ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වී ඇති බව ලෝකය අද පිළිගනිමින් සිටිනවා – අගමැති

March 26, 2019

ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වී ඇති බව ලෝකය අද පිළිගනිමින් සිටිනවා යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

කොළඹ නිදහස් චතුරශ්‍රෙය් පැවැති ඩි.එස් සේනානායක මහතාගේ ගුණ සමරු උත්සවය අමතමින් අගමැතිවරයා මේ බව කීවේය. එහිදි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

ඩී.එස්. සේනානායක මැතිඳුන්ගේ ගුණ සැමරීමේ මෙම උත්සවයේදී එතුමා පිළිබඳ කරුණු ගණනාවක් සාකච්ඡා වුණා. එම නිසා ඒ පිළිබඳව මම නැවත නැවත පැවසිය යුතු නැහැ. එම නිසා එතුමා ගැන එක් විශේෂ කරුණක් මේ අවස්ථාවේ පැවසීමට මම බලාපොරොත්තු වෙනවා.

එතුමා එදා ආසියාවේ ප්‍රමුඛ පෙළේ නායකයෙක් ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටියා. දෙවන ලෝක යුද්ධයේදී පැසිස්ට් හමුදා ඉදිරියට ගියා. මිත්‍ර පක්‍ෂික රටවල හමුදා පරාජයට පත් වුණා. 1942  ඉතා අපහසු වර්ෂයක් බවට පත්වුණා. පැසිස්ට් හමුදා විසින් බුරුමය, මියන්මාරය, මැලේසියාව, ඉන්දුනීසියා ආදී රටවල් සියල්ල යටත් කරගත්තා. එම යුද තර්ජනය නිසා මේ කලාපයේ සියලූ රටවල් බියෙන් ජීවත් වුණා.

එම කාලයේදී ඩී.එස්. සේනානායක මැතිතුමාත් සර් ඩී.බී. ජයතිලක මැතිතුමාත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සහයෝගය ලබා දෙන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මිත්‍ර පාක්ෂික  හමුදාවෙත සහයෝගය ලබා දෙන බවට ඔවුන් එදා බිය නැතිව තීරණය කළා. ආසියානු නායකයින් අතරින් එවැනි එඩිතර තීරණයක් ගත්තේ ඔහු පමණයි.

මෙම යුද්ධයෙන් ජයග්‍රහණය කරන්නේ මිත්‍ර පක්‍ෂික සේනා බව එදා එතුමා ජේ.ආර්. ජයවර්ධන, ඩඩ්ලි සේනානායක යන මහත්වරුන්ට පැවසුවා. එතුමා මේ රට වෙනුවෙන් නිදහස ලබා ගැනීමට තරම් ශක්තියක් ලැබුණේ එම ධෛර්ය නිසායි. මෙම ආසියානු කලාපීය නායකයින් පළමු වරට රැස් වූයේත් නිදහස් ලංකාවේ නායකයා වූ එතුමාගේ ප්‍රධානත්වයෙන්.

කොළඹ සැලැස්ම ක්‍රියාත්මක වූයේත්, මහජන චීනය පිළිගැනීමට ලක් වූයේත්, ඉන්දුනීසියාව පිළිගැනීමට ලක් වූයේත්, එතුමා නිසායි. ශාන්ත ෆ්‍රෑන්සිස්කෝ සමුළුවේදී ජපානයට නිදහස ලබා දිය යුතු යැයි පැවසීමට ජේ.ආර්. ජයවර්ධන මහතා එම සමුළුවට පිටත් කර හැරියේත් එතුමායි. මෙම කටයුතු නිසා ඩී.එස්. සේනානායක මැතිතුමා කලාපීය ප්‍රසිද්ධ නායකයෙක් ලෙස පිළිගැනීමට ලක් වී තිබුණා.

එතුමාගේ අරමුණ වූයේ අපේ නිදහස හා පරමාධිපත්‍ය ආරක්‍ෂා කර ගනිමින් මිත්‍රත්වයෙන් සෑම රටක් සමග ඉදිරියට යාමයි. ආසියාව ඇතුළු සියලූම රටවල් සමග සබදතා පවත්වා ගනිමින් ඉදිරියට යාමට එතුමා කටයුතු කළා. අද අපි මේ ඉෂ්ඨ කරමින් සිටින්නේ එම වගකීමයි. එතුමාගේ ප්‍රතිපත්තියට අනුව කටයුතු කිරීම අපි භාරගෙන තිබෙනවා.

අපේ රට වෙනුවෙන් අන්තර් ජාතික යුද අධිකරණයක් අවශ්‍ය යැයි පැවසූ විට අපේ විදේශ කටයුතු ඇමැතිවරයා පැවසූවේ එය අවශ්‍ය නොවන බවයි. අපට ස්වාධීන අධිකරණයක් තිබෙන බවත් එම නිසා ජාත්‍යන්තර අධිකරණයක් පිළිගැනීමට නොහැකි බවත් අපි ඊයේ සහ අද මානව හිමිකම් කවුන්සිලයේ දී ප්‍රකාශ කළා. ඒවගේම මෙම රට නිදහස් රටක් බවත්, මානව හිමිකම් කොමසාරිස්තුමිය හෝ වෙනත් ඕනෑම අයෙකුට මේ රට නිරීක්‍ෂණය සඳහා ඕනෑම අවස්ථාවක පැමිණිය හැකි බවත් අපේ විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ඒ හරහා පෙන්නුම් කළේ අපේ රටේ ස්වාධීනත්වයයි.

රට විකුණනවා යැයි එදා ඩී.එස්. සේනානායක මැතිතුමාටත් චෝදනා කළා. අද අපිටත් එසේම චෝදනා කරනවා. නමුත් අපි කටයුතු කරන්නේ රටේ අනාගතය වෙනුවෙන් බව පැවසිය යුතුයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ එදා එක්සත් ජාතීන්ගේ සමුළුවේ මහ ලේකම් බෑන්කීන් මූන් සමග 2009 මැයි 29 දා ගිවිසුමකට එළැඹුණා. ඓක්සත් ජාතීන්ගේ මහලේකම්තුමා, වගවීම් ක්‍රියාවලිය පිළිබඳ ජාත්‍යන්තර මානුෂික හා මානව හිමිකම් උල්ලඝංණය කිරීම පිළිබඳව ලංකා ආණ්ඩුවට දැනුම් දුන්නා. ඊට අවශ්‍ය පියවර ගැනීමට ලංකා ආන්ඩුව භාරගත්තාෙ යැයි එම ගිවිසුමේ සඳහන් වී තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර අධිකරණයක් පිළිගත්තේ මහින්ද රාජපක්‍ෂයි.

නමුත් එම කටයුතු සිදු කිරීමට අපි ඉඩ දුන්නේ නැහැ. අපි රට භාරගත් පසු රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරකින බව අපි පැවසුවා. එල්.ටී.ටී.ඊ. හෝ රටේ ආරක්‍ෂක අංශ නීතිය කඩ කර තිබෙනවා නම් ඊට විරුද්ධව කටයුතු කරන බවට අපි පොරොන්දු වුණා.

සිමාවෝ බණ්ඩාරනායක මැතිණිය, රණසිංහ පේ‍ර්මදාස ජනාධිපතිතුමා, චන්ඬිකා කුමාරතුංග ජනාධිපතිතුමිය ආදී නායකයින් ගේ කාලයේදී අපරාධ නීතිය උල්ලංඝනය කළ හමුදා සාමාජිකයින්ට විරුද්ධව නඩු දැම්මා. නමුත් මේ සියල්ල සිදු කළේ ලංකාවේ අධිකරණ තුළයි. අපිත් කටයුතු කළේ එම ආකාරයටයි. එසේ නොමැතිව මහින්ද රාජපක්‍ෂ කළ ආකාරයට බන්දේසියක තබා අපේ නඩු ජාත්‍යන්තර යුද අධිකරණයේදී විමසන්න යැයි ඔවුන්ට භාර දුන්නේ නැහැ. අපේ ස්ථාවරය අද ලෝකයම පිළිගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වී ඇති බව ලෝකය අද පිළිගනිමින් සිටිනවා. කථානායක තුමා පාර්ලිමේන්තු නිදහස ඇතිකර තිබෙනවා.

මේ තරම් වැඩ කොටසක් අපි සිදුකරද්දීත් රණවිරුවන් ජිනීවා ගෙන යනවා යැයි චෝදනා කිරීම පුදුමයට කරුණක්. අපිට එවැනි අවශ්‍යතාවයක් නැහැ. ත්‍රස්තාවාදියෙක් හෝ රණවිරුවෙක් වැරැද්දක් සිදු කර ඇත් නම් අපේ රට තුළ නඩු පැවරීමේ හැකියාව අපට තිබෙනවා.

අපේ රණවිරුවන් සාම හමුදාව ලෙස එක්සත් ජාතීන් හරහා මාලි රටට යැවීම නම් අපි සිදු කර තිබෙනවා. ඒ වෙනුවෙන් අපට අද ප්‍රශංසා ලැබෙනවා. ඉදිරියේදී බල ඇණියක්ම ඒ සාම මෙහෙයුම වෙනුවෙන් යැවීමට අපි කටයුතු කරනවා. අප සිදු කර තිබෙන්නේ රටවල් අතර සාමය ඇති කිරීමට වෙහෙස වීමයි.

ඩී.එස්. සේනානායක මැතිඳුන්ගෙන් අප ඉගෙනගත් දෙය එයයි. එතුමාගේ ගුණ සමරු අවස්ථාවේදී ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ අපේ ක්‍රමයට අනුව අපේ පරමාධිපත්‍ය තහවුරු කිරීමට හැකිවීම එතුමාගේ රට වෙනුවෙන් වූ බලාපොරොත්තු ඉටු කිරීමක් බව මම අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා.

එම අවස්ථාවට කතානායක කරූ ජයසූරිය, රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, අධිකරණ හා බන්ධාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ, ජනමාධ්‍ය අමාත්‍ය සහ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂණ රාජකරුණා, වසන්ත සේනානායක, කොළඹ  නගරාධිපතිනී රෝසි සේනානායක යන මහත්ම මහත්මීන් ප්‍රමුඛ දේශපාලනඥයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

PM Ds 1 PM Ds 2

t

o

p