විදුලි බල ක්‍ෂෙත‍්‍රයේ දේශපාලනික මාෆියාවට එරෙහි විය යුතුයි

March 4, 2019

විදුලි බල ක්‍ෂෙත‍්‍රයේ කි‍්‍රයාත්මක ව්‍යාපාරික,දේශපාලනික මාෆියාවට එරෙහිව කි‍්‍රයාත්මක විය යුතුයයි  ඇමති චම්පික රණවක මහතා පැවසීය

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළකර සිටියේ, ලෝක පුනර්ජනනීය බලශක්ති සම්මේලනයේ 19 වන සමුළුව ශ‍්‍රී ලංකාවේ හරිත කොළඹ නමින් පැවැත්වීමට නියමිත අතර ඒ පිළිබඳව දැනුවත් කිරීමේ සැසියකදී මාධ්‍යවේදීන් විසින් එල්.එන්.ජී. බලාගාරය පිළිබඳව විමසූ අවස්ථාවේදී ය.

ලංකාවේ විදුලි බල ක්‍ෂෙත‍්‍රයේ බොහොම කාලයක ඉඳන් දැවෙන ගැටළුවක් මෙය. මේ විදුලි බල ක්‍ෂෙත‍්‍රයේ තිබෙන අධික වටිනාකම නිසා තමයි මේ පිළිබඳව ගැටළු ගොඩක් පැණ නැගෙන්නේ. මේ සම්බන්ධයෙන් මගේ අදහස මම කැබිනට් මණ්ඩලයට පවසා තිබෙනවා. විදුලි බල ක්‍ෂෙත‍්‍රයේ මේ රටේ කි‍්‍රයාත්මක වෙන ව්‍යාපාරික දේශපාලනික මාෆියාව ගැන මම පොතක්ම ලියා තිබෙනවා.  ඒ නිසා ඒක ගැන ඒ අයගෙන් කරුණු දැන ගැනීම හොඳයි. හැමදාම මේ රටේ සිද්ධ කළේ  ඕනෑකමින් බලාගාර නිසිකලට හදන ඒවාට සමහරවිට මහජන විරෝධතා නිසා හෝ වෙන ක‍්‍රමයට හෝ බාධ පමුණුවලා ඒ හදිස්සිය පෙන්වල බලාගාර වැඩිමිලට ලබාගැනීම තමයි ලංකාවේ සම්ප‍්‍රදාය වෙලා තිබුණේ. මේක ගැන දැන උගත් පිරිස් ක‍්‍රියා කළ යුතුයි.

තවද මේ රටේ මේ අධිපති මතවාද සකස් කරන ඇතැම් දේශපාලනඥයෝ, ව්‍යාපරිකයෝ මාධ්‍ය ආයතන හිතන් ඉන්නවා අපිව මඩ ගහල මට්ටු කරන්න. අපිව ගින්නෙනුයි, අයිස්වලිනුයි දෙකෙන්ම බැට කාපු අය. ඒ වගේම අපි පහළින් මතු වූ පිරිසක්. ප‍්‍රභූ පන්තියෙන් උඩින් ආපු කට්ටියක් නෙමෙයි. ඒ නිසා අපිව ඒ ක‍්‍රමයට නවත්වන්න බැරි බව ඒ අයට දැනුම් දෙනවා.  ඔය විවිධ ආයතන දාගෙන වෙස් මුහුණු දාගෙන අර රිලා පනික්කියෝ නැටුවට මේ රටේ කවුරුත් දන්නවා මේ රටේදූෂණය වංචාව, විශේෂයෙන් විදුලි බල ක්‍ෂෙත‍්‍රයේ ඇති වූ තත්වයන් වෙනස් කරන්න කටයුතු කලේ මමය කියන එක මට රජය සහයෝගය දුන් හැම අවස්ථාවකම, මුදල් අමාත්‍යාංශය සහයෝගය දුන් සෑම අවස්ථාවකම මම විදුලි බල මණ්ඩලය සාර්ථකව කර තිබෙනවා. 2015 ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා විදුලිබල මණ්ඩලය ඉතා සාර්ථකව කටයුතු කර ඩීසල් මාෆියාවට අයිතිව වහල දාන්න බැරිව අවුරුදු දහය පහලොව තිබිච්ච බලාගාර සියල්ලම වහල දාලා විධිමත් විදුලිබල සැලැස්මක් හදලා ලංකා විදුලි බල මණ්ඩලය බිලියන 20 ක ලාභයක් අපි සනිටුහන් කළා. ඒක බිලියන තිහ හතලිහක් පාඩු වෙයි කියා අනාවැකි පලකර තිබෙද්දිත් අපි ඒක හදලා දුන්නා. නමුත් මේ රටේ සමහරුන්ට  ඕවා ඉවසන්න බැහැ.

ඒ අයට අපට කියන්න තියෙන්නේ මේ රටේ වැදගත් දේශපාලන ගුණ සුවඳ හඳුනන අය එවැනි ප‍්‍රහාරවලින් යටත් කරන්න බැහැ. මේ රටේ ඔය වගේ ප‍්‍රභූ දුෂ්ඨ පිරිස් එකතු වෙලා අනගාරික ධර්මපාලතුමාටත් ඔහොම කළහම එතුමා රට දාලා ගියා. අපි රට දාල යන්නේ නැහැ. අවසානය දක්වාම මේ දූෂිත දේශපාලන බලවේගයට එරෙහිව සටන් කරනවා. ඒ අයට මම කියන්න  ඕනේ මේ වසරේ එළඹෙන ජනාධිපතිවරණයේදීත් අපේ ඒ අධිෂ්ඨානය අපි කි‍්‍රයාත්මක කරනවා.  එම මඩගහන පුද්ගලයින්ගේ කි‍්‍රයාකලාපයන් අනුව පෙනී යනවා ඔවුන් කාගේ ඉත්තෝද කියා. ඒ ගැන අපට කතා කළ යුතු දෙයක් නැහැ. ඔය කවර පුද්ගලයෝ, මොන වඳුරු පනික්කියෝ කවුරු පාවිච්චි කළත් මම කියන්න තියෙන්නේ දූෂණයට එරෙහිව බැඳුම්කර වංචාව වේවා වෙනත් වංචාවන් වේවා කොයි රජයත් කරන දූෂණවලට එරෙහිව අපි ගෙනයන අරගලය නතර වෙන්නේ නැහැ. ඒක ඒ අය හොඳට මතක තබා ගත යුතුයි. ඒ වගේම මේ රටේ ජනතාවත් මතක තබා ගත යුතුයි තමන් ඡන්දය දෙන පිරිස් දූෂණය වංචාව කරලා තමන්ට අවනම්බුවක් අපකීර්තියක්, රටට පාඩුවක් කරනවා නම් ඒ අයට නැවත ඡන්දය නොදී හිටියේ වගකීමත් අපේ රටේ ජනතාවට තිබෙන බව ප‍්‍රකාශ කරන්න  ඕනේ.

ඒ වගේම බොරු චෝදනා ඉදිරියටත් හදන්න යනවා, ෆයිල් ගෙනයන්න යනවා, චෝදනා දාන්න යනවා කියා අපට ආරංචියි. අපි බොහොම පැහැදිලිව විවෘතව ඒවාට පිළිතුරු දෙන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. ඒ මගින් තවත් බොහෝ දෙනෙක්ගේ බොහෝ කෙරුවාවල් එළි වෙයි.

මම විනයානු පුද්ගලයෙක් හැටියට මම මාධ්‍ය සංදර්ශන පවත්වන්නේ නැහැ. මගේ මතය මම ජනාධිපතිතුමාට, අගමැතිතුමාට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා. සාකච්ඡා කරලා ඒ අනුව කි‍්‍රයා කරයි. උසාවියෙත් ඒවා සාකච්ඡා කරයි යැයි පැවසීය.

 

t

o

p