ටීඑන්ඒ එකේ අයට අවශ්‍ය අවශ්‍ය විධියට ජාතිවාදී ප්‍රකාශ කරන්න, රටට එරෙහිව ක්‍රියාකරන්න ඉඩ දිය යුතු නෑ

March 27, 2014

pathalee Champika & Rev Ratana thero

මුල් වතාවට වඩා මෙවර ජිනීවා යෝජනාවේ අරමුණු හා වපසරිය පුළුල්  වූ බවක් පැහැදිළියි. යෝජනාවේ ආරම්භක හැඳින්වීමේ හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියානි ආගමික පිරිස්වලට එල්ල කරන ප්‍රහාර සම්බන්ධයෙන් සඳහන් කර තිබේ. අධිකරණයේ නිදහස, කාන්තා හිංසනය, මාධ්‍ය නිදහස වැනි සමාජමය කරුණු ගණනාවක් යෝජනාවේ හැඳින්වීමේම සඳහන් කර තිබේ. යුධ අපරාධ පිළිබඳව නොව ක්‍රම ක්‍රමයෙන් මෙම වපසරිය පුළුල් කිරීමක් දැකිය හැකිය. මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයට හා මානව හිමිකම් කොමසාරිස්වරයාට ශ්‍රී ලංකාව තුළ ස්වාධීන පරීක්ෂණයක් කිරීමට පැවරීමක් පැහැදිලිවම ලබාදී තිබේ.

මේ සම්බන්ධව වහාම දේශීය යාන්ත්‍රණයක් මගින් මේ කාලසීමා නිර්ණයන්ට යටනොවී (LLRC කාලසීමා යාන්ත්‍රණය) මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇති වූ යුධමය මැදිහත්වීම්, ත්‍රස්තවාදයට කරන ලද යම් යම් වරදාන ලබාදීම්, රටේ සාමය කඩවීම්, ජනයා පළවාහැරීම් ආදිය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සිටියේය. එතුමා මේ බව සඳහන් කර සිටියේ ”සංශෝධිත ජිනීවා කෙටුම්පත සහ එම ඡන්දය සම්බන්ධව ජාතික හෙළ උරුම මූලස්ථානයේ ඊයේ (26) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

2002 පෙබරවාරි 22 වන දින රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රභාකරන් සමඟ ගිවිසුමක් අත්සන් කළහ. 2009 මැයි 19 වන දින ප්‍රභාකරන් මිය යනතෙක් වූ කාලසීමාව තුළ සිදු වූ සිදුවීම් අළලා උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසම් වාර්තාව සකස් වී තිබේ. ජිනීවා යෝජනාවෙනුත් ඒ කාලසීමාව තුළ පමණක් සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබේ. එම අන්තර් ජාතික පරීක්ෂණ නොව දේශීය වශයෙන් අප පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. 1977 මහ මැතිවරණයෙන් පසු යාපනයේ ජීවත් වූ ජනයා පලවාහැරීම, 1979 යාපනයේ ජීවත් වූ ජනයා පලවාහැරීම, 1983  යාපනයේ ජීවත් වූ ජනයා පලවාහැරීම හා 1984 සිට මෙරටට ඉන්දීය මැදිහත්වීම් සිදු වූ ආකාරය ගැන අපි සොයාබැලිය යුතුයි.

තමිල්නාඩුවේ කඳවුරු ඉදිකර ආසන්න වශයෙන් 29000ක් දෙමළ තරුණයන් සඳහා යුධ පුහුණුව ලබාදුන් ආකාරය පිළිබඳව සාක්ෂි සාධක තිබේ. ඉන්දියාව අද ලංකාවට එරෙහිව ඡන්දය ලබාදෙන්නේ ද 2002 වර්ෂයේ සිට සිදු වූ සිදුවීම් මුල්කරගෙනය. ලංකාවේ පැවති තත්ත්වය සන්නද්ධ යුධමය තත්ත්වයකට පරිවර්තනය කිරීමට මුල් වූයේද, වග උත්තරකරුද ඉන්දියාවයි. මේ නිසා මෙම කාලසීමාව තුළ ඉන්දියාව කළ මැදිහත්වීම දේශීය යාන්ත්‍රණයක් මඟින් සොයාබැලිය යුතුයි. නෝර්වේ රාජ්‍ය මැදිහත් වී TRRO ව්‍යාපාරය, රෙඩ්බානා ව්‍යාපාරය සර්වෝදය පදනම් කරගෙන 1978 සිට උතුරේ නීති විරෝධී පදිංචිකිරීම් සිදු කළහ. පූරී සැලැස්ම යටතේ ඉන්දියාවේ පදිංචි කිරීමට නියමිතව සිටී 150000ක් වතු දෙමළ ජනයා වන්නියේ නීති විරෝධිව පදිංචි කළහ. මේ පිරිස LTTE යේ ප්‍රධාන යුධ උපකාරක බලඇණිය හා යුධ ගම්මාන පද්ධතිය බවට පත් වූහ. ඉන්දියාවට යැවීමට නියමිතව සිටි ලංකාවේ පුරවැසියන් නොවන පිරිසක් ශ්‍රී ලංකාව තුළ පදිංචි කරමින් මේ යුද්ධයට ප්‍රධාන බරපැන ලබාදීමක් නෝර්වේ රාජ්‍ය විසින් සිදු කරන ලදහ. මෙහි ප්‍රධානියා ලෙස කටයුතු කළේ ජෝන් වෙස්බර්ග්. ඔහු ලංකාවේ හිටපු තානාපති කෙනෙක් මෙන්ම  LTTE ත්‍රස්තවාදීන්ගේ ගිවිසුම් අත්සන් කිරීමේ ප්‍රධානියා ලෙසද කටයුතු කළා. මේ පුද්ගලයා හා මෙම පිරිස් නෝර්වේ රාජ්‍ය මූල්‍යමය වශයෙන්  LTTE යට ලබාදුන් ගුවන් විදුලි සේවාවන්, මූල්‍යමය ප්‍රතිපාදන, වරදාන මොනවාද, ප්‍රතිදාන මොනවාද යන්න අපි සොයාබැලිය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ප්‍රභාකරන් සමඟ ගිවිසුම් 03 කට එළැඹි අතර, 1995 චන්ද්‍රිකා  LTTE ය සමඟ සාම ගිවිසුමකට එළඹුණි. එම වකවානුව තුළ  LTTE ය ටොන් 20ක TNT පුපුරණ ද්‍රව්‍ය ලංකාවට ගෙන්වා ගත්තා. ගුවන් යානාවලට පහරදිය හැකි මිසයිල ගෙන්වා ගත්තා.

රනිල් වික්‍රමසිංහ 2002-2004 සාම ගිවිසුමක් අත්සන් කළා. එම කාලසීමාවේ LTTE ය විසින් කාලතුවක්කු ගෙන්වා ගත්තා. මේ සම්බන්ධව Sunday Times  පුවත්පතේ ඡායාරූපද පළ විය.  LTTEයට කාලතුවක්කු හමුදාවක් හදන්න, සබ්මැරීන හමුදාවක් හදන්න, ගුවන් යානා හමුදාවක් හදන්න මේ බලය ශක්තිය ලැබුනේ රනිල් වික්‍රමිසිංහ මහතාගේ පාලන කාලසීමාව තුළයි. රනිල් වික්‍රමසිංහ මහත්මයා පැහැදිලිවම මේ රටේ මූල්‍ය නීති උල්ලංඝනය කරමින්  LTTEයට ගුවන්විදුලි සම්ප්‍රේෂණ පද්ධතියක් අපේ වරාය හරහාම ලබා දුන්නා.

රාවුෆ් හකීම් 2002 අප්‍රේල් 13 වනි දින ගිවිසුමක් අත්සන් කළා. මුස්ලිම් මහ ලේකම් කාර්යාලයට නෝර්වේ රාජ්‍යයෙන් මූල්‍ය ආධාර ලබාදුන්නා. මේ අය මේ ආකාරයට මොනවිදියේ සම්බන්ධතා පැවැත්වුවේද යන්න සම්පූර්ණ ගවේෂණයක්, මූලික අධ්‍යයනයක් දේශීය වශයෙන් සිදුකළ යුතුයි. ත්‍රස්තවාදී සහයකයන් හැටියට ක්‍රියාකරන පිරිස්වලට එරෙහිව වහාම ක්‍රියාත්මක විය යුතුයි. අද මේ ආරක්ෂක හමුදා ගැන පමණක් පරීක්ෂණ සිදු කිරීම යුක්ති සහගත නොවේ. ආසන්න වශයෙන්   LTTE සංවිධානයේ හිටපු 24000ක් පිරිස් අද නිදහස්ව සමාජයට පැමිණ තිබේ. මේ පිරිස් ගැන කිසිවෙක් පරීක්ෂණ කරන්නේ නැත. මන්නාරමේ බිෂොප් රායප්පු ජෝෂප්, යාපනයේ බිෂොප් තෝමස් සෞන්දර්නායගම් වගේම පූජක සැමුවෙල් පියතුමා ඇතුළු අය ත්‍රස්තවාදය වර්ධනය කිරීම සඳහා එකමුතුවෙලා ගෙනගිය වැඩපිළිවෙළ පිළිබඳව වෙනම පරීක්ෂණ කළ යුතුයි. විශේෂයෙන්ම අවසාන සටන් අවස්ථාවේ පුදුමාතලන් කතෝලික පල්ලියේ ආරක්ෂාව සඳහා පැමිණි දරුවන්  LTTE සංවිධානයට බාරදුන් පූජකවරු සම්බන්ධයෙන් ඍජුව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

ත්‍රස්තවාදීන්ගේ අපාය සහයකයන්ට මේ රට ඇතුළේ නීතිය ක්‍රියාත්මක වී නොමැත.  LTTE සංවිධානය සිවිල් ජනයා 9948ක් සහ ආරක්ෂක අංශවල 26000ක් ඝාතනය කර තිබේ. ඒ ඝාතකයින්ගේ අපාය සහයකයින්ට දඬුවම් දීම සිදුකළ යුතුයි.  LTTE සංවිධානයේ සිට අද විදේශගතව කටයුතු කරන ඊනියා රටින් පිටත ආණ්ඩුවේ අගමැති ලෙස හිටපු, ප්‍රභාකරන්ගේ නිල නීති උපදේශක ලෙස සාකච්ඡාවලට සහභාගී වූ වී. රුද්‍රකුමාරන් සම්බන්ධයෙන් අන්තර්ජාතික නීතියට අනුව ක්‍රියා කළ යුතුයි. අද ප්‍රංශයේ පැරිස් නගරයේ නිරුපද්‍රිතව LTTE සංවිධානය නැවත සංවිධාන කිරීමෙහි නියැලී සිටින විනයඩෝ, ඔස්ලෝ නගරයේ සිට  LTTE සංවිධානය නැවත සංවිධාන කිරීමෙහි නියැලී සිටින නෙදියවන්, උතුරු පළාත් සභාවේ කටයුතු කරන ආනන්දි ශෂිධරන් පැහැදිලි ත්‍රස්තවාදීන්. මේ අය අත්අඩංගුවට ගත යුතුයි. ආනන්දි ශෂිධරන් කිලිනොච්චියේ රජයේ කාර්යාලයේ වැඩ කරන කාලේ දරුවන් පැහැරගෙන යාම සම්බන්ධයෙන් චෝදනාවට ලක්වූ අයෙක්. ආනන්දි ශෂිධරන්ට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව අමතන්න අවස්ථාව දීම පිළිබඳව අපි ඇත්තටම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ගැන කණගාටු විය යුතුයි. ආනන්දි ශෂිධරන්ට එවැනි අවස්ථාවක් ලැබේ නම් බින් ලාඩන්ගේ බිරියන් 04 දෙනාටත් එම අවස්ථාව හිමිවිය යුතුයි. ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදී සහයකයන්ට පුළුවන් නම් මානව හිමිකම් සමුළුව අමතන්න මේ අයටත් අවස්ථාව දිය යුතුයි.

විග්නේෂ්වරන්, සුමන්දිරන් හා සම්බන්ධන් වැනි පිරිස්  LTTE ත්‍රස්තවාදී සංවිධානය පිළිබඳව කරන කටයුතු සම්බන්ධයෙන් අප කනගාටු විය යුතුයි. විග්නේෂ්වරන් මහත්මයා ජීවත් වෙන්නේ කොළඹ. කොළඹ නගරයේ ජනගහණයෙන් 33%ක් දෙමළ. පසුගිය ශිෂ්‍යත්ව විභාගයට දිස්ත්‍රික්ක 22කින් දෙමළ භාෂාවෙන් දරුවො ඉදිරිපත් වුණා. නමුත් සිංහල භාෂාවෙන් දිස්ත්‍රික්ක 18කින් පමණයි ඉදිරිපත් වුණේ. ප්‍රභාකරන් සහ පිරිස දිස්ත්‍රික්ක 04ක් ජනවාර්ගික අතුගා දැමීමකට ලක්කර තිබේ. විග්නේෂ්වරන් උතුරේ සිංහලකරණය නතර කරන්න යැයි කියයි. උතුරේ පදිංචි වී සිටි සෑම සිංහලයෙක්ම මුස්ලිම්වරයෙක්ම නැවත පදිංචි කළ යුතුයි. සිංහලයින් පදිංචි කිරීම ප්‍රතික්ෂේප කරනවා නම්, මේ රටේ සංහිඳියාව ඇති කළ නොහැකියි. උතුරේ සිංහලයන්ගේ ඉඩම් උදුරාගෙන  LTTE මහාවීර පවුල්වලට පැවරීම මෙරට සිදුවුණු භයානකම ජාතිවාදී ක්‍රියාදාමයකි. විග්නේෂ්වරන් මහත්මයා දිගටම මෙම ක්‍රියාවලියේ නියැළෙනො නම් අපේ සමාජයේ කිසිම සංහිඳියාවක් අනාගතයේදී ඇති නොවේ. මහ ඇමති හැටියට සිංහලකරණය කියලා සිංහලයන්ට පදිංචි වෙන්න දෙන්නෙ නැත්නම්, පදිංචිවෙලා ඉන්න ජනතාවට හිරිහැර කරනවා නම් විග්නේෂ්වරන් මේ ගෙන යන අයුක්ති සහගත අසාධාරණ ක්‍රියාවලිය සමාජයේ සාමය කඩවීමට හේතුවන බව පැහැදිලියි.

විග්නේෂ්වරන් මහ ඇමති නිසාත්, සම්බන්ධන් පාර්ලිමේන්තුව නියෝජනය කරන නිසාත්, සුමන්දිරම් නීතිඥයෙක් නිසාත් මේ අයට අවශ්‍ය විධියට ජාතිවාදී ප්‍රකාශ කරන්න,රටට එරෙහිව ක්‍රියාකරන්න ඉඩ දිය යුතු නෑ. අපි රජයට යෝජනා කරනවා මහ ජනතාව මේ ප්‍රශ්න සම්බන්ධයෙන් කැළඹිල්ලට පත්වෙලා මහජනයා විසින් නීතිය ක්‍රියාත්මක කිරීමට පෙරාතුව රටේ නීතිය මේ ත්‍රස්තවාදයේ අපායක සහයකයන්ට වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි කියලා. බෙදුම්වාදීන්ට වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

අපේ රටේ ජාතික අයිතිය උදුරා ගන්න දරන උත්සාහයට, ඉන්දියාවේ සට කපට දුෂ්ඨ දේශපාලනය විසින් එයට දෙන තල්ලුව පරාජය කිරීම සඳහා ජාතික වශයෙන් අප සියලු දෙනාම සමගි වී එක් විය යුතුයි. ආණ්ඩුවට රිද්දන්න ගිහින් රටට, රණ විරුවන්ට රිද්දන්න එපා. අද මේ මොහොතේ ජාතික වගකීම වන්නේ රණ විරුවනුත් මුල්තැන තබාගැනීමයි.

රජයේ කරුණු නිවැරදි කරගෙන රට හරිමඟ ගෙනයන වැඩසටහන ඉදිරියේදී අප ඉදිරිපත් කරන අතර, ත්‍රස්තවාදය සහ එහි අපායක සහයක සෑම බලවේගයක්ම පරාජය කරමින් රට තුළ නීතිය ක්‍රියාත්මක කරමින් සමාජමය වශයෙන්, දේශපාලනමය වශයෙන් සුබදායී පරිසරයක් නිර්මාණය කිරීමට සියලු කටයුතු සිදු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

The Editor

Previous story Next story

Leave a comment

t

o

p