කුලියාපිටියේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට

September 2, 2019

සුදු ජාතිකයින්ගේ පාලන සමයේ සිට පොල් ආර්ථිකය පදනම් කරගත් කුරුණෑගල දිස්ත්‍රික්කය නවීකරණය කිරීම තම අරමුණවී තිබූ බවත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ එම නවීකරණය ඉදිරි කාලය තුළ ඇති කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කුලියාපිටියේදී පැවසීය.

තමන් බෝක්කු ඉදි නොකරන බවට ඇතැමුන් ප්‍රකාශ කරන බව පැවසූ වික්‍රමසිංහ මහතා තමා බලයට පැමිණියේ බෝක්කු හැදීමට නොව රට හැදීමට බව අවධාරණය කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (31) කුලියාපිටිය මැතිවරණ කොට්ඨාශයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත් කිරීම හා තවත් සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමෙන් අනතුරුව කුලියාපිටිය, නගර සභා රථ ගාලේ පැවැති ජනහමුවට එක්වෙමිනි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) කුලියාපිටිය, නාරංගල්ල තාක්‍ෂණවේදී අධ්‍යාපන විද්‍යා පීඨයට මුල්ගල තැබීම, වයඹ විශ්ව විද්‍යාලයේ නව වෛද්‍ය පීඨය විවෘත කිරීම, කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේ ගොඩනැගිලි කිහිපයක් සඳහා මුල්ගල තැබීම, බෝවත්ත මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම සඳහා මුල්ගල තැබීම සහ ඉලූක්හේන බෙරිවැව මාර්ගය විවෘත කිරීම, කුලියාපිටිය නගරයේ උමං මාර්ග පද්ධතිය විවෘත කිරීම, කුලියාපිටිය නගරයේ පොදු වෙළෙඳ සංකීර්ණය සඳහා මුල්ගල තැබීම, පුස්තකාල ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කෙරිණි.

කුලියාපිටිය නගර සභා රථ ගාලේදී පැවැති ජනහමුව අමතා තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

පසුගිය මහා මැතිවරණයේ දී මා මේ ප්‍රදේශයට පැමිණ කුලියාපිටියට වෛද්‍ය විද්‍යා පීඨයක් ලබාදෙන බවට පොරොන්දු වුණා. අද මා මෙහි පැමිණියේ එම පොරොන්දුව ඉටුකරමින් වෛද්‍ය පීඨය විවෘත කර ශීක්‍ෂණ රෝහල ඉදිකිරීමට මුල්ගල තැබීමටයි.

මීට වසර ගණනාවකට පෙර මා කුලියාපිටියට පැමිණෙන විට පැවැති තත්වයට වඩා වෙනස් තත්වයක් අද මෙහි තිබෙනවා. එදා මේ කුලියාපිටිය නගරයේ තිබුණේ පුංචි කඩ මණ්ඩියක් පමණයි. නමුත් අද විශාල දියුණුවක් මෙහි ඇතිවී තිබෙනවා. අද කුලියාපිටිය අලූත් නගරයක් බවට පත්ව තිබෙනවා පමණක් නොව සංවර්ධනයේ කේන්ද්‍රස්ථානයක් බවට ද පත්ව තිබෙන බව කිව යුතුයි.

2015 ජනවාරි මාසයේ රටේ අගමැති ධූරයට මා පත්වූ අවස්ථාවේ කුරුණෑගල දිස්ත්‍රික්කය නවීකරණය කරන්න තීරණය කළා. සුදු ජාතිකයන්ගේ පාලන සමයේ සිට කුරුණෑගල කේන්ද්‍රකරගෙන පැවැතුණේ පොල් වගාව පදනම් කරගත් ආර්ථිකයක් බව කිව යුතුයි.

කුරුණෑගල මට අලූත් ප්‍රදේශයක් නොවෙයි. මගේ  ඥාති සබඳතා කුරුණෑගල සමග තිබෙනවා. ඒ අනුව කුරුණෑගල නවීකරණය කළ යුතු යැයි තීරණය කර ඒ සඳහා පියවර ගෙන තිබෙනවා.

1977 එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ගම්පහ දිස්ත්‍රික්කය තෝරා ගෙන ගම්පහ නවීකරණයක් කළා. වෙළඳ කලාප දෙකක් එහි ඉදිකළා. අලූත් නගර ඇති කළා. දැන් කොළඹට වඩා ඉදිරියෙන් ගම්පහ දිස්ත්‍රික්කය තිබෙන බව කිව යුතුයි. එවැනි සංවර්ධනයක් කුරුණෑගල ඇති කළ යුතුයි.

කුරුණෑගල දියුණු කිරීම සඳහා එහි මූලික පියවරක් ලෙස මධ්‍යම අධිවේගී මාර්ගය ආරම්භ කිරීමට අප සැලැසුම් කළා. එමගින් කුරුණෑගල විශාල දියුණුවක් ඇති කළ හැකියි. ඒ අනුව මධ්‍යම අධිවේගී මාර්ගය අදියර කිහිපයක් යටතේ ඉදිකිරීම් කටයුතු මේ වන විට සිදුකරමින් සිටින බව පැවැසිය යුතුයි. මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩකටයුතු අවසන් කිරීමට පෙර කුරුණෑගල ඉඩම්වල වටිනාකම තුන් හතර ගුණයකින් වැඩි වෙනවා.

තාක්‍ෂණ පහසුකම් සහිත පළමු ජාතික පාසල කුරුණෑගල අප ඉදිකළා. කුරුණෑගල නගරය අලංකාර කිරීම නාගරික සංවර්ධන අධිකාරිය මගින් සිදු කරනවා. එපමණක් නොවෙයි කුරුණෑගල දියුණු කිරීම සඳහා අලූත් සංවර්ධන වැඩ සටහන් ගණනාවක් මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

මේ දියුණුව කුරුණෑගලට පමණක් සීමා කරන්න බැහැ. ඒ දියුණුව මාවතගම ඇතුළු අනෙකුත් ප්‍රදේශ කරා ගෙන යා යුතුයි. කුලියාපිටිය නගරය දියුණු කිරීම සම්බන්ධව අකිල ඇමැතිතුමා අප සමග සාකච්ඡා කළා. ඒ අනුව වයඹ විශ්ව විද්‍යාලය කුලියාපිටියට ලබාදුන්නා. තාක්‍ෂණික විද්‍යා පීඨයත් මෙහි ආරම්භ කළා. පාසල් ගණනාවක් දියුණු කර තිබෙනවා. එදා ඊරියගොල්ල මැතිතුමා යටතේ මේ ප්‍රදේශයේ හොඳ පාසල් ක්‍රමයක් පැවැති බව සිහිපත් කළ යුතුයි. එතුමා කනිෂ්ඨ විද්‍යාලයක් ලෙස ආරම්භ කළ විද්‍යාලය අද කාර්මික විද්‍යාලයක් බවට පත්ව තිබෙනවා. අපි ඒ කාර්මික විද්‍යාලය නවීකරණය කිරීමට ඉදිරියේදී පියවර ගන්නවා.

මෙලෙස ලංකාවේ එක නගරයක විශ්ව විද්‍යාලයක්, කාර්මික විද්‍යාලයක්, තාක්‍ෂණික විද්‍යා පීඨයක්, ශීක්‍ෂණ රෝහලක් පිහිටා නැහැ. මීට පෙර මේ අංගයන් සම්පූර්ණ වූ නගරය බවට පත්ව තිබුණේ මහනුවර නගරයයි. අද දෙවැනි නගරය බවට කුලියාපිටිය පත්ව තිබෙනවා. කොළඹ නගරයේ වත් මේ සියල්ල පිහිටා නැහැ.

මේ ප්‍රදේශවල පවතින පොල්වතු පදනම් කරගත් ආර්ථිකය වෙනුවට අලූත් ආර්ථිකයක් ඇති කළ යුතුයි. එහි පියවරක් ලෙස බිංගිරියේ වෙළඳ කලාපයක් ආරම්භ කළා. එය ඉඩම් අක්කර 150 ක භූමි ප්‍රමාණයක ඉදි කළත් ඉදිරියේදී අක්කර දහසක් දක්වා ව්‍යාප්ත කිරීමට අප සැලසුම්කර තිබෙනවා. ඒ අනුව මෙම වෙළඳ කලාපය බියගම සහ කටුනායක යන වෙළඳ කලාප දෙක එකතු කළාටත් වඩා විශාල වෙළඳ කලාපයක් බවට බිංගිරිය වෙළඳ කලාපය පත්වෙනවා.

මේ අනුව කුරුණෑගල කර්මාන්ත කරණය අප ආරම්භ කර තිබෙනවා. අලූත් නගර දෙකක් ආරම්භ කළා. මීට අමතරව තවත් ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කර තිබෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයට මෙවැනි නවීකරණයක් ඇති කළේ ඉතිහාසයේ පළමු වතාවට බව කිව යුතුයි.

1948 සිට කුරුණෑගල දිස්ත්‍රික්කයේ නවීකරණයක් ඇති කළේ නැහැ. පළමු වතාවට ඒ නවීකරණය ඇති කරන විට මුහුණදීමට සිදුවූ ප්‍රධාන ප්‍රශ්නය වන්නේ ජලය පිළිබඳ ප්‍රශ්නයයි. නමුත් වයඹ සංවර්ධන ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඒ ප්‍රශ්නය විසඳීම සඳහා පියවර ගෙන තිබෙනවා. මේ අනුව ඉදිරියේදී බිහිවන්නේ නවීන කුරුණෑගලක් බව කිව යුතුයි.

අද බෝක්කු ඉදිකිරීම ගැන ඇතැම් පාර්ශ්ව කතා වෙනවා. මම ඔබට එක් දෙයක් කියන්න කැමැතියි. මම බෝක්කු හදන්නේ නැහැ. මම බෝක්කු කාරයෙක් නොවෙයි. මගේ අරමුණ රට හැදීමයි. ඒ නිසා කුරුණෑගල නවීකරණය කර කුරුණෑගල ගොඩනගා දෙන බවට තරුණ ඔබට මා ප්‍රකාශ කරන්න කැමැතියි. රට බෝක්කුවට දාන්න ඕන නම් බෝක්කු කාරයන්ට භාර දෙන්න. කොපමණ අමාරුකම් තිබුණත් රට හැදීමට අවශ්‍ය නම් අප සමග එක්වන ලෙස සියලූ පාර්ශ්වයන්ගෙන් මා ඉල්ලා සිටිනවා.

අනෙක් අය මෙන් රට නැතිවෙනවා, ජාතිය නැතිවෙනවා රට ජාතිය බේරගන්න කියා මා කියන්න යන්නේ නැහැ. රට ජාතිය බේරාගන්න නම් වැඩකර රට ශක්තිමත් කර අපි ආඩම්බරයෙන් දියුණු විය හැකි ශ්‍රී ලංකාවක් ඇති කළ යුතුයි.

අද මේ රැස්වීමට තරුණ තරුණියන් විශාල පිරිසක් පැමිණ සිටිනවා. මා දුටුවා. මේ අයට කුරුණෑගල දිස්ත්‍රික්කයේ සිට කුරුණෑගල ජීවත්වීමට නම් කුරුණෑගල අනාගතය ගොඩනගා දිය යුතුයි. මේ රැස්වීමේ නිකවැරැටියෙන් පැමිණි විශාල පිරිසක් සිටිනවා. මගෙත් පරම්පරා ගණනාවක් වන්නි හත්පත්තුවෙන් නිකවැරැටියට පැමිණියා. ඉන්පසු කුරුණෑගලටත් අනතුරුව කොළඹටත් පැමිණ සිටිනවා. වන්නි හත්පත්තුවේ සිටින සියලූ දෙනාටමත් නවීන කෘෂිකර්මයක් මෙන්ම ඒ අයටත් අනාගතය ගොඩනඟා දීම මගේ අරමුණ වී තිබෙනවා.

කුරුණෑගල අප අමතක කර නැහැ. අපි සියලූදෙනා එකට එක්ව වැඩ කිරීමෙන් මේ රට ගොඩගත හැකියි. අපේ උත්සාහය තිබෙනවා නම් රට ගොඩගත හැකියි. එසේ නොමැතිව කෑගහලා, සටන් පාඨ කියලා, ජාතිවාදය අවුස්සා රට ගොඩගත නොහැකියි. එයින් සිදුවන්නේ රට විනාශ වීමයි.

2015 අපි මේ ආණ්ඩුව භාරගෙන අභියෝග රැසකට මුහුණ දී ඉදිරියට පැමිණියා. ප්‍රශ්න හමුවේ අපි ආණ්ඩුව දාල පැන යන්නේ නැහැ. පසුගිය කාලය පුරාවට අපි වැඩකළේ පාර්ලිමේන්තුවේ 2/3 ක් නැතිවයි. අඩුම තරමින් බහුතරයක්වත් අපට තිබුණේ නැහැ.

පාර්ලිමේන්තු බහුතරයක් නැති අපේ සුළුතර ආණ්ඩුවට පසුගිය කාලය තුළ ස්වභාවික විපත් ගණනාවකට මුහුණදීමට සිදුවුණා. ගංවතුර, කුණුකන්ද කඩාවැටීම්, නායයෑම්, නියඟය වැනි ප්‍රශ්න මෙන්ම ප්‍රාදේශීය සභා මැතිවරණය පරාජය වුණා, ඔක්තෝම්බර් 26 ව්‍යවස්ථා විරෝධී ලෙස අගමැති ධූරය වෙනස් කරමින් ආණ්ඩුව අපට අහිමි කළා. ඒ කිසිදු අභියෝග යක් හමුවේ අපි රටේ සංවර්ධනය නතර කළේ නැහැ. අභියෝග හමුවේ අපි පැනලා ගියේ නැහැ. සියලූදෙනා එකට සිටිමින් සාර්ථකව ඊට මුහුණ දුන්නා.

පසුගිය කාළේ මුහුණ පෑමට සිදු වූ මේ අභියෝග හමුවේ අපි නොසැලී ඉදිරියට පැමිණ මේ ප්‍රදේශවල නවීකරණය ආරම්භ කළා. ඒ නිසා අද ක්‍රමානුකූල දියුණුවක් ඇති වෙමින් තිබෙනවා. මේ වසර අවසන් වීමට පෙර අඩුම තරමින් කර්මාන්ත ශාලා දහයක්වත් කුරුණෑගල ඉදිවෙන බව කිව යුතුයි.

අප්‍රේල් මස පාස්කු ඉරිදා බෝම්බ පිපිරීමේ සිද්ධියක් සමග බොහෝ දෙනෙක් ප්‍රකාශ කළේ මේ රට නැවත ගොඩගැනීමට නොහැකි වන පරිදි විනාශ වෙන බවයි. වෙළදාම, ගණුදෙනු, මුදල් හුවමරුව යන සියල්ල නැවැතුණා. නමුත් ඒ තත්ත්වයට අපි සාර්ථකව මුහුණදුන් නිසා ක්‍රමයෙන් රට යථාතත්වයට පත් කර ගැනීමට හැකි වුණා. සංචාරක ව්‍යාපෘරය මුළුමනින්ම විනාශ වෙනු ඇතැයි ඇතැම් පාර්ශ්ව විශ්වාස කළත් පියවරෙන් පියවර එය නඟාසිටුවීමට අපට හැකි වුණා. නොවැම්බිර් මාසය වනවිට සංචාරක ව්‍යාපාරය යථා තත්වයට පත්ව සංචාරකයින් ලක්‍ෂ ගණනක් මේ රටට පැමිණෙනු ඇතැයි අපි විශ්වාස කරනවා.

අපේ ආණ්ඩුව ප්‍රශ්නවලට මුහුණ දී රට ගොඩනැගුවා නමුත් පසුගිය ආණ්ඩුව සිදු කළේ කුමක්ද? ඒ ආණ්ඩුව දිගින් දිගටම ණය ගෙවාගත නොහැකි ප්‍රමාණයට ණය ලබා ගත්තා. එහි අවසන් ප්‍රතිඵලය වුනේ ප්‍රශ්නවලට මුහුණ දීමට නොහැකිව තම පාලන කාලය වසර දෙකක් ඉතිරිව තිබියදී ඒ පාලකයින්ට මැතිවරණයකට යෑමට සිදුවීමයි. පැවැති ආණ්ඩුව වැරැදි මාර්ගයක ගමන් කරන බව අප දුටුවා.

මේ තත්ත්වය හමුවේ නියමිත කාලයට පෙර 2014 වසරේදී මැතිවරණයක් පැවැත්වෙන බව මා 2013 දී ප්‍රකාශ කළා. එය විශ්වාස කිරීමට බොහෝ දෙනෙක් කැමැති වුණේ නැහැ. ඒ අවස්ථාවේ මා කළ එම ප්‍රකාශය අසත්‍යයක් බව පවසමින් ඇතැම් පාර්ශ්ව මට චෝදනා කළා. නමුත් මැතිවරණයට මුහුණදීමට අපට සිදුවුණා.

පසුගිය ආණ්ඩුව විශාල වශයෙන් ණය ලබා ගැනීම නිසා අවසන් කාලය වන විට ණය ගෙවීමට වත් ණය මුදලක් ලබාගැනීමට නොහැකි තත්ත්වයට රට පත්වුණා. නමුත් අපි බලයට පැමිණ පැවැති ණය කන්ද ගෙවා දමමින් ආර්ථිකයේ ස්ථාවර භාවයක් ඇති කළා. එය පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. මේ තරුණ ඔබට අපේ පරම්පරාවේ ණය භාර දීමට මම සූදානම් නැහැ. ඊට එක්සත් ජාතික පක්‍ෂයත් සූදානම් නැහැ. අපේ නව පෙරමුණත් ඊට සූදානම් නැහැ. අපි සියලූ දෙනාගේ අරමුණ වී තිබෙන්නේ ඉදිරි අවුරුදු පහ තුළ මේ සියල් ණය ගෙවා දැමීම බව කිව යුතුයි.

අපි බෝක්කු ආණ්ඩු හදන්නේ නැහැ. මේ තරුණයන්ට හා ඔබ සියලූදෙනාට විශ්වාසයක් තිබෙන රටට අනාගතයක් ගොඩනගා දිය හැකි ආණ්ඩුවක් ඇති කිරීම අපි සියලූ දෙනාගේ අරමුණවී තිබෙනවා. ඔබට අනාගතය ගැන විශ්වාසයක් නැතිනම් ලංකාව ගැන කළ කිරීමක් ඔබතුළ ඇති වෙනවා. එවැනි තත්ත්වයකට ඔබව පත් කිරීමට මමවත් අපේ පක්‍ෂය හා ඊට සම්බන්ධ කණ්ඩායම් වත් සූදානම් නැහැ. අපි හැමෝටම අවශ්‍ය ඔබේ අනාගතය ගොඩනඟා සියලූ ජාතීන්ට එකට ජීවත්විය හැකි රටක් නිර්මානය කර දීමටයි. එය අපට කළ හැකියි. එය අප ස්ථීරවම කරනවා.

අද ඇතැම් අය දේශපාලනය ගැන කළකිරීමට පත්ව සිටිනවා. පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාම පන්නා දැමිය යුතු බව බොහෝ දෙනෙක් ප්‍රකාශ කරනවා. ජනතාව අපේක්‍ෂා කළ සියල්ල ඉටු නොවුණ නිසා ඔවුන් ඒ තත්ත්වයට පත්ව සිටිනවා. මේ ජනතාවගේ බලාපොරොත්තු ඉටුකර ඔවුන්ට ජීවත්වීය හැකි රටක් නිර්මාණය කර දිය හැක්කේ අපට පමණයි. ඒ ශක්තිය හැකියාව තිබෙන්නේ අපට පමණයි. ඒ සඳහා පදනම දැමුවේ අපියි.

2015 පසු මේ රට තුළ අප කොපමණ නිදහසක් ඇති කර දී තිබෙනවා ද කියා මට ඉහත අදහස් දැක්වූ රාජිත සේනාරත්න ඇමැතිතුමා ප්‍රකාශ කළා. එය කොතෙක් ‍ද කියනවා නම් අද රාත්‍රියේ රූපවාහිනිය දැම්මත් දකින්න ලැබෙන්නේ මට බනිනවා. හෙට උදේට. හෙට දවල්ට රූපවාහිනිය දැම්මත් දකින්න ලැබෙන්නේ මට බනිනවා. නමුත් එහෙම බනින එක් අයෙක් වත් පසුගිය කාලය තුළ සුදු වෑන්වලින් ඉස්සුවේ නැහැ. එක මාධ්‍ය ආයතනයක් වත් ගිනි තැබුවේ නැහැ. එක මාධ්‍යවේදීයෙක් වත් ඝාතනය කළේ නැහැ. මේ අයට සම්පූර්ණ නිදහස අප ඇති කර දී තිබෙනවා.

අප ගොඩනැගඣ මේ රට අප, ඇති කළ මේ නිදහස ආපසු හැරවීමට ඉඩ දිය නොහැකියි. නැවත මේ රට 2015 ට පෙර ගිය මාර්ගයේ යන්න ඉඩදිය නොහැකියි. ඔබ ඔබේ අනාගතය ගැන සිතිය යුතුයි. අනාගත පරපුරේ අනාගතය කුමක්ද කියා කල්පනා කළ යුතුයි.

මේ රට මුහුණ පෑ අභියෝග හමුවේ පැණ ගියේ කවුද…? ඒ අභියෝග වලට මුහුණදී රට මේ තත්ත්වයට දියුණු කළේ කවුද….? කියා ඔබ සිතිය යුතුයි. කුරුණෑගල කර්මාන්ත පුර ඉදිකිරීමට හැකිවෙයි කියා කවුරුත් සිතුවේ නැහැ.

කුරුණෑගල පමණක් නොව මධ්‍යම අධිවේගී මාර්ගය නිසා මහනුවර හා හම්බන්තොට කර්මාන්තපුර ඉදිකෙරෙනවා. මේ වනවිට මහුනවර කේන්ද්‍රකර ගෙන විශාල සංවර්ධන වැඩපිළිවෙළක් අප ආරම්භ කර තිබෙනවා. හම්බන්තොට දියුණු වෙනවා. කොළඹ, ගම්පහ, කළුතර මහනගර ඉදිවෙනවා. ගාල්ල සංචාරක කලාපයක් ඉදිවෙනවා. මාතර අධ්‍යාපන කලාපයක් බවට පත්කරනවා. මෙවැනි වැඩකටයුතු සඳහා මේ වනවිට අප අත්තිවාරම් දමා තිබෙනවා. අපි සටන් පාඨ කියමින් කාලය ගත කළේ නැහැ.

2015 මට භාර දුන්නේ ණය ගෙවා ගැනීම නොහැකි රටක්, ප්‍රජාතන්ත්‍රවාදය වල්වැදුණු රටක්, නීතිය සාමය නැති රටක්, ජාත්‍යන්තරයෙන කොන්වී තිබූ රටක්, නැව් නැති හම්බන්තොට වරායක්. මේ වනවිට අපි සියලූ ගැටළු නිරාකරණය කරමින් නැව් නොමැතිව තිබූ හම්බන්තොට වරාය පවා නැව් ඇති ලාභ ලබන වරායක් බවට පත් කර තිබෙනවා.

මේ සියලූ කටයුතු සිදුකරන ගමන් අපි සංවර්ධනය ඉදිරියට ගෙන ගියා. අපේ ඇමැතිවරු වැඩ කළා. මෙහි සිටින රාජිත සේනාරත්න ඇමැතිතුමා පසුගිය කාලය තුළ සෞඛ්‍ය සේවයට විශාල සේවාවක් සිදු කළා. ඒ වගේම අධ්‍යාපන ඇමැති තුමා අධ්‍යාපන ෙක්‍ෂ්ත්‍රයේ දියුණුව වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කළා.

විපක්‍ෂයේ ඇතැම් අය ශාසනය විනාශ කරනවා, ශාසනය අනතුරේ කියමින් බොරුවට කෑගහනවා. නමුත් අපේ ආණ්ඩුව ශාසනය ආරක්‍ෂාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කළා. මහා සංඝරත්නය වෙනුවෙන් බුදුපුත් රක්‍ෂණය ඇති කළා. අපි කිසිදාක බොරු ප්‍රකාශ කරමින් ජනතාව මුලා කළේ නැහැ. අපි වැඩ කරන බව ක්‍රියාවෙන් ඔප්පු කර තිබෙනවා.

අද විපක්‍ෂයේ සිටිමින් නැවැත බලයට පැමිණීමට දගලන අපට මේ රට හැදිය නොහැකි බව ඔවුන් පසුගිය පාලන සමයේ පෙන්නුම් කර තිබෙනවා. නමුත් අපට රට හැකිය හැකි බව පසුගිය වසර කිහිපය තුළ ක්‍රියාවෙන් ඔප්පුකර තිබෙනවා.

2015 අපේ ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු 2016-2017 වසරවල අප හැමෝටම දුක් විදින්න සිදුවුණේ පැවැති ආණ්ඩුව ලබාගත් ණය ගෙවා දැමීම වෙනුවෙනුයි. මේ සියලූ ප්‍රශ්න තබාගෙන අපි රට තුළ නිහඩ සංවර්ධනයක් දියත් කළා. අධ්‍යාපනය, සෞඛ්‍ය, නගර සංවර්ධනය, නිවාස ඉදිකිරීම, රන්මාවත්, ගම්පෙරළිය, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැනි ක්ෂේත්‍ර ඔස්සේ විශාල දියුණුවක් රට තුළ ඇති කළා. මේ සියලූ කටයුතු අප සිදු කළේ වර්තමානය මෙන්ම අනාගතය දෙස අවධානය යොමු කරමින් බව කිව යුතුයි.

මීළඟ පියවර වන්නේ අපේ රට විශාල අපනයන වෙළඳ පොළක් කරා යොමු කරවීමයි. ලෝක වෙළෙඳ පොළේ තරග කිරීමට හැකි වන පරිදි අපේ ව්‍යාපාරිකයන් ශක්තිමත් කළ යුතුයි. විදේශ ආයෝජනය අප ලබාගත යුතුයි. අප ඇති කර තිබෙන මේ පදනම ඉදිරියට ගෙන යා යුතුයි. ඒ ඔස්සේ රට ගොඩගෙන අනාගත පරපුරට හොඳ රටක් නිර්මාණය කර දිය යුතුයි. මේ පදනම විනාශ කළොත් නැවත මේ රටට ගොඩඒමට නොහැකියි. අපට ගොඩ ඒමට හැකිවන්නේ මේ පදනම ඔස්සේ ඉදිරියට ගොස් අපේ උත්සාහයෙන් පමණයි. ඒ සඳහා අප එකතු වෙමු.

මෙම අවස්ථාවට බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා, එක්සත් ජාතික පක්‍ෂයේ මහාලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආශු මාරසිංහ, විජේපාල හෙට්ටිආරච්චි, සන්දිත් සමරසිංහ, තුෂාර ඉඳුනිල්, බන්දුල ලාල් බණ්ඩාරිගොඩ යන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලනඥයින් විශාල පිරිසක් එක්ව සිටියහ.

මාධ්‍ය ඒකකය

අග්‍රාමාත්‍ය කාර්යාලය

2019.09.01

t

o

p