ඇමතිධූර ලබා ගන්නැයි ඇමති චම්පික දෙමළ සන්ධානයෙන් ඉල්ලයි

February 21, 2019

යාපනයේ සංවර්ධනය වෙනුවෙන් ඇමති ධූර ලබාගෙන ආණ්ඩුවට එක්වන ලෙස

සුමන්තිරන් මන්ත‍්‍රීතුමා ඇතුළු කණ්ඩායමට ආරාධනා කරනවා. යැයි ඇමති චම්පික රණවක මහතා පැවසීය.

මහානගර හා බස්නාහිර සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවක මැතිතුමා මෙම අදහස් පළ කළේ යාපනයේ ඉදිවන දුරගමන් සේවා බස්නැවතුම සහ පොදු බස් නැවතුම නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන්, යාපනය ආණ්ඩුකාර සුරේන් රඝවන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

යාපනය නගරයත්, කිළිනොච්චියත් අපි විශ්වාස කරනවා අපේ අනාගත ජාතික භෞතික සැලසුමේ එකම නාගරික කාලාපයක් හැටියට දියුණු විය යුතුයි කියලා. ඒ පිළිබඳව අපේ ජනතාවත් සමග සංවාදයක් අපට අවශ්‍යයි කොයි ව්‍යාපෘති ද කි‍්‍රයාත්මක කරන්නේ කියලා. අපි දැනට වත්තීය මට්ටමින්, විද්වත් මට්ටමින් අදහස් ලබාගෙන තිබෙනවා මේ සංවර්ධනය ඉදිරියට ගෙනයන්න. ඒ වගේම අපේ අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළා යාපනය නගරයත් උපාය මාර්ගික නගරයක් ලෙස ගොඩනගන්න, විදේශීය ආධාර ඉල්ලීමක් කළා. එම ආධාර අපට ලැබී තිබෙනවා. දැනට අපි ගාල්ල, මහනුවර, අනුරාධපුරය හා යාපනය පමණයි කොළඹින් පිටත ඒ නගර හැටියට දියුණු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉදිරිකාලයේදී අපි ති‍්‍රකුණාමලය, මඩකලපුව, මන්නාරම, මුලතිව් නගරත් උපාය මාර්ගික නගර හැටියට දියුණු කරන්න විදේශ ආධාර ලබාගන්න බලාපොරොත්තු වෙනවා. ඒ මගින් සාමාන්‍ය සංවර්ධනයෙන් කරන්න බැරි ගැඹුරු නාගරික වෙනස්කම් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ඒ උපාය මාර්ගික නගර ව්‍යාපෘතිය එක්ව එකට යන ආකාරයට නාගරික සංවර්ධන අධිකාරියත් යාපනය නගරයේ ගොඩනැගීම් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම වැසිජලය බැස යන කාණු පද්ධතිය, ඒ වගේම මලාපවහන පද්ධතිය, අද තිබෙන ලොකුම ගැටළුව වන ප‍්‍රවාහන ගැටළුව පිළිබඳවත් අපි අවධානය යොමුකර තිබෙනවා ගොඩනගන්න. ඒ නිසා තමයි  බස්නැවතුම සංවර්ධනය, ඒ වගේම මාර්ග සංවර්ධනය වගේම වැසිජල සංවර්ධනය සිදු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම  අපේ රජයෙන් ඉල්ලා සිටියා, විධිමත් නාගරික මධ්‍යස්ථානයක්  නගර සභාවට ඉදිකර දෙන්න කියලා මා හිතනවා අපේ මුදල් ඇමතිතුමා මෙවර අයවැය කියවීමේදී ඒ ගැන නිල ප‍්‍රකාශය කරයි කියලා. ඒ අනුව එහි වැඩකටයුතු මේ වසරේදී අපට ආරම්භ කිරීමට හැකිවෙයි කියා බලාපොරොත්තු වෙනවා. මම විදුලිබල බලශක්ති ඇමතිවෙලා ඉන්න කාලේ යාපනයේ ඉතා දුර්වල විදුලි සැපයුමක් තිබුනේ, විදුලිය පැය 8 ක් පමණ තමයි තිබුණේ. ඒ වගේම අපේ බලාගාර හොඳ මට්ටමින් තිබුණේ නැහැ. මම වසර 15 කට පස්සේ ලංකා විදුලි බලමණ්ඩලය ලාභදායි ආයතනයක් කළා 2010 වසරේදි. එම ලාභ මුදල් වලින් කරපු එක ආයෝජනයක් තමයි උතුරු ජනනී නමින් යාපනයට වෙනම විදුලි  බලාගාරයක් චුන්නාගම් ප‍්‍රදේශයේ ඉදිකිරීම. එමගින් පුද්ගලික බලාගාර ගසා කෑ සෑහෙන මුදලක් ඉතිරි කරගන්න පුළුවන් උනා.

ඒ වගේම අපි වව්නියාව ප‍්‍රදේශයේ සිට චුන්නාගම් දක්වා විදුලි පද්ධතිය ඉදිකිරීම කළා. 100% ක් යාපනයට විදුලිය ලබාදුන්නා. මේ වන විට මම හිතන්නේ යාපනයට විදුලි පිළිබඳ ගැටළුවක් නැහැ. ඒ වගේම පුදුමාතලන්, මන්නාම, මුලතිව් ඇතුළු මුළු උතුරු පළාතටම ලබාදුන්නා. විදුලි අත්‍යාවශ්‍ය සේම ජලය ද අත්‍යාවශ්‍යයි, ඒක නිසා මේ විරොධතා වෙනුවට අපි සමගියෙන් යාපනයේ ජල ගැටළුව විසඳීමට කැපවිය යුතුයි. නැතිනම් මේ නගරය පවත්වාගෙන යා නොහැකියි. ජල සම්පාදන මණ්ඩලයට ජනතාවගේ සහය ලබාදුන්නොත් මේ නගරය අපට ශක්තිමත්ව  ගොඩනගන්න පුළුවන් වෙනවා. ඒ වගේම යාපනයේ සංස්කෘතික අනන්‍යතාවය, ඒ වගේම ජනතාවගේ ආත්ම අභිමානය නැංවෙන ආකාරයට අපගේ නාගරික සංවර්ධන කටයුතු සිදුකරන බව මා මේ අවස්ථාවේදී ප‍්‍රකාශ කරනවා.

ඒ වගේම මේ නගරයට ඉතාම අත්‍යාවශ්‍ය දෙයක් තමයි කසළ කළමනාකරණය. මම දන්නේ නැහැ මොන වගේ මට්ටමකද තියෙන්නේ කියා නමුත් විද්‍යාත්මක කසළ රඳවනයක් අද අත්‍යාවශ්‍යයි, මේ නාගරික සංවර්ධනය ඉදිරියට ගෙනයන්න. නමුත් හුඟ දෙනෙක් විරෝධතා පැවැත්වුවාට කසළ රඳවන අපි ගොඩනගා ගන්නේ නැතිව අපට නගර ගොඩනගාගන්න බැහැ. අනෙකුත් නාගරික දේවල් පෞද්ගලික අංශත් ගොඩනගයි. නමුත් මේ මූලික කාරණා රජය විසින් ඉෂ්ට කළ යුතුයි. අපි දන්නවා මේ යාපනයේ ප‍්‍රධාන දේශපාලන දහරාවේ අවසානයට ඇමති කෙනෙක් හිටියේ තිරුචෙල්වම් ඇමතිතුමා 1968. වසර 50 ක් මේ වන විට ගෙවී තිබෙනවා. විවිධ ඇමතිවරු හිටියත් ප‍්‍රධාන දේශපාලන දහරාවේ ඇමති කෙනෙක් හිටියේ නැහැ. ඒ නිසා අපේ රටේ තිබෙන්නේ අනුග‍්‍රාහක දේශපාලනය. ඇමතිලා තමන්ගේ ප‍්‍රදේශයට කරගන්න වැඩපිළිවෙල නිසාත්, විද්‍යාත්මක ආකාරයට කරුණු සිදු නොවන නිසාත්, යාපනය සංවර්ධනයේ පසුබෑමකට ලක්වෙලා තිබෙනවා. ඒ නිසා විද්‍යාත්මක සංවර්ධනයක් සිදු විය යුතුයි. එහෙම නැතිනම් සුමන්තිරම් මහත්මයලා ආණ්ඩුවට එකතුවෙලා ඇමති ධූර දරලා තමන්ගේ ප‍්‍රදේශවලට එම සංවර්ධනය ගෙන ආ යුතුයි. මා ආරාධනා කරනවා එතුමන්ලාට මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙනස සිදු කළා වගේම රජයේ මේ සංවර්ධන කොටසත් කරන්න දායක වන්න කියා, මේ දරුවන්ට කර්මාන්ත, රැකියා, අධ්‍යාපනය එක්තරා කාලයකදී විශාල අධ්‍යාපන මධ්‍යස්ථානයක්. එම තත්වය නැවත ගෙඩනගන්න  අපි සියළු දෙනාම කැපවී වැඩකරන බවත් අපේ වගකීම අපි අනිවාර්යයෙන්ම ඉෂ්ඨ කරන බව සඳහන් කළ යුතුයි.

 

 

t

o

p