අපද්‍රව්‍ය මෙරටට ගෙන්වීමට ඉඩ සැලසු ගැසට් නිවේදනය අවලංගු කරනවාද ජවිපෙ විමසයි

July 23, 2019

‍මෙරටට අපද්‍රව්‍ය ගෙන්වීම සදහා අවසර දෙනු ලැබු ගැසට් නිවේදනය අවලංගු කරන්නේදැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදි අද (23) රජයෙන් ප්‍රශ්න කර සිටියේය.

ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්නයක් මතු කරමින් අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීය.

නීතියේ සිදුරකින් රිංඟා අපද්‍රව්‍ය අඩංගු බහාලුම් සිය ගණනක් මෙරටට ආනයනය කර ඇති බවට වන පුවත් හේතුවෙන් පැනනැගී ඇති ගැටලුකාරී තත්වය පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි.

අපද්‍රව්‍ය අඩංගු බහලුම් සිය ගණනක් බි්‍රතාන්‍යයෙන් ආනයනය කර ඇති බවටත් කුමන හෝ අවස්ථාවක එම අපද්‍රව්‍ය මෙරට පරිසරයට මුදාහැරීමට ඉඩ ඇති බවටත් එලෙස අපද්‍රව්‍ය මෙරටට ගෙන්වා ඇත්තේ ඒ සඳහා ඉඩකඩ ලබා දුන් ගැසට් නිවේදනයක් මගින් බවටත් තොරතුරු වාර්තා වනවා.

වාර්තා වන අන්දමට අපද්‍රව්‍ය අඩංගු බහලුම් 225කට ආසන්න ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ඇති අතර බහාලුම් 102ක් පමණ වරාය තුළදී රේගු අත්අඩංගුවට පත්වී තිබෙනවා. කෙසේ වුවද මේ වන විටත් ආනයනය කළ තොගයෙන් බහාලුම් 120ක් පමණ වරායෙන් මුදාගෙන කටුනායක වෙළඳ කලාපය තුළ ගබඩා කර තිබෙන බවටද වාර්තා වනවා.

මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් පිරිසක් ජූලි 17වැනි දින එම ස්ථානයට ගොස් ඇති අතර ගොඩගසා ඇති අපද්‍රව්‍යවලින් යම් බහලූම් ප්‍රමාණයක් මේ වන විටත් ප්‍රති අපනයනය කර ඇති බවත් ඉතිරි අපද්‍රව්‍යද ප්‍රති අපනයනය කිරීමට පියවර ගන්නා බවත් ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වුවද මෙම නිලධාරීන් විසින් ඉදිරිපත් කරන්නේ අපද්‍රව්‍ය මෙරටට ගෙන්වූ ජාවාරම්කරුවන් විසින් ලබාදෙන තොරතුරු මිස ඔවුන් අධීක්ෂණය කර ලබා ගත් ඒවා නොවන බවට චෝදනා ඉදිරිපත් වනවා. එබැවින් සැබෑවටම ආනයනය කළ ප්‍රමාණය හා ප්‍රතිඅපනයනය කළ ප්‍රමාණය පිළිබඳ තොරතුරු ලැබී නොමැති බැවින් ගැටලුකාරී තත්වයක් පවතිනවා.

අනාවරණය වන අන්දමට මේ වන විටද ගොඩබාන ලද අපද්‍රව්‍යවලින් සැලකිය යුතු ප්‍රමාණයක් පරීක්ෂාවෙන් බැහැරවී රට තුළට පැමිණ ඇති අතර ඉතිරි ඒවාද සූක්ෂම ලෙස එසේ බැහැර කරනු ලැබීමට ඉඩ තිබෙනවා. මෙවැනි තත්වයක් ඇති වුවහොත් අපේ රටේ පරිසර පද්ධතියට සිදුවිය හැකි හානිය ගණනය කළ නොහැකියි. එමෙන්ම එහි හානිදායක තත්වය ඉදිරි පරම්පරාවලටද විඳීමට සිදුවනු ඇති බවට සැකයක් නැහැ.

මෙම අපද්‍රව්‍ය ආනයනය කිරීමේ ජාවාරම සඳහා අවශ්‍ය නීතිමය ඉඩකඩ සකස් වී ඇත්තේ පසුගිය ආණ්ඩුව සමයේ හිටපු ජනාධිපතිවරයාද වන මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා විසින් 2013.07.11වැනි දින නිකුත් කළ අංක 1818-30 දරන ගැසට් පත්‍රය මගින් බවට රේගු ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ තත්වය තුළ පැන නගින පහත ගැටලුවලට පිළිතුරු අදාළ අමාත්‍යවරයා විසින් සභාව හමුවේ තබනු ඇතැයි අපේක්ෂා කරනවා.

01. අපද්‍රව්‍ය අඩංගු බහලුම් කොපමණ ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ඇත්ද? ඒ කුමන කාලයේද? ගෙන්වා ඇත්තේ කවුරුන් විසින්ද?
02. ආනයනය කරන ලද අපද්‍රව්‍ය සහිත බහාලුම් කොපමණ ප්‍රමාණයක් රටින් බැහැර කොට තිබේද? කොපමණ ප්‍රමාණයක් රට තුළ පවතීද?
03. කටුනායක වෙළඳ කලාපය තුළ ඇති අපද්‍රව්‍ය තොග හා කොළඹ වරාය තුළ ඇති අපද්‍රව්‍ය බහාලුම් සියල්ලම විධිමත් පරීක්ෂාවක් යටතේ ප්‍රතිඅපනයනය කිරීමට කටයුතු යොදන්නේද?
04. මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයින්ට අදාළ නීතිමය පියවර ගනු ලබන්නේද?
05. මෙරටට අපද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ඉඩකඩ සැලසූ 2013.07.11වැනි දින නිකුත් කළ අංක 1818/30 දරන ගැසට් පත්‍රය අවලංගු කිරීමට කඩිනමින් පියවර ගන්නේද?

t

o

p