වත්මන් රජය 2018 වසරේ අධ්යා පනය හා සෞඛ්ය වෙනුවෙන් වෙන් කළ මුළු මුදල සමස්ත අයවැයෙන් සියයට 25.91 ක්

March 4, 2019

2018 වර්ෂයේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයන්හි ප්‍ර‍ගමනය උදෙසා නව රජය වෙන් කළ මුළු මුදල සමස්ත අයවැයෙන් සියයට 25.91 ක් පමණ වන බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍ර‍ධානී, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සහ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මැතිතුමා නැවතත් අවධාරණය කරයි. එතුමා මේ බව පැවසූයේ, පසුගියදා (01) මාතර තිහගොඩ ජාතික පාසලෙහි පැවති විශේෂ උත්සවයකට සහභාගී වෙමිනි. ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ රට පුරා පාසල් 200 ක සංවර්ධන වැඩපිළිවෙළ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍ර‍ධානත්වයෙන් අද දින ආරම්භ කෙරුණු අතර එම ව්‍යාපෘතියේ එක් අදියරක් වශයෙන් මාතර තිහගොඩ ජාතික පාසලේ මෙම උත්සවය සංවිධානය කර තිබුණි. එහිදී පංති කාමර සහිත නව පරිපාලන ගොඩනැගිල්ලක් සහ අංග සම්පූර්ණ ගුරු නේවාසිකාගාරයක් විවෘත කිරීම ද ගරු අමාත්‍යතුමාගේ ප්‍ර‍ධානත්වයෙන් සිදුකෙරිණ. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍ර‍කාශ කළේ, රටේ අභිවෘද්ධිය, දූ දරුවන්ගේ අනාගතය හා මහජන සුභ සිද්ධිය උදෙසා මේ වනවිට විශාල ප්‍ර‍තිපාදන ප්‍ර‍මාණයක් වෙන්කොට ඇති වත්මන් රජය විශේෂයෙන් දූ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම ද කැප වී කටයුතු කරන බවයි.

“ළඟම පාසල ව්‍යාපෘතිය විශාල ව්‍යාපෘතියක් වෙනවා. විශේෂයෙන් මෙම ව්‍යාපෘතිය ඉල්ලක කර ගන්නේ යටිතල පහසුකම් ගොඩනගන්න. රුපියල් මිලියන 650000 කට අධික මුදලක් වර්ෂ 04 කට පෙර යොදවමින් මේ රටේ තිබෙන පාසල් 10165 න් මේ වනවිට පාසල් 9063 ක ව්‍යාපෘති 18 000 ක් තෝරාගෙන තිබෙනවා. ඒ ව්‍යාපෘති භෞතික සම්පත් සංවර්ධනයෙන් පමණක් නතර වන්නේ නැහැ. මානව සම්පතත් එහිදී සංවර්ධනය කරන්න ලොකු වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් මම මතක් කරන්න ඕන. අධ්‍යාපන ක්ෂේත්‍රයේ මානව සම්පත දියුණු කරන්න ලොකුම වැඩසටහන ආරම්භ කළේ අග්‍රාමාත්‍යතුමා අධ්‍යාපන ඇමතිධුරය දැරූ කාලයේ. විද්‍යාපීඨ ක්‍ර‍මය හොඳ උදාහරණයක්. අපේ ප්‍රදේශයට පමණක් නොවේ එහි වාසිය, වටිනාකම මුළු රටටම ලැබෙනවා. ඒ ක්‍ර‍මය ආරම්භ කරලා අද  ඒවා තවත් දියුණු කරගෙන යනවා. අධ්‍යාපනය අපේ රටේ අනාගතය. ඒ  සඳහා අකිල විරාජ් අමාත්‍යවරයා සිදුකරන කර්තව්‍යයට අපි ගෞරව කරනවා. ස්තූති කරනවා. විශේෂයෙන් සඳහන් කළ යුතුයි අග්‍රාමාත්‍යතුමාගේ කාර්ය මණ්ඩල ප්‍ර‍ධානී ලෙස මා දකිනවා එතුමා මේ කටයුතු පිළිබඳ පසු විපරම් කරන්න, අදහස් දක්වන්න කාලය යොදවනවා තවමත්.  එතුමා මේ සඳහා නායකත්වයක් ලබා දෙනවා.

අපි 2015 වසරේ සිටම කියා සිටියේ දහතුන් වසරක් අධ්‍යාපනය අනිවාර්ය කරන බවයි. එහිදී සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව කිසි දරුවෙක් අසමත් කියන්නෙ නැහැ. හැම දරුවම අපි ඉදිරියට ගෙනයනවා. ඒ ක්‍ර‍මය යටතේ වෘත්තීය විෂය ධාරාව හදාරන්න පිවිසෙන දරුවන් ගේ වසර දෙකක උසස් පෙළ පාසල් කාලයේ පළමු මාස 06 තුළ ඔවුන්ගේ ජීවිතයට අත්‍යවශ්‍ය පොදු විෂයන් 10 ක් හදාරන්න සිසුන්ට ඉඩකඩ සලසලා තියෙනවා. ඒ විෂයන් අතර ඉංග්‍රීසි, සන්නිවේදන කුසලතා, තොරතුරු තාක්ෂණය, ව්‍යවසායකත්ව කුසලතා වැනි විෂයන් තිබෙනවා. මම දන්න තරමට මේ පාසලෙත් විෂයන් 11 ක් පමණ උගන්වනවා. මේක ඉතාම ඉහළ මට්ටමින් කටයුතු කරන පාසලක්. ඉහළ ගෙවීම් සහිත රැකියා උත්පාදන විෂයන් මෙහිදී ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේ පරපුරකුත් රටක ඉන්නවා. හැමෝම වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් වන්නේ නැහැ. එහෙම වුණොත් ඉතිරි ටික ගෙනියන්න කවුරුවත් නැති වෙනවා. අද දහතුන් වසරක අධ්‍යාපනය තුළින් ළමයින්ව සකස් කරගෙන යනවා.

අධ්‍යාපනයට අපේ රටේ වැදගත් තැනක් තිබෙනවා. මම පසුගිය දවසක මගේ කතාවකදී සඳහන් කළා අපි අධ්‍යාපනයට කොතරම් මුදලක් වියදම් කරනවද කියලා. මම ඒ කතාව කළේ පෙබරවාරි මුල් කාලයේ. ඒ සඳහා පෙබරවාරි 27 වැනිදා Daily  Mirror කියන ඉංග්‍රීසි පුවත් පතේ පොඩි කොටුවක සඳහන් කරලා තිබුණා මම දුන්න තොරතුරු වැරදියි කියලා. මම ඒ තොරතුරු නැවත කියනවා. මම කියන්නේ ඉතාම වගකීමකින්. මම කියන්නේ ජාතික අයවැය දෙපාර්තමේන්තුව ලබාදුන්න තොරතුරු අරගෙන. අධ්‍යාපනයට අපේ රටේ 2018 වර්ෂයේ බිලියන 104 කුත් මිලියන 731 ක් වෙන්කළා. මේක අපේ රටේ මුළු අයවැයෙන් ඒ කියන්නේ ට්‍රිලියන දෙකකුත් බිලියන 173 කුත් මිලියන 549 ක්. ඒ මුළු අයවැයෙන් සියයට 4.82 ක් වෙනවා. පළාත් අධ්‍යාපනයට වෙන් කරලා තියෙනවා බිලියන 130 කුත් මිලියන 350ක්. එය මුළු අයවැයෙන් සියයට 06 ක් වනවා. උසස් අධ්‍යාපනයට වෙන්කරලා තියෙනවා බිලියන 72 කුත් මිලියන 392 ක්. එය සියයට 3.33 ක් වනවා. වෘත්තීය අධ්‍යාපනයට වෙන්කරලා තියෙනවා බිලියන 10 කුත් මිලියන 930 ක්. එය සියයට දශම 05 ක් වෙනවා. මෙහි සම්පූර්ණ එකතුව වෙනවා මුළු අයවැයෙන් අධ්‍යාපන ක්ෂේත්‍ර‍ය වෙනුවෙන් වෙන්කරලා තියෙන මුදල් ප්‍ර‍මාණය සියයට 14.65 ක්. මම ඒ ගාණට එකතු කළා සෞඛ්‍ය සේවය වෙනුවෙන් වෙන් කරලා තියෙන මුදල් ප්‍ර‍මාණය පළාත් සෞඛ්‍ය ඇතුළුව සියයට 11 කට අධිකයි. ඒ අනුව සියයට 25.91 ක් පමණ වනවා අධ්‍යාපනය හා සෞඛ්‍ය වෙනුවෙන් 2018 වර්ෂයේ අපේ රජය වෙන්කරපු මුදල් ප්‍ර‍මාණය. අපේ අනාගතය වන්නේ මේ දූ දරුවෝ. ඔවුන්ගේ සෞඛ්‍ය ඒ වගේම අධ්‍යාපනය අපිට වටිනවා. ඒකයි අපි විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරලා මේ දරුවන්ගේ අනාගතය සාර්ථක කරන්න මේ තරම් කැපකිරීම් කරන්නේ. ඒ කටයුත්ත සඳහා බොහෝ අය දායක වී තිබෙනවා. විශේෂයෙන්ම විදුහල්පතිවරු, පාසල් ගුරුවරු ඒ වගේම අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිටින නිලධාරීන්, අදි ශිෂ්‍ය සංගම් මේ සඳහා මහන්සි වෙනවා. සමහර අවස්ථාවන් වල දී ආදි ශිෂ්‍ය සංගම් හරිපාරේ වගේම වැරදි පාරේත් යනවා. නමුත් බහුතරයක් හරි පාරේ යනවා. ඒ නිසා ආදි ශිෂ්‍ය සංගම් පාසලේ පොඩි චෙක් පොයින්ට් එකක් වගේ ඉන්නවා කියන්න පුළුවන්. අපි පාසල් යන කාලේ දෙමව්පියන් අපේ පාසලට ආවේ නෑ. ඒ වුණත් අද දෙමාපියන් නිතර සහභාගී වෙනවා. ඒක හොඳ ද නරක ද කියන්න මම දන්නේ නෑ. නමුත් එක් අතකින් ඒකේ හොඳක් තියෙනවා. අපි සමගි සම්පන්න, අධ්‍යාපනයෙන් පෝෂණය වූ දරු පිරිසක් සහ සෞඛ්‍ය අතින් ඉහළම ස්ථානයක පසුවන දරුවන් පරපුරක් බිහිකරන්න අපට අවශ්‍යයි. ඒ වගේම අපේ රටේ අනාගතය ගොඩනගන්න, ශක්තිමත් කරන්න,  දරුවන්ගේ අනාගතය අපි ශක්තිමත් කළ යුතුයි. ඒ නිසා අද මේ කටයුත්ත සාර්ථක කරගන්න මහන්සි වුණ සියලු දෙනාටම විශේෂයෙන් මේ සම්පත් ලබාදුන්න අග්‍රාමාත්‍යතුමා සහ අධ්‍යාපන ඇමතිතුමා ඇතුළු සියළු දෙනාටම මාගේ ස්තූතිය පුද කරනවා……” යැයි ද අමාත්‍යවරයා එහිදී පැවසීය.

මෙම අවස්ථාවට දකුණු පළාත් සභා මන්ත්‍රී සහ එක්සත් ජාතික පක්ෂ කඹුරු පිටිය ප්‍ර‍ධාන ආසන සංවිධායක වී.ජී. ප්‍රියන්ත මහතා, දකුණු පළාත් සභා මන්ත්‍රී සහ එක්සත් ජාතික පක්ෂ හක්මණ ආසන සංවිධායක රංජිත් මුණසිංහ මහතා, ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සහ තිහගොඩ ජාතික පාසලේ විදුහල්පති යූ.ජී. මුණසිංහ මහතා, අධ්‍යාපනය අමාත්‍යාංශයේ ජාතික පාසල් ඒකකයේ සහකාර අධ්‍යක්ෂතුමිය, පාසල් දූ දරුවන්, දෙමාපියන්, ආදි ශිෂ්‍යයින් අනෙකුත් නිලධාරීන් සහ සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ

t

o

p