දෙමළ ජාතික සන්ධානයේ එකඟ වූ කොන්දේසි මොනවාදැයි රටට වහා හෙළි කරන්න

November 5, 2019

දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය ලබාගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා එකඟ වූ කොන්දේසි මොනවාදැයි රටට වහා හෙළි කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂය රටට ද්‍රෝහී නඩ සමඟ එකතු වී ජනතාව රැවටීමට උත්සහ දරනුයේ ප්‍රථම වතාවට නොවන බව පැවසූ රණතුංග මහතා 2015 ජනාධිපතිවරණයේ දී රට විනාශ කිරීමට දායක වූ අශුද්ධ සන්ධානය 2019දිත් නැවත වරක් හංසයා ලකුණෙන් තරග බිමට පිවිස තිබෙන බවත් පැවසීය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කටාන ආසනයේ ක්‍රියාකාරීන්ගේ සමුළුවකට රද්දොළුගම දී 04 වැනි දා එක්වෙමිනි. මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

තවත් දින දොළහකින් එළැඹෙන නොවැම්බර් මාසේ 16 වැනි දා රටේ ඉරණම තීන්දු කෙරෙන ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේක නිකම්ම නිකම් ජනාධිපතිවරණයක් නෙමෙයි. අපේ රටේ මීළඟ ජනාධිපතිවරයා තෝරා ගැනෙන මෙම මැතිවරණය රටේ අනාගතය තීරණය කරන මැතිවරණ බවටත් පත්ව තිබෙනවා.

අපි එහෙම කියන්නේ රටේ අනාගත ඉරණම මීළඟට තෝරා පත් කර ගැනෙන ජනාධිපතිවරයාගේ දෙඅත් මත රැඳී තිබෙන නිසයි. එසේ තෝරා ගන්නේ රටට ආදරය කරන, ජනතාවට හිතවත් ජනාධිපතිවරයකු නම් රටේ අනාගතය යහපත් වෙයි. රටට ද්‍රෝහි පිලේ ජනාධිපතිවරයකු තෝරා ගතහොත් අනාගතය අදටත් වඩා අඳුරු වෙයි. ඒ නිසා අපි මේ වතාවේ නිවැරැදිම තීන්දුවක් ගන්න අදිටන් කර ගත යුතුයි.

ජනාධිපතිවරණ සටන තියෙන්නේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනකු අතරයි. එක් අපේක්ෂකයකු වන්නේ රටට ආදරය කරන ගෝඨාභය රාජපක්ෂයි. අනෙක් අපේක්ෂකයා හංස සන්ධානය නියෝජනය කරන සජිත් ප්‍රේමදාසයි. සජිත් ප්‍රේමදාස ගැන මේ රටේ ජනතාවට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. සජිත්ගේ තාත්තා ගැන හරිහැටි මතකයක් තියෙන ඕනෑම කෙනකු සජිත්ට ඡන්දය දෙන්න දෙවරක් කල්පනා කරනවා.

ටයර් සෑයවල්, අංක තහඩු රහිත වෑන්වලට නම් දරාපු ප්‍රේමදාස යුගයේ තමයි අපේ රටේ තරුණ තරුණියන් 60,000ක් ඝාතනය වුණේ. රෙජී රණතුංග මැතිතුමා එක්ක එකතු වෙලා මම ඒ කාලේ ප්‍රේමදාස භීෂණයෙන් මරණයට නියම වෙච්ච තරුණ තරුණියන් විශාල පිරිසක් මරු කටෙන් ගලවා ගන්න මැදිහත් වෙච්ච නිසා භීෂණයේ භයංකාර බව ගැන හොඳින් දන්නවා.

අනෙක් අතට සජිත් ප්‍රේමදාස යහපාලන ආණ්ඩුවේ වසර පහක් පමණ ඇමැති ධුර දරුවා. යහපාලනයේ නාමයෙන් බලයට ආ වහපාලන ආණ්ඩුව පසුගිය වසර පහක පමණ කාලය තුළ කරපු හොරකම්, මැරකම්, දූෂණ, වංචා කිසිවකට සජිත් විරුද්ධ වෙලා නැහැ. ජාතික සම්පත් විකුණන විට, මහ බැංකුව මංකොල්ල කන කොට නිහඬව හිටපු සජිත් දැන් පිරිසිදු පාලනයක් ගැන කතා කරනවා.

ගෝඨාභය රාජපක්ෂ කියන්නේ මේ රටට වැඩ කරලා පෙන්නපු කෙනෙක්. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් යුද්ධය නිමා කරන්න මඟ පෙන්නපු ගෝඨාභය කොළඹ නගරය ආසියාවේ වේගයෙන්ම දියුණුවන නගර අතරට ගෙනාවේ වැඩ කිරීමේ ශක්තියක්, දක්ෂතාවක් තියෙන නිසයි. අපි ජනාධිපති පුටුවේ වාඩි කරවන්න යන්නේ එවැනි නායකයෙක්.

2015 මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාජයට පත්වන විට ඒ පරාජයට හේතු වූ ප්‍රධානම චරිත දැන් ඉන්නේ සජිත්ගේ වේදිකාවෙයි. ඒ වේදිකාවේ රිෂාඩ්ලා ඇතුළු සියලු අන්තවාදීන්, ජාතිවාදීන්, බෙදුම්වාදීන් සියලුදෙනාම ඉන්නවා. අපේ වේදිකාව දැන් පිරිසිදුයි. අපට පුළුවන් නොවැම්බර් මාසේ 16 වැනිදායින් පස්සේ පිරිිිසිදු ගමනක් යන්න. අපි ජනතාවගෙන් වරමක් ඉල්ලා සිටින්නේ ඒ සඳහායි.

උතුරේ දෙමළ පක්ෂ සියල්ල එකතුව පසුගිය දා යෝජනාවලියක් සම්මත කර ගත්තා. ඒ යෝජනාවලින් කියැවෙන්නේ රට බෙදන්න ඕනේ, උතුරේ ස්වංයපාලන අයිතිය පිළිගන්න ඕනේ, අතුරුදන් වූවන් සියලුදෙනාට වන්දි ගෙවන්න ඕනේ වගේ කාරණායි. මේ යෝජනාවලියට අත්සන් තබපු එම පක්ෂ එක හඬින් කියාසිටියා ජනාධිපතිවරණයේ දී තමන්ගේ සහය හිමිවන්නේ ඒවා පිළිගන්න කෙනාට කියලා.

මහින්ද රාජපක්ෂ මහතා වගේම ගෝඨාභය රාජපක්ෂ මහතාත් එම යෝජනාවලිය එකහෙළාම ප්‍රතික්ෂේප කළා. හැබැයි සජිත්ලා නිහඬව හිටියා. දැන් එක පාරටම දෙමළ ජාතික සන්ධානය කියනවා සජිත්ට සහය දෙනවා කියලා. අපට තිබෙන ගැටලුව දෙමළ ජාතික සන්ධානයේ සහය ලබාගන්න සජිත් එකඟ වූ කාරණා මොනවාද කියන එකයි. මේ එකඟතා වහාම රටට හෙළිකළ යුතුයි.

පසුගිය ජනාධිපතිවරණයේ දී මේ වගේම රහස් ගිවිසුමක් ගැන කරුණු හෙළිදරව් කෙරුණා. එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහත්තයා තමයි ඒ හෙළිදරව්ව කළේ. ඒකෙන් කියැවුණේ දෙමළ ජාතික සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂයේ පොදු අපේක්ෂකයා අතර ඇති කරගත් රට බෙදන යෝජනාවලියක් ගැනයි.

දැන් මේ ජනාධිපතිවරණයෙදිත් එවැනිම එකඟතාවක් ඇති වෙලා තිබෙනවා. පුදුමයට කරුණ එදා ගිවිසුම ගැන හෙළිදරව්ව කරපු තිස්ස අත්තනායක තමයි සජිත්ගේ කැම්පේන් මැනේජර්. දැන් තිස්සට පුළුවන් එදා ගිවිසුම බොරුද ඒ වෙග්ම මේ පාර ගිවිසුමේ කාරණා මොනවාද කියන එක හෙළිදරව් කරන්න. ඡන්දයට කිට්ටු නිසා වහාම මේ කාරණා ජනතාවට හෙළිදරව් කළ යුතුයි.

t

o

p