මානව හිමිකම් මුවාවෙන් අධිකරණ පද්ධතියට කරන විදේශ මැදිහත්විම නතර කරන්න

March 14, 2019

මානව හිමිකම් මුවාවෙන්  ශ්‍රීලංකාවේ අධිකරණ  පද්ධතියට කිරිමට යන විදේශිය මැදිහත්විම නතර කරන ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදි අද (14) ආණ්ඩුවෙන් ඉල්ලිමක් කළේය.

ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්නයක් මතු කරමින් විපක්ෂ නායකවරයා මෙසේද කීය.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරය 2019 පෙබරවාරි 25 දින සිට මාර්තු 22 දක්වා ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවරදී පැවැත්වේ. මෙම සැසිවාරයේදී මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස්තුමිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාව සාකච්ඡාවට ගැනීමට නියමිතය. එකී වාර්තාව අනුව  ශ්‍රීලංකා රජය, මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස් ඇතුළු එක්සත් ජාතීන් (UN) සමග නිරන්තර සහයෝගයෙන් කටයුතු කර ඇත.

2015 වසරේ තමන්ද පාර්ශවකරු වෙමින් වත්මන් ආණ්ඩුව තමන් විසින් තමන් විසින්ම ශ්‍රීලංකාවට එරෙහිව මානව හිමිකම් සම්බන්ධ යෝජනාවක් සම්මත කර ගනු ලැබීය. එකී යෝජනාවට අනුව, මානව හිමිකම් මුවාවෙන් ශ්‍රීලංකාවේ ස්වාධීපත්‍ය හා ජාතික ආරක්ෂාවත්, ශ්‍රීලාංකික පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම්වලටත්, ශ්‍රීලංකික සන්නද්ධ හමුදාවේ පැවැත්මටත් බෙහෙවින්ම අගතිදායක තවත් නීති කිහිපයක්ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට ක්‍රියා කරමින් සිටියි.

මෙවන් පසුබිමක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්තුමිය 40 වැනි මානව හිමිකම් සැසිය සදහා ඉදිරිපත් කිරිමට නියමිත කෙටුම්පත් වාර්තාවේ මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධ නඩු විභාග කිරීම සදහා දෙමුහුන් අධිකරණයක්  ශ්‍රීලංකාව තුළ පිහිටුවිය යුතු බවටත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නිල කාර්යාලයක් ශ්‍රීලංකාව තුළ ස්ථාපිත කිරිමටත්, ශ්‍රීලංකාවේ මානව හිමිකම් පිළිබද මාතෘකාව මානම හිකිම් කවුන්සිලයේ න්‍යාය පත්‍රෙය් දිගටම පැවැතිය යුතු බවටත් යෝජනා කර ඇති බව මාධ්‍ය වාර්තා පළවේ.

මෙම යෝජනාව සම්බන්ධව ජනාධිපතිවරයාගේ ස්ථාවරයත්, අගමැති ප්‍රමුඛ ආණ්ඩුවේ ස්ථාවරයත් පරස්පර බව පෙනී යයි. විදේශ තානාපති සේවාවේ  අත්දැකීම් බහුල නිලධාරින්ගේ උපදෙස්වලට පටහැනිව 2015 දී ශ්‍රිලංකාවේ සම අනුග්‍රහකත්වය මත ගෙන එන ලද යෝජනාව සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවේ පටු දේශපාලන පරමාර්ථ පැහැදිලිවේ.

ශ්‍රීලංකාව සම පාර්ශවකරුවන් වෙමින් ඉදිරිපත් කෙරෙන වර්තමාන යෝජනාව මගින් සිදු වන්නේ දරුස්මාන් වාර්තාව ඇතුළු සාවද්‍ය තොරතුරු පදනම්ව 2015 වසරේ ඉදිරිපත් කළ 30/1 යෝජනාව තවදුරටත් ඉදිරියට ගෙනයාමකි.

මනාව හිමිකම් කවුන්සිලය දේශපාලනීයකරණයට ලක් වී ඇති බව පවසමින් මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය ද ඉන් ඉවත්වී ඇත. බ්‍රිතාන්‍යෙය් ගරු නේස්බි සාමිවරයා විසිින් හෙලි කරන ලද සත්‍ය තොරතුරු හා නිරීක්ෂන ද සැලකිල්ලට ගෙන රජය ඉහත කී යෝජනාවෙන් ඉවත්වීමට කටයුතු කළ යුතුය.

මෙවන පසුබිමක, මානව හිමිකම් කවුන්සිලයේ 40 වෙනි සැසිවාරයේ ඉදිරිපත් කිරිමට නියමිත වාර්තාව හරහා මානව හිමිකම් මුවාවෙන් ශ්‍රීලංකාවේ අධිකරණ පද්ධතිය හෑල්ලුවට ලක් කරමින් රට තුළ ස්ථාපිත කිරීමට උත්සාහ දරන විදේශිකයන්ගේ මැදිහත්වීම නතර කිරීමට රජයක් ලෙස වහා මැදිහත් විය යුතු බවට මෙම ගරු සභාවට යෝජනා කර සිටින අතර, මේ සම්බන්ධව ආණ්ඩුවේ ස්ථාවරය ගරු සභාවට පැහැදිලි කරන ලෙස යෝජනා කර සිටිමි.

t

o

p