ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු ආයතන 03 ක් කෝප් කමිටුවට කැඳවීමේ සූදානමක්

February 9, 2020

පාර්ලිමේන්තුව නැවත රැස්වීමට නියමිත ලබන පෙබරවාරි 18,19,20 යන දින වලදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය, ජාතික ලොතරැයි මණ්ඩලය සහ ශ්‍රී ලංකා ක්‍රකට් ආයතනය කොප් කමිටුවට කැඳවීමට කමිටුව සාකච්ඡා කළ බව එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.

එයට අමතරව මහබැංකු බැඳුම්කර සිදුවීමට අදාලව නිකුත්වී ඇති වෝහාරික විගණන වාර්තාව සහ ශ්‍රී ලංකන් ගුවන්සමාගමේ එයාබස් මිලදී ගැනීමේ ගණුදෙනුවට අදාලව විදේශ රටකදී දෙන ලද නඩු තීන්දුව හා සම්බන්ධව ඉදිරියේදී කෝප් කමිටුව තුළ සාකච්ඡා කිරීමට බලාපෙරොත්තු වන බවද සභාපතිවරයා පැවසීය.

විශේෂයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එයාබස් මිලදී ගැනීම සහ එයාබස් මිලදී ගැනීමේ  ගණුදෙනු අවසන් කිරීමේ ගිවිසුම් පිළිබඳ කෝප් කමිටුව විසින් සකසන ලද වාර්තා දෙකක් මීට පෙර පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කර තිබේ.

මහබැංකු බැඳුම්කර සිදුවීමට අදාලව කෝප් කමිටුව විසින් අනාවරණය කර ගත් කරුණු ඊට අදාල ජනාධිපති කොමිස‍මේ වාර්තාවෙන් සහ වෝහාරික විගණන වාර්තාවේ කරුණු වලින් සනාථ වන බව සිය මතය බවද සභාපතිවරයා තව දුරටත් ප්‍රකාශ කර සිටියේය.

පසුගිය කාලය තුළ කෝප් කමිටුවේ කටයුතු වලට මාධ්‍ය දැක්වූ සහයෝගයට සිය ස්තූතිය පල කළ සභාපතිවරයා ඉදිරියටත් එම සහයෝගය අපේක්ෂා කරන බවද සඳහන් කළේය.

කෝප් කමිටුවේ සමාජිකයන්ගේ එකඟත්වය මත පසුගිය කාලවකවානුව තුළ අනුගමනය කළ සම්ප්‍රදායක් වන කොප් කමිටුවේ සාමාජිකයෙක් වන අමාත්‍යවරයෙකුට අදාල ආයතනයක් ‍කමිටුව ඉදිරියට කැඳවීමේදී අදාල විෂය භාර අමාත්‍යවරයා එම කමිටු සැසිවාරයට සම්බන්ධ නොවිමේ සම්ප්‍රදාය ඉදිරියටත් රැක ගැනීම බලාපොරොත්තු වන බවද ඒ මහතා සඳහන් කලේය.

කෝප් කමිටු රැස්වීම සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රිදර්ශන යාපා, යන මහත්වරුන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජේදාස රාජපක්ෂ, ඩී.වී.චානක, රන්ජන් රාමනායක, අජිත් පී.පෙරේරා, අශෝක් අබේසිංහ, හර්ෂ ද සිල්වා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ශ්‍රියානි විජේවික්‍රම යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

t

o

p