සහරාන් හෂීම් මිය ගොස් ඇති බව තහවුරුවේ

May 21, 2019

 

පාස්කු ඉරු දින ප්‍රහාර මාලාවේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ෂැන්ග්‍රිලා හෝටලයේ සිදුවූ ප්‍රහාරයෙන් මියගොස් ඇති බව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව තහවුරු කර තිබේ.

සහරාන් හෂීම්ගේ සහ ඔහුගේ දියණියගේ ඩී.එන්.ඒ සාම්පල සැසඳීමේ දී මේ බව තහවුරු වී ඇති බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කළේය.

පසුගිය මස 21 වනදා දේවස්ථාන හා හෝටල් සංකීර්ණ ඉලක්ක කරගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් සිදුවූ අතර  ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු ලෙස හදුනාගෙන තිබේ.

එදින ෂැන්ග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකක් සිදුවූ අතර ඉන් එක් ප්‍රහාරයක් සහරාන් හෂීම් විසින් සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබුණි.

කෙසේවෙතත් ප්‍රහාරයෙන් සහරාන් හෂීම් මිය නොගිය බවට සැක මතුවීම හේතුවෙන් ඔහුගේ දියණියගේ රුධිර සාම්පල ලබාගෙන ඩී.එන්.ඒ වාර්තාවක් කැඳවීමට ද අධිකරණය නියෝග කළේය.

සිදුකළ පරීක්ෂණවල දී ෂැන්ග්‍රිලා හෝටලේ ප්‍රහාරයෙන් සොයාගත් සහරාන් හෂීම්ගේ ශරීර කොටස්වලින් ලබාගත් ඩී.එන්.ඒ සාම්පල හා ඔහුගේ දියණියගේ ඩී.එන්.ඒ සාම්පල සැසඳෙන බවයි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

ඒ අනුව අදාළ වාර්තාව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද (21) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතය.

ඉන් අනතුරුව එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් වේ.

 

t

o

p