බෝගම්බර නිදහසේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කෙරේ

August 28, 2019

සිරගෙදරක්ව පැවැති බෝගම්බර බන්ධනාගාරය දැන් නිදහසේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කර ඇති බව පෙන්වාදුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ නිදහස ඔස්සේ ඉදිරියට යනවා ද නැතිනම් අතීතයට ගොස් යළි සිරගත වනවා ද යන්න තීරණය කිරීම ජනතාව සතු කාර්ය භාරයක් බව අවධාරණය කළේය.

වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ ක බෝගම්බර, මහනුවර බෝගම්බර සංස්කෘතික උද්‍යානයේ පළමු අදියර විවෘත කරලීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.

ජපානයේ අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ (H.E. Shinzō Abe) මහතාගේ සහය ඇතිව මහනුවර නගරය ජපානයේ ඓතිහාසික නාරා නගරයට සමාන්තරව සංවර්ධනය කරලීමේ සැලසුම් සකස් කර ඇති බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.  

පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසු රටේ ආර්ථිකය අඩපණවීමට ඉඩනොදී යළි නංවාලීමට රජය පියවර ගත් බව ද ඒ නිසා අප රට යළි යථාතත්වයට පත් කර ගැනීමටත්, සංචාරක කර්මාන්තය නංවාලීමටත් හැකි වූ බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

එහිදී තව දුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

 මෙම ස්ථානය  බ්‍රිතාන්‍ය පාලනය සමයේ බන්ධනාගාරයක් ලෙසත් පසුව නිදහස් ශ්‍රී ලංකාවේ බන්ධනාගාරයක් ලෙසත් පැවතියා. මෙම ප්‍රදේශයෙන් ගමන් කරන විට මෙම බන්ධනාගාරය සංස්කෘතික සංචාරක මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට සුදුසු බව මට වැටහුණා. සංචාරකයින් මෙම ප්‍රදේශයේ දිනක් හෝ දින භාගයක් රැදි සිටීම වෙනුවට දින කිහිපයක් රඳවා ගැනීමට අවශ්‍ය සංචාරක ස්ථාන ඇති කිරීම පිළිබඳව අපේ අවධානය යොමු වුණා.

අප ආණ්ඩු බලයට පත්වීමෙන් අනතුරුව ජෙෆ්රි බාවා මහතාගෙන් පසු ප්‍රධානතම සැලසුම් ශිල්පියා වූ කෙරි හිල් මහතා කැඳවාගෙන මෙම බන්ධනාගාරය සංස්කෘතික සංචාරක මධ්‍යස්ථනයක් වශයෙන් සංවර්ධනය කරන ආකාරය පිළිබඳව ඔහුගේ අදහස් ලබා ගත්තා. එම සැලැස්ම අද මෙහි බොහෝ දුරට දැකගන්න පුළුවන්. ඒ වෙනුවෙන් කටයුතු කළ මලික් සමරවික්‍රම ඇමතිතුමාටත්, එම අමාත්‍යාංශයටත් මගේ විශේෂ ස්තුතිය පළකරන්න කැමතියි. මෙම ස්ථානය ඇතුළුව මුළු මහනුවර නගරයම සංවර්ධනය කිරීමේ වගකීම භාරගෙන තිබෙන පාඨලි චම්පික රණවක ඇමතිතුමාටත් එතුමාගේ අමාත්‍යාංශයටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ සංවර්ධනය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමාටත් මාගේ ප්‍රශංසාව හිමිවිය යුතුයි.

එදා බන්ධනාගාරයක්ව තිබූ මෙම ස්ථානය අද කන්ද උඩරට සංස්කෘතික උරුමය ඉස්මතු කරන නිදහසේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වී තිබෙනවා. තරුණයින්ගේ නව නිර්මාණ ප්‍රදර්ශනය කරන නව ස්ථානයක් වී තිබෙනවා. මේ සියල්ලටම වඩා මහනුවරට පැමිණෙන සංචාරකයින් වර්ධනය කිරීමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙනවා. ගාල්ල සංචාරක කලාපයේ කේන්ද්‍රය බවට ගාලූ කොටුව පත්වි තිබෙනවා. ත්‍රිකුණාමලය කලාපයේ ත්‍රිකුණාමල වෙරළ සංචාරක කේන්ද්‍රය බවට පත්වී තිබෙනවා. අනුරාධපුරයේ අටමස්ථානය කේන්ද්‍ර වන විට මහනුවර ප්‍රදේශයේ දළදා මාලිගාව කේන්ද්‍රය බවට පත්වෙනවා. ඒ වගේම ඉදිරියේදී සංචාරකයින් මෙම ස්ථානයට රැගෙන ඒමට හැකියාව තිබෙනවා. මෙය වටා සංචාරක හෝටල් දෙකක් ඇතිකිරීමට මලික් සමරවික්‍රම ඇමතිතුමා ප්‍රමුඛ අමාත්‍යාංශය පියවර ගනිමින් සිටිනවා.

දළදා මාලිගාව, පේරාදෙණිය උද්‍යානය යන ස්ථානවලට පමණක් සීමා නොවී සතර වරම් දේවාල සඳහාත් සංචාරක අවධානය යොමු කරවිය යුතුයි. ඒ වගේම නුවර යුගයට අයත් පෞරානික විහාර හඳුනාගෙන සංචාරකයින්ට සංචාරය කළහැකි ස්ථාන වශයෙන් දියුණු කර සංචාරකයින් දින දෙකක් තුනක් මහනුවර ප්‍රදේශයේ රැදෙන පරිදි සැලසුම් සකස් කළ යුතුයි.

මහා නාහිමිවරුන්ගේ අවවාද අනුශාසනා ඇතිව මහනුවර නවීන නගරයක් බවට පත්කිරීමට අප බලාපොරොත්තු වෙනවා. බෞද්ධ රටක් වන ජපානයේ නාරා නගරය දියුණු කළ ආකාරයට මෙහි දියුණුවක් ඇති කිරීමට ජපාන අගමැති ෂින්ෂෝ අබේ මැතිතුමා මහානාහිමියන්ගේ ඉල්ලීම පරිදි මෙම වැඩපිළිවෙලට සහයෝගය දැක්වීමට එකඟ වී තිබෙනවා. එම වැඩපිළිවෙලේ මෙරට කටයුතු සිදුකිරීමට පාඨලි චම්පික රණවක මැතිතුමන් වගකීම භාරගෙන තිබෙනවා. අළුතින් ඉදිවෙන නගරය මෙතනින් අවසන් නොවී දිගන දක්වා දියුණු කිරීමට පියවර ගන්නවා.

සෞඛ්‍ය  ක්ෂේත්‍රයේ දියුණුව ඇතිකිරීම, ළඟම පාසල හොඳම පාසල වැඩසටහන මගින් පාසල් ගොඩනැගිලි ඉදිකිරීම, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දරුවන් වෙනුවෙන් නව පාසලක් ඉදිකිරීම, මධ්‍යම අධිවේගි මාර්ගයේ ඉතිරි වැඩකටයුතු ආරම්භ කිරීම, උතුරු – මහනුවර ජලයෝජනා ක්‍රමය අනුමත කිරීම වැනි විශාල වැඩකොටසක් සිදුකර තිබෙනවා.

මෙම සියලූ වැඩකටයුතු 2015 වසරේදී මැතිවරණ වේදිකාව මත අප පොරොන්දු වූ වැඩ පිළිවෙල බව සඳහන් කරන්න කැමතියි. මීළඟ වසර 05ක් තුල මේ සියල්ලේ ප්‍රතිලාභ ඔබට ලැබෙන බව සඳහන් කළ යුතුයි. මහනුවර විද්‍යා හා තාක්ෂණ නගරයක් බවට පත්කිරීමත් නව මාර්ග පද්ධතිය නිසා මහනුවර – කොළඹ- හම්බන්තොට එක්කරන ප්‍රධාන මහා මාර්ග පද්ධතියක් බවට පත්කිරීමටත් ඉදිරියේදී අප පියවර ගන්නවා. 

රටේ ප්‍රධාන නගරයක් ලෙස මහනුවර නගරයට හිමි වී තිබෙන ස්ථානය ඒ තුලින් තව දුරටත් ආරක්ෂා වෙනවා. මහනුවර දියුණු කිරීමට අප දුන් පොරොන්දු ඉටු කිරීම වෙනුවෙන් මේ සියලූ වැඩකටයුතු අප සිදුකළ බව සඳහන්  කරන්න කැමතියි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව සංචාරකයින්ගේ පැමිණීම අඩු වුවත් ඇසල පෙරහැර සමය තුල  සංචාරකයින්ගේ පැමිණීම ඉහල ගොස් තිබෙනවා. දෙස් විදෙස් සංචාරකයින් බියෙන් තොරව ඇසල පෙරහැර නැරඹිමට පැමිනියා. ප්‍රහාර එල්ල වූ අවස්ථාවේ අප ආර්ථිකය කඩා වැටෙන්නට නොදී මේ වසර අවසන්  වීමට පෙර සංචාරක ව්‍යාපාරය නැවත ගොඩනගන බවට පොරොන්දු වුණා. බොහෝ පිරිසක් සංචාරක ව්‍යාපාරයෙන් තම ජීවිකාව කරගෙන යන නිසා අපගේ අවධානය ඒ වෙනුවෙන් යොමු වූ බව සඳහන් කළ යුතුයි.

අද උදෑසන සංචාරක අධිකාරියේ සභාපතිතුමාගෙන් මම විමසූ විට සංචාරකයින් ලක්ෂ 20ක් මේ වසර තුල පැමිණෙන බවට ඇස්තමේන්තු කර තිබෙන බව එතුමා සඳහන් කළා.  පසුගිය වසර තුල ලක්ෂ 23ක් වන සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට පැමිණි බව එතුමා වැඩිදුරටත් සඳහන් කළා. බෝම්බ ප්‍රහාරය සිදු නොවුනානම් මීටත් වඩා අපට සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයක් ඇතිකර ගැනීමට අවස්ථාව තිබුණු බව සඳහන් කළ යුතුයි. සංචාරකයින්ගේ පැමිණීම මේ වසර අවසන් වන විට පසුගිය වසරට සමාන ප්‍රමාණයක් දක්වා වර්ධනය කරගත හැකි බව සඳහන් කිරීමට කැමතියි.

ඇතමුන් ආර්ථිකය කඩා වැටේවියැයි නොයෙක් ප්‍රකාශ සිදුකළා. පාස්කු ප්‍රහාරයෙන් පසු මාස 03ක කාලයක් අපහසු තත්වයක් තිබුණත් ක්‍රමානුකඣලව ආර්ථිකය දියුණු වෙමින් ආයෝජන පැමිණෙමින් තිබෙනවා. රටට බෝම්බ ප්‍රහාර එල්ලවුවත්, අපට දෝෂාරෝපණ එල්ල කළත් රට ඉදිරියට ගෙන යෑමේ වැඩ කටයුතු අපි ඉදිරියටම ගෙන ගිය බව සඳහන් කළ යුතුයි. අපි නිදහසට හේතු සඳහන් කළේ නැහැ. එම ප්‍රහාරයට සැබෑ හේතු සේවීමට  පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවක් අප ඇති කළා.

පළමුව ප්‍රහාරයට සම්බන්ධ අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන් සියල්ලම අත්අඩංගුවට ගැනීමට පියවර ගනු ලැබුවා. සියලූ අභියෝග හමුවේ වුවත් ගම්පෙරළිය වැඩසටහන ක්‍රියාත්මක කිරීම, අළුතින් සමෘද්ධි සහනාධාර ලබාදීම ඇතුළු විශාල වැඩකොටසක් සිදුකළා. කිසිම අවස්ථාවක රට කඩා වැටීමට අප ඉඩ තැබුවේ නැහැ. සංචාරක ව්‍යාපාරය මේ නොවැම්බර් මස සිටම වැඩිදියුණු කිරීමට සැලසුම් සකස් කර තිබෙනවා. එම සැලසුම් තුලින් පැමිණෙන සංචාරකයින්ගෙන් උපයන ආදායම හෝටල්වලට පමණක් සීමා නොවී හෝම්ස් ස්ටේ හා ත්‍රීරෝද රථ හිමියන්ටත්, අනෙකුත් අංශ වලටත් හිමිවෙන බව සඳහන් කළ යුතුයි.

මෙම ස්ථානයේ පිහිටි හිරගෙදර නිදහසේ කේන්ද්‍රයක් බවට පත්කර තිබෙනවා. ඒ වගේම මහනුවර ප්‍රධාන නගරයක් බවට පත්කර නවීන ලෝකය හා සම්බන්ධ කිරීමට පියවර ගන්නවා. තවත් වසර 5කින් එහි ප්‍රතිඵල ඔබට ලැබෙන බව සඳහන් කරන්න කැමතියි.

අපි මේ දියුණුව ඉදිරියට ගෙනියනවාද, නැතිනම් පැරණි තත්වයට පත්වෙනවාද, කියා ඔබෙන් අහන්න කැමතියි. අපි මෙය නිදහසේ කේන්ද්‍රයක් බවට පත්කරනවාද, නැතිනම් සිරගෙට යනවාදැයි යන ඔබේ තීරණය  මත මහනුවර අනාගතය තීරණය වන බව සඳහන් කරන්න කැමතියි.

ඒ වගේම මට ආරාධනා කිරීම පිළිබඳව ස්තුතිය පළකරමින් මෙම මධ්‍යස්ථානයට මාගේ සුභ පැතුම් එක්කරනවා.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම,  මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය සහ පාර්ලිමේන්තු සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල, නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අකිරා සුගියාමා, මහනුවර නගර සභාවේ නගරාධිපති කේෂර සේනානායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් යන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගීවී සිටියහ.

t

o

p