මහරගම වෙනුවෙන් අප කල කී දෑට වඩා කරන්නට ඇති දෑ බොහෝය

September 18, 2019

මහරගම සහ වත්තේගෙදර කොට්ඨාසයේ ක්‍රියාත්මක කරනු ලැබූ සහ ක්‍රියාත්මක කෙරෙමින් පවතින සංවර්ධන වැඩසටහන් සහ සේවාවන් පිළිබඳව විමසා බැලීමත්, ක්‍රියාත්මක ව්‍යාපෘතීන්හි ප්‍රගතිය හා ඒ සම්බන්ධව ජනතා අදහස් විමසීමත්, ඒ තුළින් ඉදිරියේදී මහරගම සංවර්ධනය විය යුතු ක්ෂේත්‍ර හඳුනාගැනීමත් අරමුණු කර ගනිමින් නාගරික මන්ත්‍රී ධනුෂ්ක රාමනායක මහතා ප්‍රමුඛ වත්තේගෙදර ‘ගම්පියස’ කාර්යාලය මඟින් සංවිධානය කළ විශේෂ සංවර්ධන සාකච්ඡාවක් මහරගම නාවින්න ඉසිපතනාරාම විහාරස්ථානයේදී පැවැත්විණ.

2018 පෙබරවාරි පළාත් පාලන මැතිවරණයෙන් පසු වසර එකහමාරක් වැනි කෙටි කාලයක් තුළ රුපියල් මිලියන 600 කට ආසන්න මුල්‍ය ප්‍රතිපාදන වැය කරමින් මහරගම වත්තේගෙදර කොට්ඨාසයේ සංවර්ධන කටයුතු සිදු කර තිබේ. වෙහෙර විහාරස්ථාන සංවර්ධනය, පාසල් සංවර්ධනය, ග්‍රාමීය මාර්ග සංවර්ධනය, වැව්/අමුණු, ඇල මාර්ග හා පොදු ළිං සංවර්ධනය සහ පොදු සේවා සංවර්ධනය යන ක්ෂේත්‍ර යටතේ මෙම සංවර්ධන ව්‍යාපෘති දියත් කර තිබේ. ඊට අමතරව අක්ෂි සායන, වෛද්‍ය සායන පැවැත්වීම මෙන්ම ස්වයං රැකියා ආර්ථිකයක් සමඟින් කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා ‘ලියසරණි’ කාන්තා කාර්ය සංවිධානයක්ද අරම්භ කර ඇත.

දැනට සිදු කෙරෙන කඩිනම් සංවර්ධන ව්‍යාපෘතීන්ට අමතරව මහනගර සැලසුම යටතේ මහරගම සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳව විශේෂ දැනුවත් කිරීමක් නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් අංශය විසින් මෙහිදී සිදු කරනු ලැබීය.

මහරගම මධ්‍ය මහා විද්‍යාලයේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලීමේ ව්‍යාපෘතිය සහ උඩහමුල්ල සිද්ධාර්ථ මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ තෙමහල් ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම හා ආරක්ෂිත දැල් වැටක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක සුඛිත පුරවර වැඩසටහන යටතේ මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම ද මෙහිදී සිදු කෙරිණ.

එමෙන්ම, බොරලැස්ගමුව වැව සංවර්ධනය හේතුවෙන් නිවාස අහිමිවන්නන් හට නිවාස හිමිකම් ලබාදීම හා හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාගේ ප්‍රතිපාදන මත මහරගම ගොවි සමිති 33 ක් වෙනුවෙන් විල්බැරෝ ලබාදීම ද මෙහිදී සිදු විය.

මීට සමගාමීව මෙම සංවර්ධන කටයුතු තවදුරටත් පුළුල්ව හා විධිමත්ව ක්‍රියාවට නැංවීම වෙනුවෙන් වත්තේගෙදර කොට්ඨාසයේ සම්බන්ධීකරණ නියෝජිතයන් පත්කරගැනීම ද සිදු කෙරිණ.

වත්තේගෙදර කොට්ඨාසයේ පවතින බෞද්ධ විහාරස්ථානයන්හි වැඩ වාසය කරන මහා සංඝරත්නයේ ආශීර්වාදය පෙරටු කරගනිමින්, රාජ්‍ය ආයතන නිලධාරීන්ගේ සහ ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින්ගේ ද, ප්‍රදේශවාසීන්ගේ ද සහභාගිත්වයෙන් මෙම විශේෂ වැඩසටහන පැවැත්විණ.

t

o

p