාරිසරික පද්ධතියට ද අහිතකර ලෙස බලපාන බව සනාථ වී ඇති බැවින් එම ස්ථානවල ශබ්ද වාහිනී යන්ත්‍ර භාවිතය ඒවායේ ආගමික කටයුතුවල යෙදෙන්නවුන් උදෙසා පමණක් යොදා ගනිමින් එමගින් බාහිර සමාජයට සහ පරිසර පද්ධතීන්ට එල්ල විය හැකි බලපෑම් අවම කිරීමට පියවර ගන්නා ලෙස ‘අහිංසා ශ්‍රී ලංකා’ සත්ව හිමිකම් සහ සුබසාධක සංවිධානය සියළු ආගම්වල පූජ්‍ය-පූජක පක්ෂයෙන් විවෘත ආයාචනයක් කොට තිබේ.

එමගින් එම සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙනුයේ තම ආගමික කටයුතු කවරකු හට හෝ පීඩාකාරී සහ අයහපත් බලපෑම් ඇති වන අයුරින් සිදුකිරීමට කිසිදු ශාස්තෘවරයකු උපදෙස් දී නොමැති අතර ආගමික කටයුතු සඳහා ශබ්ද වාහිනී යන්ත්‍ර යොදා ගැනීම පිළිබඳව කිසිදු ආගමික ඉගැන්වීමක සඳහන් නොවන බව ය.

එම සංවිධානය මගින් නිකුත් කරන ලද පොදු ආයාචනය මෙලෙසිනි.

පැවිදි උතුමනි,

ඔබ තුමන් භාරකාරත්වය දරන පූජනීය ස්ථානයෙන් ප්‍රදේශයටත් පොදු සමාජයටත් සිදුවන ආගමික, සංස්කෘතික මෙහෙවරත්, ආධ්‍යාත්මික සහ සදාචාර සංවර්ධනයත් අපි බෙහෙවින්ම අගය කරමු.

නමුදු මෑතක සිට අප රටේ ඇතැම් පූජනීය ස්ථාන සහ ඒවායේ භාරකාරත්වය යටතේ පාලනය වන ස්ථානවල අධික ශබ්දයෙන් යුතු ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම සම්බන්ධයෙන් පොදු සමාජ කතිකාවක් ද ඇති වී තිබේ.

කවර හෝ පූජනීය ස්ථානයක ආගමික කටයුතු සම්බන්ධයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් ඇති නොවන නමුදු එම ශබ්දය අවට ජනතාව අපහසුවට පත්කරවන සහ හාත්පස පරිසරයට හානිකර අයුරින් විසුරුවා හැරීම පිළිබඳව අපගේ අවධානය යොමු වී තිබේ.

මෙහිදී මූලික වශයෙන් අදාළ ආගම් නොඅදහන හා ඒ ආගම් පිළිබඳ දැනීමක් නොමැත්තවුන්ට එය හුදෙක් පීඩාකාරී අත්දැකීමක් වන සේම පෞද්ගලික මට්ටමෙන් එම ආගම අදහන්නවුන් කෙරෙහි ද එය අනවශ්‍ය බලෑපමකි.

එමෙන්ම දවසේ තම ගෘහමය, අධ්‍යාපනික සහ වෘත්තීමය කටයුතුවල යෙදෙන්නවුන් හට එකී ස්ථාන පුරා පැතිර යන මෙවන් ශබ්ද නිසා ඉමහත් බාධා පැමිණෙන බව අමුතුවෙන් කිවයුතු නැත. විශේෂයෙන් දිවා රෑ නොතකා තම අධ්‍යාපන කටයුතුවල යෙදෙන දූ දරුවන්, කායික-මානසික විවේකයෙන් පසුවිය යුතු රෝගී සහ වියපත් පුද්ගලයන් කෙරෙහි ද මෙවන් ආගන්තුක ශබ්ද අහිතකර ලෙස බලපාන බව පැහැදිලි කරුණකි.

නමුත් මේ සම්බන්ධයෙන් විශේෂයෙන් කිවයුතු පරිදි තම ආගමික කටයුතු කවරෙකු හට හෝ පීඩාකාරී සහ අයපහත් බලපෑම් සිදුවන අයුරින් සිදුකරන ලෙස කිසිදු ශාස්තෘවරයකු විසින් දේශනා කොට නොමැති බව ද ඔබතුමන් හොඳාකාරව දනිතැයි අපි විශ්වාස කරමු. එමෙන්ම නූතන තාක්ෂණ මෙවලමක් වන ශබ්දවාහිනී භාවිතය කිසිදු ආගමක මූලික ඉගැන්වීම්වල නොමැති බව ද අමුතුවෙන් කිව යුතු නොවේ.

තව ද අප ජීවත් වන නිවර්තන දේශගුණික කලාප ආශ්‍රිත පරිසර පද්ධතිය තුළ අළුයම් සහ සන්ධ්‍යා කාලවලදී අපගේ ඉන්ද්‍රියනට නතු නොවී සිදුවන අති ප්‍රබල ස්වාභාවික ජෛවමය සංසිද්ධීන් දාමයක් පිළිබඳව ලොව නවතම විෂය පථයක් වන පාරිසරික ජීව විද්‍යාව ඔස්සේ ශීඝ්‍රයෙන් කරුණු අනාවරණය වෙමින් තිබේ.

එමෙන්ම විද්්‍යුත් ශබ්ද දූෂණය ආදී කරුණු ඔස්සේ එම සංසිද්ධීන්ට බාධා පැමිණීම පාරිසරික යහපැවැත්ම කෙරෙහිද අයහපත් ලෙස බලපාන බව මේ වන විට විද්‍යාත්මකව තහවුරු වී තිබේ. ඒ අනුව හුදෙක් පොදු සමාජමය යහපැවැත්ම සහ ඉහත සඳහන් පාරිසරික සිද්ධාන්ත පදනම් කරගනිමින් ලොව බොහෝ දියුණු රටවල ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය සම්බන්ධයෙන් දැඩි නීති රීති පනවා තිබේ.

මෙවන් පසුබිමක් යටතේ ඔබතුමන්ගේ භාරකාරත්වයෙන් යුතු පූජනීය ස්ථානයේ සහ එමගින් පාලනය වන සෙසු ස්ථානවල ශබ්දවාහිනී විකාශනය එම ස්ථානවලට සහ එම ආගමික කටයුතුවල යෙදෙන්නවුන් උදෙසා පමණක් යොදා ගනිමින් බාහිර සමාජයටත් පරිසරයටත් ඉන් සිදුවිය හැකි පීඩාවන් සහ හානි අවම කිරීමට ගතහැකි විධිමත් පියවර ගන්නා ලෙසට ඉතාමත් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමු.

t

o

p