21 ශත වර්ෂයට මුහුණදිමට හැකි අධ්‍යාපන ක්‍රමයක් හදනවා – අගමැති

February 19, 2019

 

21 වැනි ශතවර්ෂයට මුහුණ දීමට අපි 21 වැනි ශතවර්ෂයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් ඇති කළ යුතුව තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

කුරුණෑගල අලූතින් ඉදිකරන ලද විශ්වෝදා මහා විද්‍යාලය සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් 2019 පෙබරවාරි මස 13 දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

මේ දරුවන් අපේ අනාගතයයි. අපි වර්තමානය සහ අතීතයයි. අද කුරුණෑගලට පැමිණ විශ්වෝදා මහා විද්‍යාලයේ විවෘත කිරීමට අවස්ථාව ලැබීම ගැන මම සතුටට පත්වෙනවා. පරම්පරා පහක් පමණ ජීවත් වුණු මේ නගරයට මම යුතුකමක් ඉටු කර තිබෙනවා. මගේ පියාගේ, මවගේ මහ ගෙදරට අල්ලපු වත්තේ තිබුණේ එවකට ප්‍රදේශයේ හොඳම පාසලක් වූ ශාන්ත ආනා විද්‍යාලයයි. මාගේ  ඥාතින්ට අයත් ඉඩම් මේ පාසලේ දියුණුව සඳහා ලබාදී තිබුණා.

කුරුණැගල අද දියුණු වෙන නගරයක්.. එවකට මේ ප්‍රදේශයේ ලක්දාස විද්‍යාලයත්, ඉන් පසු ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයත් තිබුණා. ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමාගේ අවධියේ ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය ශ්‍රී ලංකාවේ ප්‍රධාන විද්‍යාලයක් ලෙස ප්‍රසිද්ධියට පත්වුණා.

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කිරීමෙන් අනතුරුව කුරුණෑගල ප්‍රදේශයේ විශාල දියුණුවක් ඇති වීමට නියමිත අතර එහිදී පාසල් ප්‍රශ්නය උග්‍ර වන නිසා තවත් පාසල් දෙකක් ලබාදීමට කටයුතු කරන බව මම පොරොන්දු වුණා. ඒ අනුව එක් පාසලක් අද මෙම ස්ථානයේ විවෘත කළ අතර විෂය භාර ඇමතිතුමාගේ මූලිකත්වයෙන් කඩිනමින් දෙවන පාසලත් විවෘත කිරීමට කටයුතු සැලසුම් කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

මාස 15ක් වැනි කෙටි කාලයක් තුළ මෙම විශ්වෝදා විද්‍යාලය ඉදිකර විවෘත කළා. මේ පාසල ආරම්භ කිරීමට ක්‍රියා කළ අකිල කාරියවසම් ඇමැතිතුමාට මම ස්තුතිවන්ත වෙනවා.

අධ්‍යාපන ඇමතිතුමා කුලියාපිටිය ප්‍රදේශයෙන් පැමිණියත් කුරුණෑගල ප්‍රදේශයට ද පාසලක් ලබාදීමට අප කල්පනා කළා. නිදහස් අධ්‍යාපනය මගින් අධ්‍යාපනය ලබාගෙන විශ්වවිද්‍යාල දක්වා පැමිණි අපට මේ ප්‍රදේශයේ මෙවැනි නවීන විද්‍යාලයක් ඇති කිරීමට හැකිවීම පිළිබඳව ඉතා සතුටට පත් වෙනවා.

ඒවගේම මහනුවර, පේරාදෙනිය ප්‍රදේශයේ ද තවත් විද්‍යාලයක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. අපේ දරුවන්ට ඉගෙනීම සඳහා විද්‍යාලයක් නැතැයි එදා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් මා සමඟ පැවසුවා. එම නිසා මෙවැනිම විද්‍යාලයක් උතුරු කොළඹප්‍රදේශයේ ආරම්භ කිරීමටත් සැලසුම් කර තිබෙනවා.

මෙම කාර්යයන් අපිට සීඝ්‍රයෙන් කිරීමට හැකි වූයේ ප්‍රදේශයේ මන්ත්‍රි අශෝක් අබේසිංහ අමාත්‍යතුමා ලබාදුන් පූර්ණ සහයෝගය නිසයි. මේ පාසල ඉදිකිරීම සඳහා ස්ථානයක් සොයා ගැනීමට කටයුතු කළේ අශෝක් අබේසිංහ අමාත්‍යතුමායි. කුරුණැගල දියුණු කිරිම සදහා අශෝක් අබේසිංහ අමාත්‍යතුමා දරණ උත්සාහය ගැන මම ආඩම්බර වනවා.

අපි අද මේ විද්‍යාලය විවෘත කළා. ඉදිරියේ දී මෙම විද්‍යාලය තවදුරටත් දියුණු කිරීම සඳහා ගාමිණී ජයවික්‍රම පෙරේරා අමාත්‍යතුමා, අධ්‍යාපන අමාත්‍යතුමා සහ ආණ්ඩුකාරතුමා,  අවශ්‍ය උපකාර ලබාදේවි.

දැන් මෙම විද්‍යාලයේ දියුණුව රැදී තිබෙන්නේ විදුහල්පතිතුමා සහ ගුරු මණ්ඩලය වෙතයි. කොළඹ රාජකීය විද්‍යාලය, නාලන්ද විද්‍යාලය, ආනන්ද විද්‍යාලය, ශාන්ත තෝමස් විද්‍යාලය ආදි විද්‍යාලයන්හි ඉතිහාසය දෙස බැලූවිට එම පාසල් දියුණු වීමට හේතු වී තිබෙන්නේ කුමක්ද? මෙම පාසල් ආරම්භ කර පළමු දශක කිහිපය තුළ විදුහල්පතිතුමන් සහ ගුරු මණ්ඩලය මෙම විද්‍යාලයේ දියුණුව සඳහා මූලිකව කටයුතු කර තිබෙනවා. එම වකවානුවේ මෙම පාසල්වලට සමගාමීව ආරම්භ කළ තවත් පාසල් ගණනාවක් දියුණු තත්වයට පත්වූයේ නැහැ. නොයෙකුත් දුෂ්කරතා මධ්‍යයේ විදුහල්පතිවරු සහ ගුරු මණ්ඩලය එම පාසල් ඉදිරියට ගෙන ගියා. එම විදුහල්පතිවරුන්ට සහ ගුරු මණ්ඩලයට අමාරු කාලයේ පාසල් ඉදිරියට ගෙන යාම සඳහා ශක්තිය තිබුණා.

එසේ නම් මේ විශ්වෝදා විද්‍යාලය දියුණු කරමින් ඉදිරියට ගෙන යාම විදුහල්පතිතුමාටත්, ගුරු මණ්ඩලයටත් පැවරෙනවා. ඒ වගේම දෙමව්පියන් ද අවශ්‍ය සහයෝගය ලබාදෙනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා. විදුහල්පතිවරයාගේ සාර්ථකත්වය පිළිබිඹු වන්නේ සේවා කාලය තුළ දී නොවෙයි. වසර 50 කට පසුව විදුහල්පතිතුමාගේ නම මේ පාසලේ රන් අකුරින් ලියැවෙනවා නම් ඔබ සාර්ථකයි. නැත්නම් අසාර්ථකයි.

අපි මලියදේව විද්‍යාලය ගැන කතා කරද්දී සිහිපත් වන්නේ වන්නිනායක මැතිතුමායි. එතුමා ගැන තවමත් කතා කරනවා. ඉබ්බාගමුව විද්‍යාලය ගැන කතා කරද්දී සිහිපත් වන්නේ ජයතිලක මැතිතුමායි. එම විද්‍යාල දියුණු කළේ ඒ අයයි. එම නිසා දේශපාලනමය වශයෙන් ඇඟිලි ගැසීමෙන් වැළකී පාසල දියුණු කිරීම සඳහා කටයුතු කිරීමට අප අවස්ථාව ලබා දෙනවා.

ඒ කාලයේ මේ ප්‍රදේශවල ඉගෙන ගනිද්දී භාවිතා කළේ වදන් කවිපොත, ගණදෙවි හෑල්ල සහ ගල් ලෑල්ලයි. අපි පාසල් යනකාලයේ එස්.බී. සුගතපාල මහතාගේ නව මඟ හා කලූ ලෑල්ලයි. නමුත් අද භාවිතා කරන්නේ ස්මාර්ට් බෝඩ් එකයි.

අපි පාසල්වල ඉගෙන ගත්තේ පාලි භාෂාව හා ලතින් භාෂාවයි. නමුත් අද දරු දැරියන් ඉගෙන ගන්නේ ජපන් භාෂාව සහ චීන භාෂාවයි. එහි වරදක් ඇත්තේ නැහැ. සිදුවිය යුත්තේ එයයි. කළු ලෑල්ල පරම්පරා ගණනක් වුවත් හානියකින් තොරව භාවිතා කළ හැකියි. නමුත් ස්මාර්ට් බෝඩ් එක එසේ නෙවෙයි. ඔබ මේ උපකරණ ආරක්‍ෂා කළ යුතුයි. අද තිබෙන්නේ නවීන පාසල්. දියුණුවල බාගත යුත්තේ ඒ පාසලෙනුයි.

මම අධ්‍යාපන ඇමති වූ කාලයේ මේ පෞද්ගලික පරිගණක ලෝකයට එක් වි තිබිණා. මම පාසල්වලට පරිගණක ලබා දුන්නා. රූපවාහිනි යන්ත්‍ර පාසල්වලට ගෙන ආ කාලය වන විට රූපවාහිනී යන්ත්‍ර ගෙවල්වල තිබුනේ නැහැ. එම නිසා පාසල්වලට පැමිණ සවස් වරුවේ රූපවාහිනි නැරඹිමට කැමැත්තෙන් සිටියා.

එදා අපි කෘෂිකර්ම සමාජයේ සිට කර්මාන්ත කරා පරිවර්තනය වෙමින් තිබුණා. ඇඟලූම් කර්මාන්තත් පටන් ගත්තා. ඒ කාලයට ඔබින විදියට අපි අධ්‍යාපන ක්‍රමය සකස් කළා. අද තිබෙන්නේ 21 වැනි ශතවර්ෂයයි. නමුත් 21 වැනි ශතවර්ෂයේ අභියෝගවලට 20 වන ශත වර්ෂයේ අධ්‍යාපන ක්‍රමයකින් මුහුණ දිය නොහැකියි. 21 වැනි ශතවර්ෂයට මුහුණ දීමට අපි 21 වැනි ශතවර්ෂයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් ඇති කළ යුතුව තිබෙනවා.

එදා තිබුනේ ඇඟලූම් කර්මාන්ත. එකල අපි විදේශ ආයෝජන ගෙනාවේ අඩු වේතන ලබන රටක් ලෙසයි. නමුත් අද අපට එසේ තරග කළ නොහැකියි. බංගලාදේශය, මියන්මාරය, පකිස්ථානය, ඉන්දියාව වැනි රටවල අපිට වඩා අඩු වේතන යටතේ ශ්‍රමය ලබාදෙනවා. එසේ නම් අපි ලෝක වෙළඳපොලට ගොස් තරග කරන්නේ කෙසේද?

අපි කුඩා කාලයේ තේ වගා කළේ ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ පමණයි. නමුත් අද තවත් රටවල් පහලොවක, විස්සක පමණ තේ වගා කරනවා. එසේ නම් අප ඉදිරියට යා යුත්තේ තාක්‍ෂණ දැනුම හා ශිල්පීය දැනුම හිත ශ්‍රම කණ්ඩායමක් සමගයි. එම නිසා අද අධ්‍යාපන ක්‍රමයෙන් ඇති කිරීමට තිබෙන්නේ ඒ වැඩකටයුත්තයි. එසේ නම් අපේ දැනුම වැඩි කිරීමට, නව තාක්‍ෂණය ලබා ගැනීමට, ඒ නව තාක්‍ෂණය අනුව අලූත් කණ්ඩායම් ඇති කළ යුතුයි. ඉදිරියට යා හැකිවන්නේ එම කණ්ඩායම් ඇති කිරීමෙනුයි.

අපි ආණ්ඩුවක් ලෙස පරිගණක කර්මාන්ත හා තොරතුරු තාක්‍ෂණ කර්මාන්ත ශ්‍රී ලංකාවට ගෙන ඒමට පියවර ගත යුතුයි. එහිදී අප මුහුණපාන ප්‍රශ්නයක් තිබෙනවා. ඒ සදහා අපට දැනුම හා පුහුණුව ඇති ලක්‍ෂ තුනහමාරක ශ්‍රම පිරිසක් අවශ්‍යයි. ඒ දැනුම ලබා දෙන්නේ කෙසේද?

අපි අද කෘෂිකර්මාන්තය සඳහා භාවිතා කරන විද්‍යාව හා තාක්‍ෂණය වැඩි කළ යුතුව තිබෙනවා. එම කටයුතු සිදු කිරීමට අපට දැනුම අවශ්‍ය වෙනවා. ඩිජිටල් අංශයෙන් සහ සෑම අංශයකින්ම එය අවශ්‍යයි.

අද සෑම කෙනෙකුගේම ජීවන තත්ත්වය වෙනස් වී තිබෙනවා. බොහෝ අය අද යන්නේ සුපිරි වෙළඳ සංකීර්ණවලටයි. එදා නොතිබුණු ලෙස ගෙදර වෙනස් වෙලා. තමන්ගේ ජංගම දුරකතනයෙන් බොහෝ කාර්යයන් කළ හැකියි. ඒ වගේ විශාල වෙනසක් ඇති වී තිබෙනවා. ඇමරිකාවේ දී රියදුරන් නොමැති වාහන දැකිය හැකියි. චීනයේ කම්කරුවන් නැති කර්මාන්ත ශාලා දැකිය හැකියි.

එසේ නම් දැනුම පදනම් කරගත් සමාජයක් අප ඇති කළ යුතුයි. ඊට ගැලපෙන ලෙස අපේ අධ්‍යාපන ක්‍රමයත් ක්‍රමාණුකූලව වෙනස් විය යුතුයි. ඒ සඳහා අප අවුරුදු 13 ක අධ්‍යාපනය අනිවාර්ය කළා. ෆින්ලන්තයේ පවතින ද්විතීය වෘත්තීය අධ්‍යාපනය හදුන්වා දී තිබෙන අතර එය ඉදිරි වසර දෙක තුළ දී ක්‍රියාත්මක වීමට නියමිතයි. සෑම ශිෂ්‍යයෙකුටම විශ්වවිද්‍යාලයට ගොස් වැඩිදුර අධ්‍යාපනය ලැබීමට කැමැත්තක් දක්වන්නේ නැහැ. එම නිසා ඔවුන්ට ගැලපෙන විෂයන් හැදෑරීමට අවස්ථා ඇති කළ යුතුයි.

අපේ මහා විද්‍යාල බහුතරයකට තවමත් විද්‍යා ගුරුවරුන්ගේ හිඟයක් තිබෙනවා. එය අපට විශාල ප්‍රශ්නයක්. විද්‍යා ගුරුවරු වැඩියෙන් බඳවා ගෙන පුහුණු කිරීමට කටයුතු කරන්නැයි මම අමාත්‍යවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.  දැනට සිටින විද්‍යා ගුරුවරු උපාධිධාරී ගුරුවරු කිරීමත්, වැඩියෙන් විද්‍යා ගුරුවරු බඳවා ගෙන පුහුණුව ලබාදීමත් සිදු කළ යුතුයි. ඒ වගේම ඉංග්‍රීසි භාෂා දැනුමද ඉහළ නැංවිය යුතුයි. එම නිසා විද්‍යා ගුරුවරු පුහුණු කරන විද්‍යාපීඨ දෙකක්වත් ආරම්භ කරන ලෙස අධ්‍යාපන අමාත්‍යතුමාට මා උපදෙස් ලබාදුන් අතර ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට අප කටයුතු කරනවා.

ඒ වගේම තමයි ඉංග්‍රීසි භාෂා ගුරුවරු පුහුණු කරන තවත් විද්‍යා පීඨයක් ආරම්භ කළ යුතුයි. ජාතික අධ්‍යාපන ආයතනයට තවත් සම්පත් ලබා දී කාලසීමාවක් ඇතුළත සියලූ ගුරුවරුන් යටතේ පුහුණුව ලබාදීමට කටයුතු කරනවා.

අපමේ අවුරුදු කිහිපය ගත කළේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අඩුපාඩුකම් විසඳීමට, පාසල්වලට නව ගොඩනැගිලි හා උපකරණ ලබා දීමට සහ නව ක්‍රමවේදයන් ඇති කිරීමටයි. දැන් එළැඹ තිබෙන්නේ ඒවා ක්‍රියාත්මක කරන කාලයයි. ඉදිරි අවුරුදු පහ- හය තුළදී 21 වැනි ශතවර්ෂයට ඔබින අධ්‍යාපන ක්‍රමයක් ඇති කළ යුතුයි.

ශ්‍රී ලංකාව කුඩා රටක්. එදා සිට අප ඉදිරියට ආවේ අපට තිබුණ හොඳ අධ්‍යාපන ක්‍රමය නිසයි. අනුරාධපුරයේදී, මහාවිහාරය, අභයගිරිය, ජේතවනාරාම පිරිවෙන්වලින් ගණිතය, ඉංජිනේරු තාක්‍ෂණය, ආයුර්වේදය, නක්‍ෂත්‍රය, සාහිත්‍යය ආදී ක්ෂේත්‍ර ගණනාවක් යටතේ අධ්‍යාපනය ලබා දුන්නා. පසුකාලීනව පොළොන්නරුව, සුනේත්‍රා දේවි පිරිවෙන, පද්මාවතී පිරිවෙන ආදී පිරිවෙන් ද ඇති වුණා.

19 වැනි ශතවර්ෂයේ දී බටහිර එංගලන්තයේ ඉංග්‍රීසි ද්විතීය පාසල් ක්‍රමය අපි ලබාගත්තා. ඒ ක්‍රමය යටතේ දියුණු කළ ප්‍රධාන පාසල් ගණනාවක් අද තිබෙනවා. දැන් තිබෙන්නේ 21 වැනි ශතවර්ෂයයි. 21 වැනි ශතවර්ෂය තාක්‍ෂණ යුගයයි. අපි ක්‍රියා කළ යුත්තේ එම යුගයේ ජයග්‍රහණයන් ලබා ගැනීමටයි. ඒ සඳහා අවශ්‍ය සම්පත් ලබා දීමට අප සූදානම්. ඒ අනුව අපි ඉදිරියට යමු. මේ එක පාසලක් පමණයි. විශ්වෝදා විද්‍යාලය වැනි විද්‍යාල මේ රටේ සෑම තැනකම ඇති කළ යුතුයි. ඒ සඳහා අපි ක්‍රියාත්මක විය යුතුයි. එසේ නම් මේ අවස්ථාව උදාහරණයක් ලෙස ගෙන අපි ඉදිරියට යමු. විශේෂයෙන්ම මට ආරාධනා කිරීම පිළිබඳව නැවතත් ස්තඣති කරන අතර විශ්වෝදා විද්‍යාලයට සුබ ප්‍රාර්ථනය කරනවා.

t

o

p