හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ට හා පොලිස්පති පූජිත්ට ඇප

February 5, 2020

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකළ බවට එල්ල වූ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා හා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

ඒ තමන්ව ඇපමත මුදා හරින ලෙස ඉල්ලා හේමසිරි ප්‍රනාන්දු මහතා හා පූජිත් ජයසුන්දර මහතා විසින් ඉදිරිපත් කර තිබූ ප්‍රතිශෝධන පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා මෙලෙස ඇප නියම කරන ඇත.

අදාල පෙත්සම අද(05) මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා සහ ආදිත්‍ය පටබැදිගේ මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ සැකකරුවන් ඇප මත මුදාහැරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවයි.

ඒ අනුව සැකකාර හේමසිරි ප්‍රනාන්දු මහතා හා පූජිත් ජයසුන්දර මහතා රුපියල්  2 50,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා ඇපකරුවන් කොළඹ දිස්ත්‍රික්කය තුළ පදිංචිකරුවන් විය යුතු බවට ද දැනුම්දුන්නේය.

අධිකරණයේ අවසරයකින් තොරව සැකකරුට විදේශ ගතවීම තහනම් කළ මහාධිකරණ විනිසුරුවරයා ඔහුගේ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවටත් නියෝග කළේය.

එමෙන්ම සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් සහ සෑම මසකම අවසන් ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා හමුවේ පෙනී සිටින ලෙසටත් මහාධිකරණ විනිසුරුවරයා කොන්දේසි පනවනු ලැබුවේය.

මෙම නියෝගයේ පිටපතක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත යොමු කරන ලෙසයි මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා දැනුම්දුන්යෙ.

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැර මිනීමැරීමේ චෝදනා මත සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රානාන්දු මහතා මාස 4 කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටියේය.

t

o

p