ජාත්‍යන්තර සහාය උපරිමයෙන් ගෙන ත්‍රස්තවාදය මුලිනුපුටා දමනවා – අගමැති

April 23, 2019

ජාත්‍යන්තර සහාය උපරිමයෙන් ලබාගෙන ත්‍රස්තවාදය මුලිනුපුටා දමන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තුවේදි අද (23) ප්‍රකාශ කළේය.

රටතුළ උද්ගතව ඇති තත්ත්වය පිළිබද සාකච්ඡා කිරිම සදහා කැදවු විශේෂ පාර්ලිමේන්තු රැස්වීමේදී අදහස් පළ කරමින් අගමැතිවරයා මෙසේද කීය.

අද ගෝලීය ත්‍රස්තවාදයේ කොටසකට අපි ඇතුළුවෙලා. මේ ත්‍රස්තවාදය කළ අය එහි කොටස්කරුවන්. අද තත්ත්වය එදාට වඩා වෙනස්. එදා යුද්ධයක් තිබුණා. ගරිල්ලා හා සාම්ප්‍රදායික සටනට අමතරව මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් එදා බෝම්බ දැමුවා. ඒ බිම් මට්ටමේ යුද්ධයට සහායක් ලෙසයි. යුද්ධය අවනස්වූ පසු 2009 දී ගුවන් යානා බෝම්බ දැමිම් වෙනස් වුනා.

අද තියෙන්නේ ඊට වඩා වෙනස් තත්ත්වයක්. එදා දේශපාලන අරමුණකින් සටන් කළේ. එක්සත් රාජධානිය, උතුරු අයර්ලන්තයේ ‍ ෆොක්ලන්ඩ්වල සාම්ප්‍රදායික යුද්ධයක් කළා. අද තියෙන්නේ කාර්වලින් ඇවිත් මිනිස්සු මරණ තත්ත්වයක්. ගෝලීය ත්‍රස්තවාදය අනුව ජාත්‍යන්තරය පදනම් කරගත් ත්‍රස්තවාදයට වඩා ආගම පදනම් කරගත් ත්‍රස්තවාදය ඉදිරියට ඇවිත් තිබෙනවා.

එංගලන්ත මහාධිකරණය ශකීර් බෙග් නඩුවෙන් මෙය කියා තිබෙනවා. ඒ අනුව මෙය වැටෙන්නේ ත්‍රස්තවාදයට. අද තියෙන්නේ සංවිධානාත්මක දීර්ගකාලීන ත්‍රස්තවාදයක්. අතලොස්සක් සහභාගී වුනත් මෙය දිගුකාලීන සැලසුම් ඇති හොද පුහුණුවලත් පිරිසක් කරන දෙයක්. මෙවැනි ප්‍රහාර කිහිපයක් සැලසුම්කර තිබෙනවා. මෙහි කොටසක් අපි නතර කර තිබෙනවා.

අද ආරක්ෂක හමුදාව, පොලීසිය, බුද්ධි අංශය මේ අය අත්අඩංගුවට ගන්න ක්‍රියා කරනවා. හිදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගැනීමේ බලය හමුදාවටත් , රදවා ගැනීමේ බලය ත්‍රිවිධ හමුදාවට හා පොලීසියට බාරදී තිබෙනවා. දැනට කිහිප දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුස්ලිම් ජනතාව මෙයට විරුද්ධයි. ඨිට විරුද්ධ සියලු ජනතාව එකතු විය යුතුයි.

ආර්ථික හානීය මෙතන අරමුණ වී තිබෙනවා. අපේ හොදම සිංහල දෙමළ අලුත් අවුරුද්දේ මුදල් තිබි ආර්ථිකය නැගී එද්දීයි මේ පහරදිම් කළේ… තව අවුරුදු තිහක යුද්ධයකට යන්න අපි ඉඩ තබන්නේ නැහැ. මෙය අප අවසන් කරනවා.

එක්සත් ජාතීන් සම්මත කළ ලෝකය ත්‍රස්තවාදයෙන් තොර කිරීමේ ප්‍රඥප්තිය මගින් කියා තිබෙනවා රටවල අර්බුද ඇති කරන අය අත්අඩංගුවට ගැනීමට, අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීමට, ඔවුන්ට මුදල් දෙන අය අත්අඩංගුවට ගැනීම, නව තාක්ෂණය අනුව ඔවුන් සොයා ගැනීම පිළිබදව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සෑම රටකින්ම ඉල්ලා තිබෙනවා. මේ සදහා සහාය දෙන ලෙස විදෙස් නායකයින් පොරොන්දු වුනා.

ශ්‍රීලංකාවට සහාය දෙන්න. ජාත්‍යන්තරයේ සහාය ලබාගෙන මේ ත්‍රස්තවාදය නැති කරන්න අප කටයුතු කරනවා. ජාත්‍යන්තර සහායෙන් අප උපරීම ප්‍ර යෝජන ගත යුතුයි. මීට වඩා අමාරු අභියෝගවලට අපි මුහුණ දී තිබෙනවා.

t

o

p