ත්‍රස්තවාදයෙන් විනාශ වූ අපේ ගෙවල් හදාදුන් යුද හමුදාවට අපේ ගෞරවනීය ස්තූතිය – වෙල්ලමුල්ලි වයික්කාල් ජනතාව

April 4, 2014

ඇන්ටනි ජෝසප් සවරිනායගම්

ඇන්ටනි ජෝසප් සවරිනායගම්

අපේ ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා හා ආරක්ෂක හමුදාවන්ගේ සහයෝගයෙන් අපේ ජනතාව ඉතා සංතෝෂයෙන් ඉන්නා බව වෙල්ලමුල්ලි වයික්කාල් ග්‍රාමයේ ඇන්ටනි ජෝසප් සවරිනායගම් මහතා ඊයේ (03) මුලිතිව්, වෙල්ලමුල්ලි වයික්කාල් ගම්මානයේ දී පැවසුවේය.

වෙල්ලමුල්ලි වයික්කාල් නැගෙනහිර ප්‍රදේශයේ ත්‍රස්වාදීන් නිසා විනාශයට පත් ව යුද හමුදාව මඟින් සම්පූර්ණයෙන් අලුත්වැඩියා කරන ලද නිවාස 9ක් ඊයේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ජනතා අයිතියට පවරාදුන් අවස්ථාවේ එම ගම්මානයේ ජනතාව වෙනුවෙන් උත්සව සභාව අමතමින් සවරිනායගම් මහතා එසේ පැවසුවේය.
එල්ටීටීඊ ක්‍රියාකාරිකයෙකු ව සිට පුනරුත්ථාපනය වූ ඇන්ටනි මහතා සිංහල භාෂාවෙන් සභාව අමතමින් “ආරක්ෂක හමුදාවෙන් අපෙන් ඇහුවා අපිට මොනවද වෙන්න ඕන කියලා. අපි කිව්වා ත්‍රස්තවාදීන් විනාශ කළ අපේ ගෙවල් අපට හදා දෙන්න කියලා. මාස එකකුත් දින 10ක් වැනි කාලයක දී මේ ගෙවල් හරි ලස්සනට අපට හදලා දුන්නා. ඒ නිසා අපි යුද හමුදාවේ මහත්වරුන්ට ස්තූතිවන්ත වෙනවා. අපේ ගෙවල් හදා දෙන්න උදව් කළ ආරක්ෂක ලේකම්තුමාට, යුද හමුදාපතිතුමාට මුලතිව් ආඥාපති මේජර් ජනරාල් ජගත් ඩයස් මහතා ඇතුළු හමුදාවේ හැම දෙනාටම අපේ ගමේ ස්තූතිය මේ අවස්ථාවේ අපි පළ කරනවා.
අද ආරක්ෂක ලේකම්තුමා දැකීම අපට ලොකු සතුටක්. අපට තේරුණා අපිව බලාගන්න යුද හමුදාපතිතුමා වගේ ම ඔබතුමාත් ඉන්නවා කියලා.  අපේ ජනාධිපතිතුමාත් ආරක්ෂක හමුදාවත් එක්ක අපේ ජනතාව සංතෝෂයෙන් ඉන්නවා කියලා අපේ ජනතාව වෙනුවෙන් මම කියනවා” යැයි ඇන්ටනි මහතා කීය.
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ 68 වන සේනාංකයේ භට පිරිස් විසින් වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේ ඉදිකරන ලද නිවාස 8ක් ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් එහි අයිතිකරුවන්ට භාර දීමේ උත්සවය ඊයේ මුලිතිව් වෙල්ලමුල්ලි වයික්කාල් නැගෙනහිර ගම්මානයේ දී සිදු කෙරුණි.
යුද හමුදාවේ අරමුදල් සහ ශ්‍රමය යොදා මේ නිවාස සාදා දීමේ පළමු අදියර යටතේ ඉදිකරන ලද නව නිවසක් සංකේතාත්මකව භාරදීමෙන් අනතුරුව තවත් නිවාස 8ක යතුරු නිවාසලාභීන් වෙත භාරදීම රාජපක්ෂ මහතා අතින් සිදු කෙරුණි.

vellamulli vaikkal housing proect_1 vellamulli vaikkal housing proect_4

2004 සුනාමි ව්‍යසනය අවදියේ සහ 2009 යුද වාතාවරණය පැවති සමයේ මේ ප්‍රදේශයේ සිටි ජනතාව අවතැන් වී සිටියහ. ඒ වනවිට පවුල් 566ක් වෙල්ලමුල්ලි වෛක්කාල් ප්‍රදේශයේ ජීවත්වූහ. මානුෂීය මෙහෙයුමේ අවසන් අදියරේදී ත්‍රස්තවාදීන් ජනතාව මිනිස් පළිහක් ලෙස හිරකර තබා සිටි එක් ප්‍රදේශයක් වන්නේ වෙල්ලමුල්ලි වයික්කාල් ගම්මානයයි.

මේ වනවිට එහි පවුල් 496ක් නැවත පදිංචිකිරීම් ආරම්භ කර ඇත. නිවාස 150ක් විවිධ පරිත්‍යාගශීලී ආයතනවලින් ඉදිකර දී ඇති අතර නිවාස 32ක් අයිතිකරුවන් විසින් ම සාදාගෙන ඇත. තවත් ඉතා දිළිඳු පවුල් 74ක් මෙහි වෙසෙන අතර ඉන් නිවාසවල අවශ්‍යතාව වෙනුවෙන් ප්‍රමූඛත්වය දිය යුතු අය හඳුනාගෙන යුද හමුදාව මෙම නිවාස 9 ඉදිකර දී තිබේ. තවත් නිවාස 11ක ඉදිකිරීම් යුද හමුදාවෙන් මේ වනවිට සිදුකරනු ලබයි.
68 වන සේනාංකයේ මැදිහත්වීම මත AIA රක්ෂණ සමාගම මඟින් වෙල්ලමුල්ලි වෛක්කාල් පාසලට අඩි 100×20 ගොඩනැගිල්ලක් ලබාදීමට ද පියවර ගෙන තිබේ. මෙම ප්‍රදේශයේ බහුතර ජනතාව ධීවර කර්මාන්තයේ නියැළෙන අතර ඔවුන් කතෝලික ආගම අදහන අය වේ. ඔවුන් වෙනුවෙන් දේවස්ථානයක් ද ඉදිකර දීමට ද යුදහමුදාව කටයුතු කර ඇත.
ඊයේ නිවාස භාරදීමේ උත්සවයට යුද හමුදාධිපති ලුතිතන් ජනරාල් දයා රත්නායක, මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් ජගත් ඩයස්, 68 වන සේනාංකාධිපතිවරයා ඇතුළු ආරක්ෂක හමුදාවල හා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද රජයේ නිලධාරීන් රැසක් ද නිවාසලාභීන් ඇතුළු ජනතාව විශාල පිරිසක් ද එක්ව සිටියහ.

Courtesy: news.lk

The Editor

Previous story Next story

Leave a comment

t

o

p