ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළක්වීමේ පනත් කෙටුම්පත සම්මත වේ

November 13, 2019

ක්‍රීඩාවල තරඟ පාවා දීම, දුෂණය, නීති විරෝධී මෙහෙයවීම සහ නීති විරෝධී ඔට්ටු ඇල්ලීම යන චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් වන තැනැත්තන්ට රු. මිලියන 100 නොඉක්මවන දඩයක් හෝ වසර 10 නොඉක්මවන සිර දඬුවමක් හෝ එම දඬුවම් දෙකම පැමිණවීමට හැකිවන පරිදි සකස් කළ ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත විය.

ක්‍රීඩාවල පවතින දුෂණය අක්‍රමිකතා වැලැක්වීමේ අරමුණෙන් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයට ඉදිරිපත් කර තිබිණි.

මෙම පනතේ 11 වන කොටසේ 1 වන පරිච්ඡේදය මගින් ක්‍රීඩාවල තරඟ පාවා දීමේ වරද , ක්‍රීඩාවල දුෂණය යන වරද , ක්‍රීඩාවල නීති විරෝධී මෙහෙයවීම යන වරද , ක්‍රීඩාවල නීති විරෝධී ඔට්ටු ඇල්ලීම යන වරද යන වැරදි මොනවාද යන්න නිර්වචනය කොට ඇත.

එසේම වෙනත් වැරදි ලෙස තොරතුරු හෙළිදරව් කිරීම පැහැර හැරීම, විමර්ශනයක් සම්බන්ධයෙන් සහයෝගය දැක්වීම පැහැර හැරීම, සේවා සපයන්නෙකු විසින් රහස්‍යභාවය ආරක්ෂා කිරීම පැහැර හැරීම, පුද්ගල මණ්ඩලයක් විසින් කරන වැරදි ආදිය දක්වා තිබේ.

මේ අනුව, මෙම පනත යටතේ වන යම් වරදක් සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීම සඳහා ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් අනුව, පොලිසිය බාර අමාත්‍යවරයා විසින් තීරණය කරනු ලබන සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිලයට අඩු නොවන නිලයක් දරන පොලිස් නිලධාරීන් සංඛ්‍යාවකින් සමන්විත ස්වාධීන, විශේෂ විමර්ශන ඒකකයක් පත් කරනු ලැබේ.

එසේම මෙම පනත අනුව ක්‍රීඩා සංගම්වල වාර්ෂික මහා සභා රැස්වීම් පැවැත්වීමේදී, ඡන්දය පාවිච්චි කිරීමට සුදුසුකම් ඇති සාමාජිකයන්ගේ ලැයිස්තුවක් එම රැස්වීම පැවැත්වීමට අවම වශයෙන් දින 14 කට පෙර එහි අනුබද්ධ ආයතන වෙත ඉදිරිපත් කළ යුතුය. ඒ සමඟම, විගණනය කරන ලද ගිණුම් වාර්තාවක් අදාළ සභාපති, ලේකම් හා භාණ්ඩාගාරික විසින් සහතික කර එහි පිටපත් අනුබද්ධ ආයතන වෙත ලබා දිය යුතුය. තවද විගණකාධිපතිවරයා විසින් විගණනය කරන ලද ගිණුම් වාර්තාව අවසන් ගිණුම් වාර්තාව ලෙස සැලකිය යුතු බවද මෙම පනතේ දැක්වේ.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවල වැරදි වැළැක්වීම සඳහා නීති  කිසිවක් නොවූ අතර මෑත කාලීනව ජාත්‍යන්තර ක්‍රිකට් කමිටු (අයි.සී.සී) විමර්ශකයින් විසින් පරීක්ෂණ ආරම්භ කිරීමට හේතු වූ තරග පාවාදීම් සහ දූෂණ චෝදනාවල පසුබිමට එරෙහිව මෙම ක්‍රියාවලිය වේගවත් කරමින් ක්‍රීඩා වැරදිවලට එරෙහිව නීතියක් ගෙන ඒමට කටයුතු ආරම්භ විය.

t

o

p