ඇමසන් වනාන්තරය ගිනිගත්තම අපට මොකෝ?

September 3, 2019

පසුගිය සති දෙකක පමණ කාලය තුළ සෑම ජනමාධ්‍යකම පාහේ පුවත් විකාශනවලට අපහසු දෙයක් වූයේ ඇමසන් වනයේ පැවති ගිනි පිළිබඳ වැකියක්වත් නොකියා සිටීමය. ඇමසන් වනාන්තරයේ විශාලත්වය නිසා එතරම් වැදගත්කමක් ලැබෙන්නට ඇතැයි සිතූ අයද සිටී. නමුත් එහි විශාලත්වය පිළිබඳ සැලකීමට වඩා යථාර්තය වූයේ ලොවම කම්පාවීමට හේතුවූයේ එය නිකන්ම නිකං කැලෑ ගින්නක් නොවීම නිසාය යන්නය.

දකුණු ඇමෙරිකාවේ පිහිටා තිබෙන ඇමසන් වානන්තරය ලොව විශාලම වනාන්තරය වන අතර එහි විශාලම කොටසක් බ්‍රසීලයට අයත්යයි පැවසේ. විටින් විට එම වනයේ කොටස් ගිනිගත් නමුත් මේ වසරේ වාර්තාගත ගිනි ප්‍රමාණයක් (75,000 ක් පමණ) නිරීක්ෂණය කර ඇති අතර ඊට ප්‍රධාන හේතුව කෘෂිකාර්මික කටයුතු සඳහා මෙන්ම දැව ලබාගැනීම සඳහා ගිනි තැබීම් සිදු කරන බවට කරුණු ජනමාධ්‍ය මඟින් හෙලිවිය.

ඇමසන් වනාන්තරයේ විශාල ප්‍රමාණයක් ගින්නට අසුවීම නිසා පාරිසරික ලෙස හානිදායක වූ ප්‍රතිඵල වලින් කිහිපයක් මෙසේය.

  1. දැවුණු සහ නොදැවුණු කාබන් කොටස් (සමහර විට ක්ෂුද්‍ර අංශු ලෙස) මෙන්ම අංගාරි කාමල (කාබන් ඩයොක්සයිඩ්) වායුව සැළකිය යුතු ලෙස විශාල ප්‍රමාණයක් පරිසරයට එකතු වීම.
  2. අතිවිශාල ගහකොළ ප්‍රමාණයක් මෙහිදී දැවී විනාශ වී ගිය නිසා අප වායුගෝලයට ඇමසන් වනයෙන් සිදුවන අම්ලකර වායුව සහ ජල වාෂ්ප සැපයුම විශාල ලෙසින් පහත වැටීම මෙන්ම වැසි ජලය සෘජුවම පෘථිවි තලයට ළඟාවීම සීමා කරන සේ තිබුණ ස්වභාවික වියන අහිමිවීම පාරිසරික සමතුලිතතාවයට විශාල බාධාවකි.
  3. සූර්‍ය තාපය අවශෝෂණය කිරීම හරහා මිහිතල උෂ්ණත්වය සමතුලනය කරමින් පෘථිවියේ උෂ්ණත්ව රටාව පවත්වාගෙන යාමට උපකාරවූ ආවරණය ලොවට අහිමිවීම.

කැලෑ ගිනිතැබීම තම විනෝදාංශය කරගන්නා අයද, දැව, සහ සමහර අවස්ථාවල වැලි, සපයා ගැනීම සඳහා මහා පරිමාණයෙන් ගහකොළ විනාශ කරන අයද අනවසර ඉදිකිරීම් සඳහා කැලෑ වනසන අයද ජීවත්වන අපරටේ සමහරු “ඇමසන් වනය ගිනිගත්තම අපට මොකෝ? ”  යයි පවසමින් මෙම සිද්ධියට සාමාන්‍යභාවයක් ලබාදීම අරුමයක් නොවේ.

           මෙහිදී මා විශේෂයෙන් සටහනක් තබන්නේ ඉහත සඳහන් 3 වැනි කාරණය පිළිබඳව කෙටි විවරණයක් කිරීමටයි.

           ලොව පුරා වායුගෝලීය උෂ්ණත්ව රටාව පවත්වා ගැනීම සඳහා පාරිසරික සාධක රැසක් දායකවන අතර ශාඛවල දායකත්වය ඉතාම වැදගත්ය. සූර්‍යයාගෙන් ලැබෙන කිරණවලින් ඉහළ තීව්‍රතාවයකින් ශක්තිය සම්ප්‍රේශණය වන කොළ වර්ණය සතු ශක්තියෙන් විශාල ප්‍රමාණයක් ශාඛ පත්‍ර මඟින් ලබාගෙන සත්ව ප්‍රජාවට අවශ්‍ය ආහාර නිශ්පාදනය කරයි. මෙම ක්‍රියාවලියේදී සූර්‍ය තාපය ලබාගැනීමට අමතරව වායුගෝලයේ පවතින අංගාරිකාමල වායුවද (Co2) ශාඛ පත්‍ර මඟින් උරා ගැනීම ලොව හරිතාගාර ආචරණයේදී ඉතා ප්‍රමුඛයේ සැලකෙන එම වායුවේ ගහනය අඩුවී කාබන්ඩයොක්සයිඩ් සමබරතාවය රඳාගැනීම ශාඛ වලින් සිදුවන විශාල සේවයකි.

           ලොව උෂ්ණත්ව රටාව අනුව පෘථිවි මට්ටමේ පවතින වායුගෝලීය පීඩන රටාව තීරණයවන අතර ලොව පුරා සංසරණයවන සුළං ප්‍රවාහ වල දිශාව සහ වේගය තීරණය වන්නේ ඒ පීඩන රටාව අනුවය. ලෝක ගෝලයේ ඕනෑම ස්ථානයක කාලගුණය තීරණය වන්නේ එහි පවතින පීඩන රටාව සහ වායුගෝලීය සුළං ප්‍රවාහවල ලක්ෂණ අනුව බවට ඔබ දැනුවත් බව දනිමි.

           ඇමසන් වනාන්තරයේ ගින්න පිළිබඳ බොහෝ පරිසරවේදීන්ගේ සහ දේශගුණ විද්‍යාඥයන්ගේ අවධානයට ලක් වූ හේතුව දැන් ඔබට පැහැදිලි වනු ඇති. එම ගිනි ගැනීම නිසා සිදුවන ලොව උෂ්ණත්ව රටාවේ වෙනස්වීම්වල අවසන් ප්‍රතිඵලය කාලගුණ රටාවල වෙනස්කම් සිදුවීමට පවා හේතුවේ. එනම්, දිගුකාලීන ලෙස විමසා බැලුවහොත් ලොව ප්‍රදේශ ගණනාවකම දේශගුණය වෙනස් වීමට ඇමසන් ගිනිගැනීම හේතුවිය හැකිය.

           මිහිකත උ ණුසුම් වීම (GLOBAL WARMING) පිළිබඳව ලොව විද්‍යාඥ අවධානය යොමුවූයේ මීට දශක තුනකට වඩා පෙරය. ඒ අනුව කරන ලද පර්යේෂණ අනුව ලොව පුරාම වායුගෝලය උණුසුම්වන බවට සාධක සහිතව තහවුරුවී ඇත. එසේ මිහිකත උණුසුම්වීම සඳහා දායකත්වය දක්වන හරිතාගාර වායූ (GREEN HOUSE GAS) අතරින් කාබන් ඩයොක්සයිඩ් වලට ප්‍රධාන තැනක් ලැබේ. මේ වනවිට ලොව තිබෙන ප්‍රධාන ප්‍රශ්නයද වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් වායුවේ සමතුලිතාතාවය බිඳවැටී එම වායුවේ සාන්ද්‍රණය ඉහළ යාමය.

           මිහිකත උණුසුම් වීම මෙන්ම දේශගුණ වෙනස් වීම ලොව පුරාවටම පොදු ගැටළුවක් බව අමතක නොකරමු. නිරන්තරව අප වායුගෝලයේ සිදුවන ගෝලීය සුළං සංසරණය (GLOBAL AIR CIRCULATION) මඟින් කාලගුණ සාධක ලොව පුරා ව්‍යාප්ත කරන නිසා එක්තරා ප්‍රදේශයක සිදුවන පාරිසරික හානියක ප්‍රතිඵල ලොව පුරා සෑම ස්ථානයකටම විවිධ බලපෑම් වලට තුඩුදේ. මේ නිසාම අද සිදුවෙමින් පවතින ඇමසන් වනයේ ගිනිගැනීම්වල අයහපත් ප්‍රතිඵල ශ්‍රී ලංකාවේ අපිටත් විඳින්නට සිදුවනබව අවබෝධ කර ගනිමු.

කේ.ආර්. අභයසිංහ.

(විශ්‍රාමික කාලගුණවිද්‍යා අධ්‍යක්ෂක)

t

o

p