ධාරිතාව හා වපසරිය අනුව මීතොටමුල්ලට පමණක් දෙවැනි වන මහනුවර තේක්කවත්ත කැළි කසළ අංගණය හේතුවෙන් මහත් පාරිසරික හානි සිදුවන බව ප්‍රදේශවාසීන් චෝදනා නගති.
වසර අසූවකට අධික කාලයක් මහනුවර නගරයේ කැළි කසල මෙම ස්ථානයේ බැහැර කිරීම නිසා මේ වන විට කටුගස්තොට තේක්කවත්ත පමණක් නොව අවට ගම්මාන රැසක ජනතාවට සෞඛ්‍ය තර්ජන මතුව ඇතැයි කියමින් ගම්වාසීන් පිරිසක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ත තෙන්නකෝන් මහතා වෙත සිය දුක්ගැනවිල්ල ඉදිරිපත් කළහ.
ප්‍රදේශවාසීන් කළ දැනුම්දීමට අනුව ආණ්ඩුකාරවරයා මෙම ස්ථානයේ නිරීක්ෂණයක නිරත වූ අතර සෞඛ්‍ය ගැටලු අවම වන පරිදි කසළ බැහැර කිරීම හා ප්‍රතිචක්‍රීයකරණය කරන ලෙස ඒ මහතා එහිදී අදාල බලධාරීන් වෙත උපදෙස් දෙන ලදි.
අධිරාජ්‍යවාදී පාලන සමයේදී අක්කර තිස්දෙකක භූමි වපසරියකින් යුතු මෙම ස්ථානය ලාදුරු රෝහලක්ව පැවත ඇති අතර පසුව වර්ෂ 1933 සිට මහනුවර හා ඒ අවට කැළි කසල මෙම ස්ථානයට බැහැර කිරීම සිදුකර තිබේ. ආරම්භයේ සිට මෑතක් වන තුරුම ප්‍රධාන ගැටලු මතු නොවුණත් අද වන විට කැළි කසළ බැහැර කිරීම හා සම්බන්ධව තර්ජන ගණනාවක් මතුව ඇතැයි ගම්වාසීන් පළාත් ආණ්ඩුකාරවරයා වෙත පෙන්වා දුන්හ.
කැළි කසල අංගනයේ ධාරිතාව ඉක්මවා කුණු කදු ගොඩ ගැසී ඇති බවත් එවැනි කදුවලින් ගලා යන අප ජලය මහවැලි ගංගාවට එක්වන බව ගම්වාසීන් පැවසීය. දිරන හා නොදිරන ලෙස වෙන් වෙන් වශයෙන් ගෙන එන කුණු මෙම ස්ථානයේ වෙන් කිරීමකින් තොරව බැහැර කරන බව ද පොලිතීන් ආදිය ද එලෙස ගොඩගැසී ඇතැයි පෙන්වා දුන් ඔවුන් සුනඛයන් හා කපුටන් වැනි සත්වයන් විසින් එම අපද්‍රව්‍ය ප්‍රදේශය පුරා ව්‍යාප්ත කරන බව ආණ්ඩුකාරවරයා වෙත දැනුම් දුන්නේය.
වර්ෂාව දිනවලදී මෙහි කුණු සමඟ මිශ්‍රවන ජලය මහවැලි ගංගාවට කිසිදු පිරිපහදුවකින් තොරව ගලා යන බව කී ඔවුන් මහනුවර දැවැන්තම ජල ව්‍යාපෘතියට ලබා ගන්නා ජලයට ද මෙම කැළි කසළ එක්වන බවත් එය සෑම අවස්ථාවකම ගං ඉවුරට පැමිණ නිරීක්ෂණය කළ හැකිව ඇතැයි ද කීහ. මේ හේතුවෙන් පොල්වත්ත, වේගිරිය, රත්මලේ, බාන්වැල්ගොල්ල, ගොහාගොඩ, මඩපතගම, හල්ඔළුව, වට්ටාරන්තැන්න, ලෙවුල ඇතුලු අවට ගම්මාන ගණනාවක පදිංචිකරුවන්ට චර්ම රෝග ආදි සෞඛ්‍ය ගැටලු ගණනාවක් මතුව ඇතැයි පාරිසරය සුරැකීමේ සංවිධානයේ ලේකම් එස්.කේ.ආතර් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
මහනුවර කැළි කසළ බැහැර කරන්නේ මහනුවර මහ නගර සභා බල ප්‍රදේශයකට නොවන නිසා ගම්වාසීන්ට මතුවන පාරිසරික හා සෞඛ්‍ය තර්ජන පිළිබද මහ නගර සභාව කිසිදු තැකීමක් නොකරන බවත් පාරිසරය සුරැකීමේ සංවිධානයේ ලේකම් එස්.කේ.ආතර් පෙරේරා මහතා කීවේය.
මහජනතාව වාචිකව ඉදිරිපත් කළ පැමිණිලි සලකා බැලූ ආණ්ඩුකාරවරයා එහිදී නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන් මහතා සහ නාගරික මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කළ අතර මහජන පීඩාව අවම වන පරිදි කැළි කසල බැහැර කිරීම පිළිබදව තීරණයකට එහිදී එළැඹිණි.
මේ යටතේ අබලන් තත්ත්වයේ පවතින උපකරණ යථා තත්ත්වයට පත් කිරීම සහ වෙනත් පළාත් පාලන ආයතනවල සාර්ථක අත්දැකීම් පිළිබඳ පුහුණුවක් අදාල සේවකයන්ට ලබා දීම පිළිබදව ද මෙහිදී අවධානය යොමුවිය. දැනට කැළි කසල කළමණාකරණය සම්බන්ධයෙන් සාර්ථක ප්‍රගතියක් අත්කර ගෙන ඇති පළාත් පාලන ආයතන කිහිපයක් කරා ගොස් ක්‍රමවත් පුහුණුවක් ලබ දීමටත් ඒ අත්දැකීම් ඇසුරින් තේක්කවත්ත ඝන අපද්‍රව්‍ය කළමණාකරණය උසස් තත්ත්වයක් කරා ගෙන ඒමට අපේක්ෂිකරන බව ආණ්ඩුකාරවරයා කීහ.
මේවන විට කැළි කසල අංගණය උපරිම ධාරිතාවට ආසන්න වෙමින් පවතින නිසා ඉදිරියේදී මහනුවර හා ඒ අවට එක්රැස්වන අපද්‍රව්‍ය බැහැර කිරීමේ විකල්පයක් පිළිබදව අවධානය යොමුවිය යුතු යැයි ද ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා මෙහිදී සදහන් කළහ.
මහනුවර කැළ කසල බැහැර කිරීමට වෙනත් විකල්ප ස්ථානයක් නොමැති බැවින් පාරිසරික හානි සහ මහජන පීඩාවන් අවම වන පරිදි අදාල කාර්යය කරන ලෙස ආණ්ඩුකාවරයා අදාල අංශවෙත මෙහිදී උපදෙස් දෙන ලදි.