ක්‍රිකට් ලොක්කන් කෝප් කමිටුව හමුවේ තක්කු මුක්කු වෙයි

December 4, 2019

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු නිලධාරීන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවේ ඊයේ පෙනී සිටියේය.

එහිදී ආන්දෝලනාත්මක ක්‍රිකට් ඒඩ් (Cricket Aid) වංචාව පිළිබඳ ක්‍රිකට් බලධාරීන්ගෙන් ප්‍රශ්න කෙරිණි.

නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවින් වික්‍රමරත්න, ප්‍රධාන පරිපාලන නිලධාරී අරුණ ද සිල්වා සහ විධායක කමිටු සාමාජික ලලිත් රඹුක්වැල්ල යන මහත්වරුන් ඊයේ කෝප් කමිටුව මග හැර තිබුණි.

එහිදී ක්‍රිකට් ඒඩ් ආයතනයේ සම්පූර්ණ ක්‍රියාකාරිත්වය ගැන පුළුල් විමර්ශනයක් කරන්නැයි කෝප් කමිටුව විසින් විගණකාධිපතිවරයාට නියෝග කරනු ලැබිණි.

ආයතනයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ විගණකාධිපතිගේ වාර්තාව ලැබෙන තුරු ක්‍රිකට් ඒඩ් ආයතනයේ කටයුතු නවත්වන්නැයි කෝප් කමිටුව නියෝග කළේය.

ක්‍රිකට් ඒඩ් ආයතනයේ සේවකයින්ට බඳවා ගත් දිනයේ සිට අතීතයට බලපාන පරිදි වැටුප් ගෙවා ඇති බව ද කෝප් කමිටුව හමුවේ හෙළිවිය.

එහි කළමනාකරුට රුපියල් ලක්ෂ 39ක වැටුපක් ගෙවද්දී ඔවුන් සුබ සාධනය සඳහා වියදම් කර ඇත්තේ ලක්ෂ 24ක් පමණක් වීම පුදුමසහගත හෙළිදරව්වක් බවට පත්විය.

ක්‍රිකට් ඒඩ් ආයතනය සමාගම් පනත යටතේ ලියාපදිංචි කර නොමැති බව හෙළිවූ අතර ඒ, පිළිබඳව කෝප් කමිටුවේ දැඩි අවධානයට ලක්විය.

2017දී සිංගප්රුවෙන් ලද ආධාර තොගයක් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හරහා රේගු ගාස්තුවලින් නිදහස් කරන්නැයි දැනුම් දුන්නත් ලක්ෂ 12ක් ඔවුන් රේගු ගාස්තු ලෙස ගෙවා තිබේ.

නමුත් එම මුදල ගෙවා දැමුවත්, එම ආධාර තොගය රේගුවෙන් නිෂ්කාෂණය කර ගැනීමට ක්‍රිකට් ඒඩ් බලධාරීන් සමත් නොවීම පිළිබඳ කෝප් කමිටුවේ දැඩි අවධානයට යොමු විය.

සිය ආයතනය නමින් විදෙස් රටවල ගිණුම් තිබේදැයි යන්න එහිදී කළ ප්‍රශ්න කිරීම්වලදී, ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට ඊට නිශ්චිත පිළිතුරක් ලබා දීමට නොහැකි විය.

සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සඳහා බිලියන 5කට අධික මුදලක් වැයකර තිබුණත් එහි තක්සේරු වටිනාකම ලෙස සඳහන්ව ඇත්තේ මිලියන 900ක් පමණ බව හෙළිවෙයි.

නිල ක්‍රිකට් විකාශන අයිතිය ඉහළ ලංසුවකට ලබාදීම සාමාන්‍ය ක්‍රමවේදය වුවත් අඩු ලංසුවලට එහි අයිතිය ලබාදීම පිළිබඳ හෙළිදරව් විය.

විකාශන අයිතිය පිළිබඳ මූල්‍ය ගනුදෙනුවලදී බැංකු ඇප ලබා නොගැනීම පිළිබඳව ද කෝප් කමිටුවේ දැඩි අවධානයට ලක්විය.

සේජ් ඉන්වොයිස් නම් වූ ගිණුම් තැබීමේ ක්‍රමවේදයක් තිබුණත් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් එක්සෙල් පරිගණක මෘදුකාංගය භාවිතා කරමින් ගිණුම් තබන බවට හෙළිවූ අතර එලෙස ගිණුම් තැබීම මගින් ඒවා වෙනස් කිරීමේ හැකියාව ද පවතින බව අනාවරණය විය.

කෝප් කමිටුව විසින් මෙවැනි විශාල මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් මෙම තීරණ සහ නිර්දේශ ලබා දුන්නේ මෙවැනි අක්‍රමිකතා තව දුරට ත් සිදුවීම වළක්වා ගැනීමේ අරමුණිනි.

newsfirst

t

o

p