අගමැති රන්ජන් රාමනායකගෙන් නිදහසට කරුණු විමසයි

July 15, 2019

භික්ෂූන්වහන්සේලාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක කළ ප්‍රසිද්ධ ප්‍රකාශය පිළිබදව වහාම කරුණු දක්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඔහුට ලිඛිතව දැනුම් දී තිබේ.

රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය පක්ෂයේ මතයට පරස්පර විරෝධි ප්‍රකාශයක් බැවින් ඔහු දැක්වූ අදහස් සම්බන්ධයෙන් පැහැදිලි කිරිමක් ලබන 21 දාට පෙර දැනුම් දෙන ලෙසද අග්‍රාමාත්‍යවරයා දැනුම් දී ඇත.

අග්‍රාමාත්‍යවරයා රාජ්‍ය ඇමතිවරයාගෙන් නිදහසට කරුණු විමසා යැවූ ලිපිය මෙසේය.

ශ්‍රී ලංකාවේ විහාරස්ථානයන්හි වෙසෙන මහා සංඝරත්නය සම්බන්ධයෙන් මෑතකදී ඔබ දැක්වූ අදහස් පිළිබඳව මගේ දැඩි අවධානය යොමු වී ඇත.

මහා සංඝරත්නය විෂයයෙහි ඔබ දැක්වූ එකී අදහස් පිළිබඳව පැහැදිලි කිරීමක් 2019 ජූලි 21 වන දා ට පෙර මා වෙත ලිඛිතව යොමු කරන මෙන් මෙයින් දන්වා සිටිමි.

ඔබ පළ කර ඇති අදහස් පක්‍ෂ නායකත්වයේ හා පක්‍ෂයේ අදහස් සමග පරස්පර බවද මෙහිලා අවධාරණය කරනු කැමැත්තෙමි.

පාරම්පරිකව අප පවුලේ සාමාජික සාමාජිකාවන් බෞද්ධ විහාරස්ථාන හා සමීපව කටයුතු කරමින් ඒවා ගොඩනැංවීමට හා සංවර්ධනය කිරීමට දායකත්වය දැක්වූවෝ වෙති. කැළණිය රජමහා විහාරය, ගංගාරම විහාරය ප්‍රමුඛ විහාරස්ථාන ගණනාවක විහාරාධිපති ස්වාමීන්වහන්සේලා සහ අනෙකුත් ස්වාමීන්වහන්සේලා වෙත සිව්පසය සපයමින් ඔවුන්ගේ අධ්‍යයන හා ශාසනික කාර්යයන් සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙමින් සමීපව කටයුතු කරන්නෙමු.

එවැනි පසුබිමෙක ඔබේ ප්‍රකාශයේ සඳහන් කරුණු අග්‍රාමාත්‍යවරයා වශයෙන් මෙන්ම එක්සත් ජාතික පක්‍ෂයේ නායකයා වශයෙන් ද තරයේ ප්‍රතික්ෂේප කරන බවද අවධාරණය කරනු කැමැත්තෙමි.

t

o

p